අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය
Spread the love

2019 වසරේ එක්සත් ජනපදය පුරා පවතින රෝහල් අතරින් සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් අධ්‍යක්ෂධූරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා. ඊට අමතරව වසරේ ජනප්‍රියතම අධ්‍යක්ෂකවරියට හිමි සම්මානයද මෙම ශ්‍රී ලාංකික වෛද්‍යවරිය විසින් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගියදා අමෙරිකාවේ බර්මින්හැම් හිදී පැවති වෛද්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ වාර්ෂික සමුළුවේදී මෙම සම්මාන දෙකම පිරිනමා තිබෙනවා. අමෙරිකාවේ ප්‍රාන්ත 52ක් නියෝජනය වන පරිදි තෝරා ගෙන තිබු රෝහල් 149ක් අතරින් මෙම සුවිශේෂී සම්මාන දෙක හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරිය අධ්‍යක්ෂ ධුරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල සමත්වුණා.

අමෙරිකා එක්සත් ජනපදයේදී මෙම සාර්ථකත්වය ලබාගැනීම සඳහා රෝහලක් විවිධ කාණ්ඩවලින් සාර්ථකත්වයට පත් විය යුතුයි. රෝගී තෘප්තිය එහි ප්‍රධානම අංගයක්. ඔවුන්ට ලබා දෙන රැකවරණය, වෛද්‍යවරුන් සමඟ සහසම්බන්ධතාවය හා විසර්ජන සැලැස්ම පිළිබඳව ඔවුන්ගෙන් මෙම සමීක්ෂණයේදී විමසීමක් සිදු කරනු ලබනවා.

රොක් හිල්හි සෞඛ්‍ය සේවය ලබාගත් රෝගීන් 90% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිචාර මෙම ඇගයීමට හේතු කොට ගැනුණා. මෙහි තවත් සැලකිය යුතු ගුණාංගයක් වන්නේ සෞඛ්‍ය සංරක්ෂණය කිරීමයි.

මෙම රෝහල රෝගියාගේ ආරක්ෂාව සඳහා කැපවුණ අතර, රෝගීන්ට ඉහළම මට්ටමේ රැකවරණය ලබා දී සාමාන්‍ය ජීවිතය ගතකිරීමට නැවත යාමට ඉඩ සලසා දීම සහතික කිරීම විශේෂත්වයක්. රෝගීන්ට තම ඉලක්ක වෙත ළඟා වීම සහ ඔවුන්ගේ පවුල් වෙත යළි යෑමට උපකාර කිරීම රෝහලේ අවසාන අරමුණයි.

ශ්‍රී ලාංකික වෛද්‍යවරියක වන ශිරානි මාලිකා ජයසූරියගේ මෙහෙයවීම සහ උපදෙස් යටතේ සෞඛ්‍ය සම්පන්න රෝහලක් බවට රොක් හිල් නාමය පත්කොට රෝගීන්ගේ ඉහළ මට්ටමේ ප්‍රතිචාර මත ජයග්‍රහණය ලබා ගැනීම මෙහි විශේෂත්වයයි. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරියකි. කොළඹ ජාතික රෝහලේ සහ මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසද ඇය සේවය කොට තිබෙනවා. 

මීට පෙරද එනම් 2018 වසරේදීද එක්සත් ජනපදය පුරා රෝහල් අතර සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය වෛද්‍ය ශිරානි මාලිකා ජයසූරියගේ අධ්‍යක්ෂධූරය යටතේ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා.

තවද පසුගිය වසරේදී ද අමෙරිකා එක්සත් ජනපදය පුරා රෝහල් අතර සිදුකෙරෙන තරගාවලියකදී තෙවන වරටත් සෑම අංශයෙන්ම හොඳම රෝහල බවට මෙම රෝහල තේරී පත්ව තිබුණා.

ඊට අමතරව 2018 වසරේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සුවකර පිටකර යවා ඇති රෝහල බවට තේරී පත්ව ඇත්තේද මෙම රෝහල වීම විශේෂත්වයක්.