‘ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා’

‘ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා’
Spread the love

කූලිජ්හි ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු විස්සයි-20 තරගය සඳහා තම කණ්ඩායම පූර්ණ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සඳහන් කරයි.

දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන මෙම පළමු විස්සයි-20 තරගය කොදෙව් වේලාවෙන් ප.ව. 8 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (04 දා) අළුයම 3.30 ට ආරම්භ වනු ඇත.

තරග 3 කින් සමන්විත මෙම විස්සයි-20 තරගාවලිය එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණ ඇතිව තරග වදිනු ඇත. ලොව වැඩිම වාර ගණනකදී විස්සයි-20 ලෝක කුසලාන දිනා සිටින කණ්ඩායම බවට කොදෙව් කණ්ඩායම පත්ව සිටියද මෙම තරගාවලිය සඳහා ඔවුන් අවතීර්ණ වන්නේ ජගත් ශ්‍රේණිගත කිරීමෙහි 10 වැනි ස්ථානයේ සිටය.ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානයේ සිට මෙම තරගයට අවතීර්ණ වනු ඇත‍.

“දීර්ඝ ගුවන් ගමනකින් පසු මෙහි පැමිණි අපි දින 3 ක නීරෝධායනයෙන් පසු පුහුණුවීම් ආරම්භ කළා. ඇත්තටම ඒ සැසිය ඉතාමත් හොඳ සැසියක් වුණා”යි මිකී ආතර් පවසයි.

“ඇත්තටම අපි මෙහෙ එනකොට අසීරුතාවයන් වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ප්‍රධාන ක්‍රීඩකයින් නොමැතිවීම, නායකයා අහිමිවීම වගේම වේග පන්දු පුහුණුකරු අවසාන මොහොතේ අහිමිවීම අවාසනාවකට සිද්ධ වුණු දේවල්. නමුත් මම හිතන්නේ අපේ ළමයින්ට ඒ හැමදේටම වඩා වැදගත් ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කර ගන්න” යැයි අන්තර්ජාල පහසුකම් ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු පවසා සිටියේය.

සංචාරයට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා සත්කාරක කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් සතුව වැඩි අත්දැකීම් සම්භාරයක් ඇති බව පිළිගත යුතු කරුණක් නමුත්, දෙරට අතර ඉතිහාසය සංසන්දනය කිරීමේදී වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටියි.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති විස්සයි-20 තරග 11 දී අවස්ථා 6 කදී ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වද්දී කොදෙව් පිල තරග 5 ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා පිල අවසන් වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේද මීට වසරකට ඉහතදී වන අතර එයද කොදෙව් පිලට එරෙහිව පවත්වා තිබීම කැපී පෙනෙයි. තරග 2 කින් සමන්විතව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති එම තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට කිරන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුතු කොදෙව් පිල සමත්විය. එම තරගාවලියට පෙර දෙපිළ මුණ ගැසී ඇති අවස්ථා දෙකේදීද ජය අත්කර ගැනීමට කොදෙව් පිල සමත්ව ඇති බැවින් පිට පිටම පස්වැනි පරාජයෙන් බේරී සිටීමට නම් ශ්‍රී ලංකා පිලට මෙම තරගයේ ජය අනිවාර්යය වනු ඇත.

විස්සයි-20 අංශයේ නායකත්වයට පත් දසුන් ශානකට වීසා බලපත්‍රය ලැබීම සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව හේතුවෙන් මෙම තරගාවලිය තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙය වනු ඇත. දසුන්ගේ අඩුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තියට කිසියම් බලපෑමක් එල්ල නොකරනවා ම නොවේ.

“ඇත්තටම කියනවා නම් අපි ඇද හිය නොහැකි තරමට මහන්සි වෙලා පුහුණුවීම් ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන ගියා. අප කණ්ඩායම සතු නිත්‍ය ක්‍රීඩකයින්ට වඩා තරුණ ක්‍රීඩකයින්ගේ ඉදිරියට ඒමට ගන්න උණන්දුව අති විශිෂ්ඨයි” යැයි පවසන ආතර්, “සියල්ලන්ගේම චිත්ත ධෛර්යය අති විශිෂ්ඨයි” යනුවෙන්ද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහි සටනට කොදෙව් කණ්ඩායම ඔවුන් සතු සිය බර අවි මෙම තරගාවලිය සඳහා නැවත කැඳවා තිබේ. එහිදී වසර 2 ක කාලයකට පසු ක්‍රිස් ගේල් ද වසර 9 කට පසු  ෆිඩෙල් එඩ්වර්ඩ්වද කැඳවමින් කොදෙව් පිල මෙම තරගාවලියට අවතීර්ණ වී සිටියි. ඊට අමතරව ඩ්වේන් බ්‍රාවෝ, කිරන් පොලාර්ඩ්, ජේසන් හෝල්ඩර් සහ ලෙන්ඩ්ල් සීමන්ස් අත්දැකීම් සපුරා සිටින ක්‍රීඩකයින් වේ. මෑතකදී කණ්ඩායමට එක් වුණු නිකලස් පූරාන්, ෆේබියන් ඇලන් සහ කෙවින් සින්ක්ලෙයාර් වැනි ක්‍රීඩකයන්ටද කොදෙව් පිලට වැඩි බලාපොරොත්තු ලබා දෙන්නෝ වෙති.

මූලික සංචිතය සඳහා නම් කරන ලද රොස්ටන් චේස්, ෂෙල්ඩන් කෝට්‍රල්, ශිම්රොන් හෙට්මියර් සහ ඔෂේන් තෝමස්ට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව මඟ හැරී තිබෙන්නේ පවත්වාගෙන යා යුතු අවම යෝග්‍යතාවය හෝ නොමැතිවීම හේතුවෙනි.

ඉකුත් තරගාවලි කීපයේදී කණ්ඩායම නියෝජනය කරන ලද පළපුරුදු ක්‍රීඩකයින් වන කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අවිෂ්ක ප්‍රනාන්දු, දසන් ශානක සහ කසුන් රජිතට කණ්ඩායමට එකතුවීමේ අවස්ථාව මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඩිල්ෂාන් මදුශංක සහ කමිඳු මෙන්ඩිස් යන නවකයින් කණ්ඩායමට එක් කර තිබේ.

“පළපුරුද්ද අතින් කණ්ඩායමේ සිටින ඉහළ ක්‍රීඩකයින්ට ලෝක කුසලාන සංචිතයට ඇතුළත්වීම සඳහා මේ තරගාවලිය හොඳ වේදිකාවක් නිර්මාණය කරනවා. ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරන කණ්ඩායමට නම් කළ යුතු හොඳම ක්‍රීඩකයින් 15 දෙනා කවුරුන්ද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමට මේ අවස්ථාවේදී මට හැකියාව ලැබෙනවා” යි පවසන මිකී ආතර්, “කණ්ඩායමට පැමිණිලා ඉන්න නවක ක්‍රීඩකයින් කිසිම බයක් සැකක් නැතුව ඔවුන්ගේ දක්ෂතා පෙන්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පැවැති පුහුණු සැසියේදී මේ තරුණ ක්‍රීඩකයින් ඉතා හොඳින් ඔවුන්ගේ පුහුණුවීම් සිදු කළා. ඇත්තම කියනවා නම් මම ඔවුන්ගේ දක්ෂතා ගැන පුදුමයට පත් වුණා කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමයි කණ්ඩායම් තුළ හැඟීම” යි පවසයි.

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ඩිල්ෂාන් මදුශංක, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්.

බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 සංචිතය – කිරන් පොලාර්ඩ් (නායක), නිකලස් පූරාන් , ෆේබියන් ඇලන්, ඩ්වෙන් බ්‍රාවෝ, ෆිඩෙල් එඩ්වර්ඩ්ස්, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, එවින් ලුවිස්, ඔබේඩ් මැකෝයි, රෝමන් පවෙල්, ලෙන්ඩ්ල් සිමන්ස්, කෙවින් සින්ක්ලෙයාර්.

Text by sl cricket