පාර්ලිමේන්තුවට වඩා පිස්සන් කොටුව හොඳයිලු

Spread the love

අද වන විට පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය මුළුමනින්ම නැති වී ගොස් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවටත් වඩා අන්ත තත්ත්වයකට පත්වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවැසුවේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ සමාරම්භක උත්සවය පසුගියදා (13දා) නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැති අවස්ථාවේදීය.

මාර්තු 12 ව්‍යාපාරය 2015දී ආරම්භ කළේ මේ රටේ මැතිවරණවලට ශීලාචාර, ගුණයහපත්, බුද්ධිමත් පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ට නාම යෝජනා ලබාදීමට දේශපාලන පක්ෂ උනන්දු කරවීමට බවත් නමුත් මෙරට මැතිවරණ ක්‍රමයට අනුව ස්වාධීන පුද්ගලයන්ට මැතිවරණවලට තරග වැදීමට අපහසු බවත් උන්වහන්සේ පැවැසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමලරතන හිමියෝ මෙසේද පැවැසූහ.

අද වෙනකොට මැතිවරණවලට නාමයෝජනා භාරදෙනකොට දේශපාලන පක්ෂමයි තීරණය කරන්නෙ මොකාවද මැතිවරණවලට දාන්නෙ කියලා. එහෙම තත්ත්වයක් මේ රටේ තියෙන්නෙ. පසුගිය මහ මැතිවරණයට හොඳ මිනිස්සු යවන්න තමයි 2015දී මේ මාර්තු 12 ව්‍යාපාරය පටන් ගත්තේ. නමුත් හොඳ මිනිස්සු ගියාද කියන ප්‍රශ්නය තියෙනවා.

මේ වෙනකොට අපේ රටේ දේශපාලන පක්ෂ 60ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම තමයි තවත් පක්ෂ සියයකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වෙන්න ඉල්ලුම් කරලා තියෙනවා. මේක මහ විහිළුවක්.

මේ පුංචි රටේ දේශපාලන පක්ෂ මෙතරම් ප්‍රමාණයක් ලියාපදිංචි වෙන්න හදන එක ලොකු විහිළුවක්. මේ ලංකාව ලෝකෙට විහිළු සපයන තැනක් බවට පත්වෙලා. මේ දේවල් නවත්වන්න සිවිල් සමාජය ඉදිරියට එන්න ඕනි.

අද අපේ රටේ පාර්ලිමේන්තුවට වඩා පිස්සන් කොටුව හොඳයි. පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතරභාවය එහෙම පිටින්ම නැති වෙලා ඉවරයි. මහජන නියෝජිතයෝ ගහගන්නවා. බැනගන්නවා. කුණුහරුප කියාගන්නවා. ඔවුන් ඉතා පහත් තත්ත්වයට පත්වෙලා.