ඇමති ප්‍රසන්න හා ජාත්‍යන්තර ගුවන් සමාගම් අතර සාකච්ඡා

ඇමති ප්‍රසන්න හා ජාත්‍යන්තර ගුවන් සමාගම් අතර සාකච්ඡා
Spread the love

මත්තල හා රත්මලාන ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලයි. මෙම ගුවන් තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා කියා සිටී.

ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් වල මෙරට කළමනාකරුවන් හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය සිකුරාදා (28) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලිම ඉදිරිපත් කෙරිණ. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීම හා එම සමාගම් මුහුණ පා තිබෙන ගැටළු සම්බන්ධයෙන් මෙම සාකචඡාව පැවැත්විණ.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ අපගමන බද්ධ අය කීරීම වසර 02 ක කාලයක් සදහා අතහැර දැමීමටත් රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අපගමන බද්දෙන් 50% ක් වසරක කාලයක් දක්වා අතහැර දැමීමටත් රජය තීරණය කර තිබේ. එමෙන් ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටවන සංක්‍රමණික සේවකයන්ගේ ගාස්තු සදහා වට්ටම් ලබා දීමට අපේක්ෂිතය. එමෙන්ම මෙම ගුවන් තොටුපළ දෙකේ බිම් මෙහෙවර ගාස්තු සදහා වට්ටම් ලබාදිම සහන මිලට ඉන්ධන ලබාදීම හා වසරක කාලයක් සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ගොඩබෑමේ හා ගුවන් යානා නතරකර තැබීමේ ගාස්තු අතහැරීමට ද රජය තීරණය කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අනාවරණය කළේය.

මෙම සාකච්ඡාවට සහාභාගි වු ඉන්දීය ගුවන් යානා සමාගමක මෙරට කළමණාකාරවරිය සදහන් කළේ රත්මලාන චෙන්නායි අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ද සිය ගුවන් සේවා ආරම්භ කිරීමට ඇය මෙහිදී කැමැත්ත පළ කළාය. රැස්වීමට එක් ව සිටි ජාත්‍යන්තර ගුවන් සමාගම් කීපයක ම මෙරට කළමණාකරුවන් මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹිමට කැමැත්ත පළ කළ අතර සිය කළමණාකාරිත්වයට මේ සම්බන්ධයෙන් දැනුම් දීමට ද එකග වූහ.

කොරෝනා වසංගතය පැතිරයාමත් සමග ජාත්‍යන්තර ගුවන් ගමන් ද අඩාල වී ඇතැයි ගුවන් සමාගම් නියොජිතයෝ ඇමතිවරයාට මෙහි දී පෙන්වා දුන්හ. ඒ පිළිබද ව රජයට කරුණු ඉදිරිපත් කර සහනයක් සලසන ලෙස ද ඔවුහු විෂයභාර ඇමතිවරයාගෙන් මෙහි දී ඉල්ලා සිටියහ. ඇමතිවරයා කීවේ මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවන බවයි. කිසියම් නිෂ්චිත කාලයකට එවැනි සහනයක් සලසා සිය හැකි බව පැවසු රණතුංග මහතා කලාපයේ සෙසු රටවල් මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබදව ද අවධානය යොමු කළ යුතු බව කීවේය. ඇමතිවරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට උපදෙස් දුන්නේ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙසයි.

මෙම සාකච්ඡාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම් සභාපති මේජර් ජි.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ගුණතිලක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අශෝක් පතිරණ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.