වාර්තාගත පොදුරද මඩුළු පදක්කම් දිනු ජයග්‍රාහකයින්ට ජනපතිගෙන් ලක්ෂ 160ක මුදල් තෑගී!

වාර්තාගත පොදුරද මඩුළු පදක්කම් දිනු ජයග්‍රාහකයින්ට ජනපතිගෙන් ලක්ෂ 160ක මුදල් තෑගී!
Spread the love

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී නිමාවූ 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය සටහන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් හිමි විය. බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ඉන්දික දිසානායක රිදී පදක්කමක් දිනාගත් අතර දිනූෂා ගොමස්, චතුරංග ලක්මාල් සහ බොක්සිං ක්‍රීඩාවෙන් අනූෂා කොඩිතුවක්කු, ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ. අද දින පැවැත්වෙන ඇගයීම් උත්සවයේදී ජනාධිපතිතුමන් අතින් ඉන්දික දිසානායකට රුපියල් ලක්ෂ 40ක්ද, අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 30 බැගින්ද මුදල් ත්‍යාග පිරීනැමීමට නියමිතය. තවද මේ ජයග්‍රහණ සඳහා මඟ තනා දුන් පුහුණුකරුවන් වෙත ක්‍රීඩකයන්ට පිරිනැමෙන මුදලේ වටිනාකමින් සියයට 25ක වටිනාකමකින් යුත් මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පදක්කම්ලාභීන් වෙත මෙතෙක් ඉතිහාසයේ ලබාදුන් ඉහළම මුදල් ත්‍යාග මෙය වේ. බ්‍රිතාන්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා දිවයිනෙන් බැහැරව ගොස් සිටි ජනාධිපතිතුමන් පෙරේදා (23) යළි මව්බිමට පැමිණි අතර එතුමන් පැමිණි පසු ඉටුකරන ප්‍රමුඛ කාර්යක් ලෙස මේ ඇගයීම් වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත. මුදල් ත්‍යාග ලබාදීමේ ප්‍රමාදයක් ඇති බවට යම් පිරිස් පසුගිය දිනවල විවේඡන එල්ලකර තිබූණ ද මෙතෙක් ඉතිහාසයේ අඩුම කාලයකින් මුදල් ත්‍යාග ලබාදුන් අවස්ථාව මෙය ලෙස හැඳින්වේ. මේ ජයග්‍රාහී ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන්ද ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණගාරයේදී සුවිශේෂී ඇගයීම් උළෙලක් සංවිධාන කර තිබිණි. එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ අවස්ථාවට එක්විය.

වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙන් කෙරී ඇති නේවාසිකාගරයන්හි නිරීක්ෂණ චාරිකාවකද නියැළිණි. එහිදී බර ඉසිලීම් එහා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ආහාරපාන, නේවාසිකාගර, පුහුණුවීම් ස්ථාන සම්බන්ධ ගැටළු පිළිබඳව සොයා බැලූ ඇමැතිවරයා එම ගැටළු විසදීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටද කටයුතු කළේය.