ඉතාලියේ ආසාදිතයන්ට උවටැන් කරන හෙද නිලධාරියෙකු කැමරාවෙන් කියන කතාව

ඉතාලියේ ආසාදිතයන්ට උවටැන් කරන හෙද නිලධාරියෙකු කැමරාවෙන් කියන කතාව

‘කාටත් අපි වීරයන් වෙලා. ඒත් මම වීරයෙක් කියල මට දැනෙන්නේ නැහැ.”

පාඔලෝ මිරැන්ඩා කොරෝනාවෛරසයෙන් බැට කන ඉතාලියේ ක්‍රිමොනා නගරයේ ඇති එක ම රෝහලේ දැඩි සත්කාර ඒකකයක නිරත හෙද නිලධාරියෙකි.

Loading...

ක්‍රිමොනා, මේ වන විට කොරෝනාවෛරස උපද්‍රවයේ ස්ථානයක් වන ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ පිහිටි කුඩා නගරයකි. එම නගරයේ පමණක් දහස් ගණනක් ජනතාව වෛරසයට ගොදුරු වූ අතර දැනට වාර්තා වූ මරණ සංඛ්‍යාව සිය ගණනකි.

සිය සෙසු සගයන් මෙන් ම පාඔලෝ ද පසුගිය මාසයක කාලය පුරා නිමක් නොමැති පැය දොළහක සේවා මුරයක නිරත වෙමින් සිටී.

”අපි වෘත්තීය හෙද නිලධාරීන්. නමුත් අපට වෙහෙසයි. දැන් මේ මොහොත වෙනකොට අපි අසීරු තැනකට ඇවිත් වගේ දැනෙනවා. අපි ඔක්කොම ඉන්නේ බියෙන්.”

A nurse stares at a screen at a desk

පවුලෝ කැමරා ලෝලියෙකි. ඡායාරූප ගැනීමෙන් ඔහු ආස්වාදයක් ලබයි. තමා සේවය කරන දැඩි සත්කාර ඒකකය අභ්‍යන්තරයේ අද පවතින නීරස වාතාවරණය සිය කැමරාවේ සටහන් කිරීමට පාඔලෝ තීරණය කළේය.

”මෙතැන සිදු වෙමින් පවතින දේවල් මට කිසිදාක අමතක කරන්න බැහැ. මේක ඉතිහාසයට එක්වේවි. මට මේ පින්තූර වචනවලට වැඩිය ප්‍රබලයි.”

සිය පින්තූර මගින් තම කාර්යමණ්ඩල සගයන්ගේ ශක්තිය පෙන්නුම් කිරීම පාඔලෝ ගේ අභිලාෂය විය. එපමණක් නොව, ඔවුන් පසුවන අනතුරුදායක තත්ත්වයද ඊට ඇතුළත් වේ.

”එක දවසක් අපිත් එක්ක වැඩ කරන හෙදියක් රෝහල් කොරිඩෝරයේ පුදුම සහගත උද්වේගයකින් උඩ පනිමින් කෑ ගසන්නට පටන් ගත්තා.”

A hospital worker puts on a protective visor

එම හෙදිය කොරෝනා ආසාදන පරීක්ෂණයකට යොමුව සිටි අතර, ඇයට වෛරසය ආසාදනය වී නොමැත යන්න සායන පරීක්ෂණ ප්‍රතිඵලය විය.

”එම හෙදිය සාමාන්‍යයෙන් ශාන්ත තැනැත්තියක්. එහෙත් බියපත්ව සිටි හෙදිය තමාට වෛරසය ආසාදනය වී නැති බව දැ න ගැනීමෙන් ලැබූ සහනය ප්‍රදර්ශනය කළේ ඒ ආකාරයෙන්. ඇයත් මනුෂ්‍යයෙක්.”

මෙය පාඔලෝ ඇතුළු ඔහුගේ කණ්ඩායමට දරාගැනීම දුෂ්කර අසීරු කාල පරිච්ඡේදයකි. එහෙත් ඔවුහු සිය සේවය සඳහා බැඳී සිටිති. එකිනෙකාට පිහිට වෙති.

”සමහර වෙලාවට අපෙන් ඇතැමෙක් දුර්වල වෙනවා. බලාපොරොත්තු සුන් වූ හැඟීමක් අපට දැනෙනවා මොකද?අපි බලාගන්න රෝගීන් සුව අතට හැරෙන්නේ නැතිකොට අපි අසරණයි කියල හිතෙනවා.”

One hospital staff member consoles another in a corridor

එවැනි තත්ත්වයක් උද්ගතවූ අවස්ථාවන්හි පාඔලෝ ගේ හෙද කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් කරන්නේ වහාම ඉදිරිපත්වීමය. බලාපොරොත්තු බිඳ වැටුණු තැනැත්තා හෝ තැනැත්තිය අස්වසාලීමට ඔවුහු යත්න දරති.

”එවැනි අවස්ථාවල අපි විහිළුවක් කරනවා. ඔවුන් හිනා ගස්සනවා. එහෙම නොකළොත් චිත්ත අධිෂ්ඨානය නැතිවෙනවා.”

කොරෝනාවෛරසය කඩා වැදුණු පළමු සති හතර ඇතුළත පමණක් ඉතාලියේ තුන්දහසකට ආසන්න මරණ වාර්තා විය.

තහවුරු කරන ලද රෝගීන්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා යද්දී, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ වැඩිවශයෙන් බලපෑමට ලක්වූ නගර ඇතුළු ඉතාලිය පුරා වෛද්‍යවරු හා හෙද නිලධාරීහු තත්ත්වය පාලනය කරගැනීමට අරගලයක නිරතව සිටිති.

හෙද නිලධාරියෙකු ලෙස ගතකළ සිය වසර නවයක කාලය තුළදී මිනිසුන් බොහෝ දෙනෙක් මිය යනු පාඔලෝ දිටීය. එය ඔහුට සාමාන්‍ය දෙයකි.

එහෙත්, මෙම ගෝලීය වසංගතය හමුවේ ඔහුගේ සිත වඩා සසල කළේ බොහෝ දෙනා හුදෙකලාව මියෙනු දැකීමය.

Hospital staff put on protective clothing

“දැඩි සත්කාර ඒකකවල මිනිසුන් මරණය වැළඳ ගන්නා අවස්ථාවල සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඔවුන් ළඟ ඉන්නවා. මරණයට පත්වෙන කෙනාට එයින් ගෞරවයක් ලැබෙනවා. ඔවුන්ගේ උදව්වට අපිත් ඉන්නවා. ඒක අපේ කාර්යභාරයේ කොටසක්.”

රෝහල්වල සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ මරණාසන්න රෝගීන්ගේ පවුලේ සාමාජිකයින්ට හා සමීප මිත්‍රයන්ට ඇඳ වටේ රැස්වීමට අවසර දීම ය.

එහෙත් වෛරසය බෝවීම වැලක්වීම සඳහා පසුගිය මාසය තුළදී ඒ තත්ත්වය තහනම් කළේය. අඩුතරමින් රෝගියාගේ පවුලේ සාමාජිකයින්ට හෝ රෝහලට ඒමට නොහැකි විය.

“අපි ප්‍රතිකාර කරන්නේ වෛරසය ආසාදනය වෙලා සහමුලින්ම වෙන් කරල ඉන්න රෝගීන්ට.”

”මිනිසෙකු අසරණව හුදෙකලාව මියයාම අප්‍රසන්න දෙයක් – එවැන්නක් කිසිවෙකුට සිදු වෙන්න එපා.”

Two nurses talk in a hospital corridor

කොරෝනා රෝගීන්ගෙන් පිරුණ රෝහලක්

ක්‍රිමොනා නගරයේ රෝහල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කරන ආයතනයක් බවට පරිවර්තනය කරනු ලැබ ඇත. සියලු ශල්‍යකර්ම ඇතුළු සෙසු සායනික කටයුතු අත්හිටුවා ඇති අතර, දැන් එහි ප්‍රතිකාර ලබන්නේ කොරෝනා වෛරසය ආසාදිතයන් පමණි.

ආසාදිතයන් රෝහලට ගෙනෙමින් ඇති නමුත් දැඩි සත්කාර ඒකකයේ ඇඳන් පිරී ගොස් ඇත.

“අපි අපට හැකි හැම ඉඩකඩකම ඇඳන් පිළියෙළ කරනවා. රෝහලේ ඉඩ කඩ තියෙන හැම තැනකම. දැන් රෝහල රෝගීන්ගෙන් පිරිලා.”

ඔවුහු රෝහලේ ප්‍රධාන පිවිසුමෙන් පිටත තාවකාලික ක්‍ෂේත්‍ර රෝහලක් ඉදි කිරීමට පියවර ගත්හ. එහි ඉලක්කය වූයේ දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා අලුතින් ඇඳන් හැටක් තැබීමය. ඒත් එය ද ප්‍රමාණවත් වී නැත.

Two nurses talk in a hospital corridor

අපේක්ෂාවක ආලෝකයක්

පවතින දුෂ්කර පරිසරය ජය ගැනීමට පාඔලෝ ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?

හෙද – හෙදියන් වෙනුවෙන් ඉතාලිය පුරා ප්‍රදර්ශනය කෙරුණු ආදරය ඔවුන්ගේ කාර්යභාරය ඉහළ මට්ටමින් පවත්වා ගෙන යාමට ශක්තිය සපයන බව පාඔලෝ පවසයි.

බොහෝ දෙනා හෙද හෙදියන් උත්කර්ෂයට නංවන ලද්දේ විරුවන් ලෙසිනි.

ක්‍රිමොනා රෝහලේ කාර්ය මණ්ඩලය වෙත තෑගිබෝග ගලා එන්නට විය.

Two hospital members of staff embrace

”අපි වැඩට එන හැම දවසකම අපට යම්කිසි අලුත් දෙයක් ලැබුණා”

”පිසා,රසකැවිලි, කේක්, බීමවර්ග….. තවත් දවසක ‘espresso’ කෝපි පැකට් දහස් ගණනක්… ඒවගේම,සුභ පැතුම් පත් එවමින් අපේ චිත්ත ධෛර්යය ශක්තිමත් කළා.”

එම ත්‍යාග පාඔලෝට එක්තරා සහනයක් විය. එහෙත් ඔහුට කිසිවිටක රෝහල අත්හැර දැමීමට නොහැකි විය.

A member of hospital staff relaxes on a chair

“මගේ සේවා මුරය අවසන් කරලා ගෙදර ආවාම මම කම්පාවට පත්වුණා. මම රාත්‍රී නින්දට වැටුනාම කීපවතාවක් ඇහැ ඇරුනා. මගේ වෘත්තීය සගයන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය ඒකයි.”

මෙහි වැදගත්ම කාරණය පාඔලෝ ඔහුගේ කාර්යභාරය පෙරට ගෙන යාමට අවශ්‍ය ශක්තිය පවත්වා ගැනීමය.

එහෙත් මෙය පවතින දුෂ්කර තත්ත්වයේ ආරම්භය පමණි. පවුලෝට ගතවෙන හැම දිනම වෙහෙසකාරීය.

”මට උමඟ කෙලවර තවමත් ආලෝකයක් දකින්න නැහැ. මට කියන්න බැහැ- මොනවා වේවිද කියල. මේක ඉවරයක් වෙන්න කියල පතන්න විතරයි මට පුළුවන්.”

Members of staff at the hospital make heart signs to the camera

මෙම සම්පූර්ණ ලිපිය සහ ඡායාරූප බී.බී.සී සන්දේශය සිංහල වෙබ්අඩවියෙන් (2020 මාර්තු 24) උපුටා ගන්නා ලදි. කාලීන හා ජාතික අවශ්‍යතාව සලකා පළ කරන ලද විශේෂ ලිපියකි – ප්‍රධාන සංස්කාරක

Loading...