ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ අළුයට ගිනි !

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ අළුයට ගිනි !
Spread the love

ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු කරමින් සිටිති.

ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නට සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තාගත වේ.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරු මෙම දෝෂාභියෝගය ගෙන ඒම සඳහා සිය ඡන්දය භාවිත කර ඇත.

ඒ සඳහා ඉදිරිපත් කළ ලියවිල්ලේ සඳහන් වන්නේ, පසුගියදා පැවති ජනාධිපතිවරණයේ දී වංචා හා දුෂණ සිදුවූ බවට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින්, කොංග්‍රස් සභාවට කඩාවැදීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් ජනවාරි 6වැනිදා තම ආධාරකරුවන් පොළඹවනු ලැබූ බවය.

එම චෝදනාවට හිටපු ජනාධිපතිවරයා වැරදිකරු ද නැතහොත් එම චෝදනාවලින් ඔහු නිදහස් කරන්නේද යන්න තීරණය කිරීම සඳහා ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ දෙයකි; ජනාධිපතිවරයෙකු තම ධූර කාලය නිමා කිරීමෙන් පසුව ඔවුන් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය.

ඉතින්, කුමක් සිදු වේවිද?

President Donald Trump listens as the Emir of Kuwait Sheikh Sabah Al Ahmad Al Sabah speaks during a news conference in the East Room of the White House, Thursday, Sept. 7, 2017, in Washington. (AP Photo/Evan Vucci)

පරීක්ෂණය සිදුවන්නේ කෙසේද?

සෙනෙට් සභාව තුළ සිදුකෙරෙන පරීක්ෂණය දේශපාලනික ය.

ඉදිරිපත් වී ඇති චෝදනාවට ට්‍රම්ප් වැරදිකරු ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයෙන් අනතුරුව සෙනෙට් සභිකයන් අතර ඡන්ද විමසීමක් පැවැත්වේ.

ට්‍රම්ප් වැරදිකරු කිරීමට නම් සෙනෙට් සභාවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍යවේ. සෙනෙට් සභාව සභිකයන් 100 දෙනෙකුගෙන් සමන්විතය.

ට්‍රම්ප් වැරදිකරු බවට පත්වුනහොත් ඔහුට ජීවිතාන්තය දක්වා දේශපාලනයේ යෙදීම තහනම් කිරීමට සෙනෙට් සභාවට බලය තිබේ.

Getty Images

සිදුවන්නේ කුමක්ද? කවදා ද?

ට්‍රම්ප් මේවනවිට පදවියේ නොමැති හෙයින් මෙම පරීක්ෂණය ව්‍යවස්ථාවට අනුකූලදැයි තීරණය කිරීම සඳහා අඟහරුවාදා විවාදයක් පැවැත්වුණි. එම විවාදයෙන් අනතුරුව පැවැත්වුණු ඡන්ද විමසීමෙන් තීරණය වූයේ එය ව්‍යවස්ථා විරෝධී නොවන අතර පරීක්ෂණය පැවැත්විය යුතු බවය.

මෙම පරීක්ෂණය සඳහා සාක්ෂිකරුවන් කැඳවිය හැකිද යන්න තීරණය කිරීමට ද සෙනෙට් සභිකයන් අතර ඡන්දයක් විමසනු ඇත.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණය සඳහා කෙතරම් කාලයක් ගතවේද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් නොමැත. හැකි ඉක්මණින් පරීක්ෂණය නිමා කිරීම සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවයයි.

ඊට හේතුව, නව ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉදිරිපත් කරනු ලබන කොවිඩ් 19 සහන සැලැස්ම නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කෙරෙහි අවධානය කඩිනමින් යොමු කිරීමට අවශ්‍ය බැවිනි.

පැමිණිල්ලේ තර්කය කුමක්ද?

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ සිදු වූ කෝලාහලවලට හිටපු ජනාධිපති ට්‍රම්ප් “පෞද්ගලිකව වගකිව යුතු” අතර ඔහු වරදකරු කළ යුතු බවය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිගින් දිගටම පිළිනොගැනීම මගින්, “තමන් විසින් ආරක්ෂා කරනු ලබන බවට කලින් දිවුරා පොරොන්දු වී ඇති ජනරජයට එරෙහිව, කෝලාහල ඇතිකිරීමට මග පාදා” ඇති බව ඔවුහු පවසති.

ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයන් මගින් ජනවාරි 6වැනිදා පැවති “අනවසර රැළිය, කලහකාරී කැරැල්ලක්” බවට පත් කෙරුණු බවට ඔවුහු තර්ක කරති.

මෙම රැලිය “ට්‍රම්ප් ගේ ගිනි පුපුරකින් ප්‍රචණ්ඩකාරී වීම සඳහා කල්තියා සංවිධානය කර තිබූ දෙයක්” බව තහවුරු කිරීමට, “රැලියේ වීඩියෝ පට සහ ට්‍රම්ප් ගේ මුවින් පිටවූ වදන් ඔවුහු යොදා ගනිති.

“සාක්ෂි ඉතා පැහැදිලියි. ජනාධිපතිවරණයේ තීන්දුව වෙනස් කරන්නට දැරූ අනෙකුත් සියලු උත්සාහයන් අසාර්ථක වූ විට කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා උල්පන්දම් දී” ඇතැයි පැමිණිලිකරුවන් ලියා ඇත.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ තර්කය වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේවනවිට ජනාධිපති තනතුරේ නොසිටින නමුත් “ඔහු තනතුරට පත්වූ පළමු දිනයේ පටන් අවසාන දිනය දක්වා පැවති තම කල්ක්‍රියාව පිළිබඳව ඔහු විස්තරාත්මකව පිළිතුරු සැපයිය යුතු” බවය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වීදි බැස සිටියහ
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වීදි බැස සිටියහ

ට්‍රම්ප්, මින් ඉදිරියට දේශපාලනය කිරීම සඳහා නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස පැමිණිලිකරුවෝ ඉල්ලා සිටිති.

ට්‍රම්ප්ගේ විත්තිවාචකය කුමක්ද?

පරීක්ෂණය ආරම්භවීමට ප්‍රථම ට්‍රම්ප්ගේ නීතිවේදීන් ප්‍රකාශ කළේ දෝෂාභියෝගය සඳහා ගෙන ආ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය. තම ආධාරකරුවන් කොංග්‍රස් සභාවට කඩා වැදුණේ ඔවුන්ගේ ම අභිමතය පරිදි බව විත්තියේ නීතිවේදීහු පැවසුහ.

කෝලාහලයට පෙර ට්‍රම්ප් කළ ප්‍රකාශයන් පෙළඹවීමක් බවට පත්නොවූ බව ඔවුන්ගේ තර්කයයි.

“සටන් කරන්න” (fight) යන වචනය භාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අදහස් නොකළ බව ට්‍රම්ප්ගේ නීතිවේදීහු පැවසූහ.

ඔවුන් තවදුරටත් පවසන්නේ “කොලාහලයකට පෙළඹවීමක්” ලෙස මෙම ප්‍රකාශය පමණක් මතුකර දක්වන්නේ සමස්තයක් වශයෙන් ට්‍රම්ප්ගේ කතාවේ ඇති අනෙකුත් ප්‍රකාශයන් නොසලකා හැරීමට බවය. ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින් සිදු කළ කතාවේ දී “සාමකාමීව ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න” යනුවෙන් ඉල්ලීම් කළ බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම නීතිවේදීහු තවදුරටත් කියා සිටියේ මෙම කෝලාහලය දින ගණනකට කලින් සැලසුම් කළ දෙයක් බව FBI වාර්තාවල සඳහන් වන බවය.

ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන මෙම පරීක්ෂණය ව්‍යවස්ථාවට එකඟ නොවන බව ද, ඔවුහු තවත් නීතිමය කරුණක් ලෙස ගෙන හැර දක්වති.

ඔවුන් තර්ක කරන්නේ, ට්‍රම්ප් මේවන විටත් සාමාන්‍ය පුරවැසියෙක් පමණක් වන හෙයින් තවදුරටත් ඔහු තනතුරින් පහකිරීමක් සිදු කළ නොහැකි බවය.

මෙය “දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කරවීම සඳහා රඟ දැක්වෙන දේශපාලන නාටකයක් සහ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රියාවක්” ලෙසට ට්‍රම්ප්ගේ නීතිවේදීහු හඳුන්වති.

Trump supporters outside the Capitol

ට්‍රම්ප් ගිය පසු මෙය කළ හැකිද?

මීට පෙර කිසිදා මෙවැන්නක් සිදුවී නොමැත. එම නිසා මෙය මීට පෙර අත්හදා බැලූ දෙයක් නොවේ. ඇමරිකානු ව්‍යවස්ථාවේ ද එවැන්නක් සඳහන් වී නැත.

රිචර්ඩ් නික්සන් 1974 දී ජනාධිපති තනතුර අතහැර දැමීමෙන් පසුව ඔහුට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝග ක්‍රියාදාමය නතර විය.

එම නිසා මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ට්‍රම්ප්ට හැකියාවක් තිබේ.

පහළ තනතුරු දැරූ ඇතැම් නිලධාරීන් කීපදෙනෙකු නම් ඔවුන් තනතුරින් ඉවත්වීමෙන් අනතුරුව දෝෂාභියෝග ගෙනැවිත් වරදකරුවන් කළ අවස්ථා තිබේ.

සාක්ෂි දීමට ට්‍රම්ප් පැමිණේවි ද?

ඇත්ත වශයෙන් ම පැමිණිලිකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ද එයයි. තමන් කැමති ස්ථානයක දී දෙපාර්ශවයම එකඟ වන දිනයක හා වේලාවක සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත්වන ලෙස ආරාධනා කරමින් පසුගිය සතියේ දී ලිපියක් යවා ඇත.

ට්‍රම්ප් නිශ්ශබ්ද වන්නේ නම්, චෝදනා සත්‍ය බවට ඔප්පු කිරීමට එයද සාධකයක් වනු ඇති බවට අභිචෝදකයන් ඇඟවීමක් කර තිබේ.

කෙසේ නමුත්, මෙම ඉල්ලීම සිදුකර පැය කිහිපයක් ඇතුළත ට්‍රම්ප්ගේ නීතිඥවරු එය ප්‍රතික්ෂේප කර තිබුණි.

සාක්ෂි ලබා දීම සඳහා ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන බව ට්‍රම්ප්ගේ නීතිවේදීන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ට සිතාසි යැවීමට අභිචෝදකයන්ට බලය තිබේ. නමුත් එය බොහෝ විට සිදු නොවනු ඇති දෙයක් ලෙස සැලකේ.

මෙම පරීක්ෂණයට හවුල්වන්නේ කවුරුන් ද?

President Trump
ඩොනල්ඩ් ට්‍රම්ප්: කැපිටල් ගොඩනැගිල්ලට ආධාරකරුවන් කඩා වැදීමෙන් අනතුරුව ජාතිය අමතමින්

ට්‍රම්ප් ට එරෙහිව ගෙන ආ පළමු දෝෂාභියෝගයට අදාළ පරීක්ෂණය සිදුකෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබර්ට්ස් ගේ ප්‍රධානත්වයෙනි. නමුත් නැවතත් ඔහු එසේ නොකරනු ඇත.

සෙනෙට් සභික පැට්‍රික් ලීහයි මෙවර මූලාසනය දරනු ඇත.

තවත් සෙනෙට් සභිකයන් නව දෙනෙකු පරීක්ෂකවරු වශයෙන් කටයුතු කරනු ඇත.

ට්‍රම්ප් වෙනුවෙන් බලයලත් නියෝජිතයන් දෙදෙනෙකු ඉදිරිපත් වනු ඇත.

තම නීතිඥ කණ්ඩායමට තවත් කීපදෙනෙකු ට්‍රම්ප් විසින් පත් කරනු ලැබේවිදැයි තවමත් පැහැදිලි නැත.

සෙනෙට් සභිකයන් සිය දෙනාම ජූරි සභිකයන් ලෙස කටයුතු කිරීම සඳහා දිවුරුම් දී තිබේ.

සෙනෙට් සභාව තුළ ට්‍රම්ප් වැරදිකරු කළ හැකිද?

සෙනෙට් සභාවේ ආසන සියය අතරින් ඩිමොක්‍රටික් සභිකයන් සිටින්නේ අඩක් පමණි. එම නිසා තමන්ගේම පක්ෂයේ කෙනෙකුට එරෙහිව ඡන්දය පාවිච්චි කරන රිපබ්ලිකන් පාක්ෂික සභිකයන් 17 දෙනෙකු ද සිටිය යුතුය.

ප්‍රසිද්ධියේ ට්‍රම්ප් ට හිතවාදී ලෙස කටයුතු කරන පක්ෂයක එවැන්නක් සිදුවීම අසීරු දෙයකි.

නමුත් මෙම දෝෂාභියෝගය පරීක්ෂාවට ලක් කළ යුතු බවට රිපබ්ලිකන් සභිකයන් 10 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම තමන් විවෘතව සිටින බවට රිපබ්ලිකන් සභිකයන් අතලොස්සක් ඉඟි කර තිබේ.

කෙසේ නමුත්, මෙම පරීක්ෂණය අත්හිටවිය යුතු බවට රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් 50 දෙනාගෙන් 45 දෙනෙකු පසුගිය සතියේ ඡන්දය පාවිච්චි කර තිබුණි.

වැරදිකරු වුවහොත් යළිත් ජනාධිපතිකමට තරග කළ හැකිද?

ට්‍රම්ප් වැරදිකරු වුවහොත් ඔහු නැවත තරඟ කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නම් සෙනෙට් සභාව තුළ තවත් ඡන්ද විමසීමක් කළ යුතුය. 2024 දී තමන් නැවතත් ජනාධිපතිධුරයට තරඟ කරන බව ට්‍රම්ප් ඉඟිකර ඇත.

මෙම දෝෂාභියෝගයේ විශාලතම ප්‍රතිවිපාකය මෙය විය හැකිය.

එක්සත් ජනපදය තුළ කිසිදු ආකාරයක “ගරුකටයුතු කාර්යාලයක්, භාරකාර මණ්ඩලයක් හෝ ලාභ ලබන කාර්යාලයක්” පවත්වාගෙන යාම තහනම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ සෙනෙට් සභාවේ සරල බහුතරයක් පමණි.

එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැවත දේශපාලන බලයක් ලබා ගැනීමේ සිහිනය කඩා බිඳ දැමීමට සෙනෙට් සභිකයන් 50 දෙනෙකුට අමතරව උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ ඡන්දය පමණක් ප්‍රමාණවත් වනු ඇත.

ට්‍රම්ප් පක්ෂයෙන් ඉවත්කර ගැනීමට පවතින මෙම අවස්ථාවට, මීළඟට තරග කිරීමේ අපේක්ෂාව පවතින රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ද හිත ඇදී යා හැකිය.

ට්‍රම්ප්ට හිමි දීමනාවලට සිදුවන්නේ කුමක්ද?

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන දීමනා ට්‍රම්ප් ට අහිමි වීම පිළිබඳව ද කතාබහක් ඇතිවී තිබේ. හිටපු ජනාධිපතිවරුන් පිළිබඳව 1958 දී සම්මත වූ පනත ප්‍රකාරව ඔවුනට විශ්‍රාම වැටුපක්, සෞඛ්‍ය රක්ෂණාවරණයක් සහ බදු ගෙවන්නන්ගේ මුදලින් ජීවිතාන්තය දක්වා ආරක්ෂකයන් සැපයීම වැනි සහන හිමිවේ.

නමුත් ට්‍රම්ප් තනතුරින් ඉවත්වීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය පැවැත්වෙන බැවින් එම දීමනා එලෙසම පැවතීමට ඉඩ තිබේ.

ඔහුට එරෙහි පළමු දෝෂාභියෝගය කුමක්ද?

පළමු දෝෂාභියෝගය ඉදිරිපත් වූයේ යුක්රේනය සමඟ කෙරුණු බව කියන ගනුදෙනුවක් අරභයා ය. තමන් කිසිදු වරදක් නොකළ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ජෝ බයිඩන්ට (වත්මන් ජනපති) සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස යුක්රේනයේ නායකයාට බලපෑම් කළ බවට එවක ජනපති පදවියේ සිටි ට්‍රම්ප් ට චෝදනා එල්ල විය.

පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් දෝෂාභියෝගය සම්මත වී ට්‍රම්ප් වැරදිකරු බවට සම්මත වුවත් එවක රිපබ්ලිකන් පක්ෂය සතුව බලය පැවති සෙනෙට් සභාවෙන් ට්‍රම්ප් නිදොස් කෙරුණි.

Text by bbc sandesaya