රැජිනගේ ලොකුම රත්තරන් කාසිය හොරු උස්සලා

Spread the love

ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා, එලිසබත් රැජිනගේ උඩුකය රුව සහිත දඹ රන් කාසියක් සොරුන් කල්ලියක් සොරකම් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනඩාවේ නිෂ්පාදිත මෙම කාසියෙහි මුද්‍රණය කර ඇති අගය ඩොලර් මිලියන 1ක් නමුත්, කිලෝ ග්‍රෑම් 100ක් බර කැරට් 24 සුපිරිසිදු රනින් තනා ඇති නිසා එය සත්‍ය වශයෙන්ම එම අගයට වඩා බෙහෙවින් වටිනා බව සඳහන් වෙයි.

මෙම සොරකම 27දා අළුයම 3.30ට පමණ සිදුවී ඇති නමුත් සොරුන් විසින් ස්වයංක්‍රිය අනතුරු ඇඟවීම් පද්ධතිය අක්‍රිය කළ ආකාරය හෝ මීටර් බාගයක් පමණ දිගු කාසිය කෞතුකාගාරයෙන් පිටතට රැගෙන ගිය ආකාරය පිළිබඳව නිසි පැහැදිලිකිරීමක් මෙතෙක් සිදුකොට නොමැත.

කාසිය තනි පුද්ගලයෙකුට එසවිය නොහැකි තරම් බරකින් යුක්ත වන අතර එරට පොලිසිය පවසන පරිදි සොරුන් ජනේලයකින් කෞතුකාගාරයට ඇතුළුවන්නට ඇත. ඒ සඳහා යොදාගත් ඉනිමග අසල පිහිටි දුම්රිය මාර්ගයක තිබී සොයාගෙන ඇත.

ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියා සිටියේ කාසිය වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර තිබු බව පමණකි. එම අවස්ථාවේ කෞතුකාගාරයේ සේවයේ නියුතු ආරක්ෂක නිළධාරීන් සහ අනතුරු ඇඟවීමේ පද්ධතිය පිලිබඳ අදහස් දැක්වීම ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මංකොල්ලකෑ කාසිය “big maple leaf” යන නමින් හඳුන්වනු ලබන අතර සෙන්ටිමීටර් 3ක ගනකමකින් සහ සෙන්ටිමීටර් 53ක විශ්කම්භයකින් යුතු වේ. එහි එක් පසෙක කැනේඩියානු ජනපදයේ ප්‍රධානියා වූ දෙවන එලිසබත් රැජිනගේ රුව සහ අනෙක් පස කැනඩාවේ ජාතික සංකේතය වන මේපල් කොලය මුද්‍රණය කර තිබේ.

කෞතුකාගාරයේ කාසිය තබා තිබු කොටස තුල තවත් 540,000ක් පමණ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයට තබා තිබු නමුත් සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ එම කාසිය පමණක් වීම විමතියට කරුණකි.