පාරිභෝගිකයින් ගසාකන වෙළෙදුන්ට එරෙහිව කඩිනම් පියවර ගන්න – ප්‍රසන්න

පාරිභෝගිකයින් ගසාකන වෙළෙදුන්ට එරෙහිව කඩිනම් පියවර ගන්න – ප්‍රසන්න
Spread the love

ඇදිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙලදුන්ගේ ඇදිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට යයි. එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය (04) පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් වරුන්ට උපදෙස් දුන්නේය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය සදහා පනවා ඇති ඇදිරි නීතිය අතරතුර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණ.

අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් රජයේ උපරිම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් පිළිබදව තොරතුරු රැසක් වාර්තවා වී ඇතැයි මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි. මේ නිසා මෙවැනි වෙළදුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයිද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අත්‍යවශ්‍ය සේවා බල පත්‍රලාභීන් රජයේ උපදෙස් අනුව නියමිත මිලට හා නියමිත ප්‍රමිතියට අනුව භාණ්ඩ අලෙවි කරන්නේ දැයි පරීක්ෂා කරන ලෙසද ඇමතිවරයා  ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ඇදිරි නීතිය පවතින කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ සටහන 80% ක් පමණ සාර්ථක බවත් ඒ සදහා ප්‍රාදේශිය ලේකම්වරු, පළාත් පාලන නියෝජිතයන්, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් ඇතුළු සියළු ක්ෂේත්‍ර වල නිළධාරීන්ට සිය ප්‍රසාදය පල කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි සති දෙක තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින කිසිවෙකු ඉන් පිටතට නොයැවීමටත් දිස්ත්‍රික්කයෙන් පිටත සිටින කිසිවෙකු දිස්ත්‍රික්කය තුලට පැමිණීම  සීමා කිරීමටත් රජය තීරණය කර ඇති බවද කීවේය. සමූපකාරය මගින් ප්‍රාදේශිය ලේකම්වරු හරහා බල පත්‍ර ලබා දී ඇති වෙළදුන්ට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිහිටි, ආබාධ සහිත ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන් වෙත රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්, බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධ්‍ය වේදීන්, වැනි, පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති සියලුම දෙනාට මෙම දීමනාව ලබා දිය යුතු බවයි. එමෙන්ම පිට පලාත්වලින් පැමිණ මේ වන විට සිය ගම් බිම් වලට යාමට නොහැකිව කිසියම් අයෙකු ඇත්නම් ඔවුන්ටද මෙම දීමනාව ලබා දිය යුතු බව ඇමතිවරයා කීවේය. ඒ අනුව මේ සියළුම දෙනා වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමටද මෙහිදී තීරණය කෙරිණ. මෙහිදී අනාවරණය වූයේ මෙම දීමනාව ලබා දීම සදහා රුපියල් මිලියන 300 ක මුදලක් දැනටමත් ඒ සදහා වෙන් කර ඇති බවයි. එම මුදල් අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත මුදා හැර ඇති බවද දිස්ත්‍රික් සුනිල් ජයලත් මහතා මෙහිදී කියා සිටියේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් 19 වසංගතයෙන් මෙන්ම පානීය ජල ගැටලුවලටද මුහුණ දෙමින් සිටින බවයි. දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන මගින් දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රශ්ණයට මුහුණපා ඇති ජනතාවට අවශ්‍ය ජලය ලබා දීමේ වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.