කොරෝනා පොකුරු රටේ තැන තැන.. සමාජ පැතිරීමේ රතු නිවේදනය ආසන්නයේ – GMOA

කොරෝනා පොකුරු රටේ තැන තැන.. සමාජ පැතිරීමේ රතු නිවේදනය ආසන්නයේ – GMOA
Spread the love

අද වන විට රටේ තැනින් තැන කොරෝනා ආසාදිතයන් සමූහ පොකුරු වශයෙන් හමු වෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම ඇතැම් රෝගීගේ වෛරසය ආරම්භක ස්ථානය සොයා ගත නොහැකි තත්ත්වයක් උදා වෙමින් ඇතැයි සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.

මේ හේතුවෙන් කොරෝනා රෝගය සමාජගත වූ බවට නිවේදන නිකුත් කිරීමට සිදුවන අන්තිම අවදානම් අදියරට රට ශ්‍රී ලංකාව පත්ව සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත් රෝගීන් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වී තිබීම බෙහෙවින් වාසි සහගත තත්ත්වයක් වී ඇති බවද ඔහු පවසයි.

කොරෝනා ආසාදිතයන්ගේ ආරම්භක තැන සොයනවාට වඩා දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් ගැන අවශ්‍ය කටයුතු කිරීමට සාකච්ඡා පවත්වෙන බව ද ඔහු සඳහන් කළේය.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක් බවයි.

එනිසා පැතිරීමේ අවදානම අඩු කිරීම සඳහා හොඳම ක්‍රමය කුඩාම ඒකකයට සංචරණ සීමා පැනවීම් බවද ඔහු පැවසීය.

ඒ අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් අවදානම හඳුනාගෙන අවශ්‍ය කොටස් සදහා සංචරන සීමා පැනවීම වඩා සුදුසු බවද ඔහු පැවසුවේය.

එමගින් සමස්ත රටට සිදුවන බලපෑම අවම කර ගත හැකි නමුත් දැනට සිදුවන සං ක්‍රියාවලිය පිළිබඳව සම්පූර්ණයෙන් සතුටු විය නොහැකි බවද ඔහු කියා සිටියේය.

අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළ හොත් රටම වසා දමන අවදානමක් ඇති වනු ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.