පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවට

පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවට
Spread the love

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම සහ ප්‍රහාරය පිළිබඳව දැනුවත් භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මගපෑදු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පැහැදිලි වන්නේ යැයි කොමිසම සඳහන් කර ඇත.

එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලි පියවර ගැනීමට අපොහොසත්වීමට ප්‍රධාන හේතුවක් බවද කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට එය පහසුකම් සපයන්නක් බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

ලංකාදීප ඊ පුවත්පත ඇසුරිණි