හැමදේම තීන්දු වන්නේ තණතිල්ලට ගිය පසුවයි – දිමුත් කරුණාරත්න

හැමදේම තීන්දු වන්නේ තණතිල්ලට ගිය පසුවයි – දිමුත් කරුණාරත්න
Spread the love

ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පූර්ණ සුවය ලබමින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වී සිටියි.

ඉදිරි තරග සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටින ටෙස්ට් සහ එක්දින නායකයා බටහිර ඉන්දීය කොදෙව් වල ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් නොමැති වුවත් තරගාවලියේදී හොඳිල් ලකුණු රැස් කිරීමට තමන්ට හැකියාව පවතින බව විශ්වාස කරන බව පැවැසීය.

කොදෙව් සංචාරයට පෙර ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවක අදහස් දක්වා සිටි කරුණාරත්න, “නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු කොදෙව් කණ්ඩායම සතු වුවත් ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයින්. විශේෂයෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් සහ පිතිකරුවන් හොඳින් දක්ෂතා අතර පසුවනවා. ඒ වගේම කූලිජ් ක්‍රීඩාංගණයේ තණතීරුවත් වේගවත්. කොහොම වුණත් අපිට පුහුණුවීම් සඳහා සතියක පමණ කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත එහෙ තණතීරුවලට සහ දේශගුණික තත්ත්වයන්ට ඉක්මනට හුරුවීමට අපේක්ෂා කරනවා” යැයි පැවැසීය.

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල අවසන් වරට එතෙරදී තරගාවලියකට සහභාගිවන ලද්දේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියට වේ. වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු වල පැවැති එම තරගාවලිය 2-0 ක් ලෙස ප්‍රතිවාදී පිල හමුවේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. එහෙත් එම තරගාවලියේදී පිතිකරුවකු ලෙස දක්ෂතා අතරට පැමිණෙමින් ශතකයක් වාර්තා කිරීමට දිමුත් සමත්වූවේය.

එම දෙවැනි තරගය අතරතුරදී දිමුත්ගේ මහපටැඟිල්ල ප්‍රදේශයට පන්දුව වැදීමෙන් ආබාධයකට ලක්වූ බැවින් එංගලන්තයට එරෙහි තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද දිමුත්ට අහිමිවිය. එම තරගාවලියද ශ්‍රී ලංකා පිල 2-0 ක් ලෙස එංගලන්තය හමුවේ පරාජයට පත්වූ නමුත්, ඒ පිළිබඳව අදහස් දක්වන දිමුත්, එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවූයේ නම්  කණ්ඩායමේ සාර්ථකත්වයට කිසියම් බලපෑමක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබූ බව විශ්වාස කරන බවයි.

“විශේෂයෙන්ම එම ටෙස්ට තරග දෙකේ ඉනිම දෙකක දී අප අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගියා. එය වැළැක්වීමට තිබුණානම් හොඳයි. මට කියන්න පුළුවන් ශතකයක් කරා යාමට උත්සහා ගන්න තිබුණා කියා.  එහෙත් එය සිදුවන්නේ තණතිල්ලට ගිය පසුවයි” යැයි දිමුත් පවසයි.