වී මිලදී ගැනීමේදී ආණ්ඩුවේ අවුල වසා ගන්න ‘ගොවීන්ට තර්ජනය කරන්න එපා’

වී මිලදී ගැනීමේදී ආණ්ඩුවේ අවුල වසා ගන්න ‘ගොවීන්ට තර්ජනය කරන්න එපා’
Spread the love

දේශීය වී ගොවියාට බලපෑම් කරමින් පොහොර නොමිලේ ලබාදීම නවතා දමන බවට තර්ජනය කොට වී අස්වැන්න ලබා ගැනීමේ ක්‍රමවේදය වහාම වෙනස් කොට සාධාර ක්‍රමවේදයක් සැකසිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැ‍ඳවමින් කියා සිටියේ ගොවියා රජයට වී ලබාදීමට අකමැත්තක් දැක්වීම යටතේ ප්‍රශ්නයක් පවතින බවය.

එම ප්‍රශ්නය වී ගොවියාට පැනනැගී ඇත්තේ මීට පෙර රජය විසින් වී මිලදී ගැනීමේදී සිදුව ඇති විවිධ අක්‍රමිකතා හේතුවෙන් බව ඒ මහතා පෙන්වා දුන්නේය. වහාම එම ප්‍රශ්නයට ගොවියාට පිළිතුරක් ලබාදී වී මිලදී ගැනීම ආරම්භ කළ යුතු බව නාමල් කරුණාාරත්න පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ගොවියාට බලපෑම් කිරීමට, බලහත්කාරකම් කිරීමට අයිතියක් නොමැති බවත් මේ වනවිට නාඩු වී කිලෝවක් රැපියල් 50කටත් සම්බා කිලෝවක් රැපියල් 52කටත්, තෙත බර ඉවත් කළ වී මිල පවතින බවත් කීරි සම්බා සඳහා මිලක් පනවා නොමැති බවද පෙන්වා දුන් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ තෙත බර ඉවත් නොකළ වී සඳහා රුපියල් 44ක මිලක් සඳහන් කොට තිබෙන බවය.

මේ වනවිට පෞද්ගලික වෙළෙන්දන් තෙත බර ඉවත් නොකළ වී සඳහා රුපියල් 46.87ක මුදලකට ගෙවිම් සිදුකරන බවද ගොවියාට රුපියල් 2.87ක පාඩුවක් සිදුවන බවද පෙන්වා දුන්නේය.

මෙයද රජයට වී ලබා නොදෙන හේතුවක් බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දුන්නේය.

මෙහිදී සමස්ත ලංකා ගොවිජින සම්මේලනයේ ලේකම් ටී.බී සරත්ද අදහස් දැක්වීය.