ඖෂධ භාවිතයෙන් තොරව HIV ‘සුවකිරීමේ හැකියාවක්’ – සුපිරි සොයා ගැනීමේ කතාව

ඖෂධ භාවිතයෙන් තොරව HIV ‘සුවකිරීමේ හැකියාවක්’ – සුපිරි සොයා ගැනීමේ කතාව
Spread the love

ඖෂධ භාවිතයකින් තොරව, ස්වභාවිකව ඒඩ්ස් රෝග කාරක එච්අයිවී (HIV) නම් වෛරසය තම ශරීරය තුළ පාලනය කිරීමට තරම් සමත් විශාල ජන කණ්ඩායමක් සොයා ගැනීම එම රෝගය සුව කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම දෙසට ගෙන යන බව විද්‍යාඥයෝ පවසති.

අප්‍රිකාවේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ එච්අයිවී වාහකයින්ගෙන් 4% ක් තරම්වන ප්‍රමාණයකට වෛරසය සහජයෙන්ම මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇති බව අධ්‍යයනයෙන් හෙළිවී තිබේ.

සාමාන්‍යයෙන් එච්අයිවී ශරීරගතව ඇති පුද්ගලයින්ගෙන් 1% ට අඩු පිරිසකට මෙම හැකියාව ලැබී ඇත.

මෙය, ඒඩ්ස් රෝග කාරක වෛරසය කරගැනීම සඳහා අලුත් ප්‍රතිකාර හෝ එන්නතක් නිර්මාණය කිරීමේ ඉදිරි පර්යේෂණවලට පිටිවහලක් සපයන බව පර්යේෂකයෝ පවසති.

“අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත මුලින් දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා,” යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය.

“මෙහි තේරුම, මෙය සැබවින්ම අපට සුව කළ හැක්කක් යන්නයි,” ඇය කීවාය.

‘ලාන්සෙට්’ නම් වෛද්‍යමය සඟරා පවුලේ ම කොටසක් වන ‘ඊබයෝමෙඩිසින්’ (eBioMedicine) හි පළකරන ලද තොරතුරු අනුව, 1987 සහ 2019 අතර කාලය තුළ එච්අයිවී සමග දිවි ගෙවූ පුද්ගලයන්ගෙන් ගන්නා ලද නියැදි පරීක්ෂාවට ලක් කර තිබිණි.

ඇබට් (Abbott) නම් වූ ඖෂධ සමාගම, කොංගෝ හි Université Protestante au Congo විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය මෙන්ම ඇමෙරිකාවේ කැන්සාස් නගරයේ පිහිටි මිසූරි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මෙම අධ්‍යයන කණ්ඩායමට ඇතුළත් වූහ.

අචාර්ය මේරි රොජර්ස්
ආචාර්ය මේරි රොජර්ස්

ඇබට් සමාගමේ ගෝලීය වෛරස ආවේක්ෂණ වැඩසටහනේ ප්‍රධානී ආචාර්ය රොජර්ස් පැවසූ පරිදි, කොංගෝ ජනරජයෙන් හමුවී තිබෙන 2.7% ක් සහ 4.3% ක් අතර පුද්ගලයින් ප්‍රමාණය එක් රටක් තුළින් හමුවූ විශාලතම ජන කණ්ඩායම වේ. තවත් එච්අයිවී සහිත 1% ක පිරිසක් කැමරූන් හි හමුවී ඇති අතර ඔවුන් ද ඖෂධ භාවිතයකින් තොරව වෛරසය ඉතා හොඳින් පාලනය කරගෙන ඇති බව හඳුනාගෙන තිබේ.

“සාමාන්‍යයෙන් එච්අයිවී සමග ජීවත්වන සියලු ජනතාව අතරින් 1% ට අඩු ප්‍රමාණයකට ස්වභාවිකව ම වෛරසය මැඩ පවත්වාගන්න හැකියි, ඒත් මේක කවදාවත් අප දැක තිබුණේ නැහැ.”

Waiting For An HIV Diagnosis In The Democratic Republic Of The Congo

මේ වනවිට, එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයින් හට වෛරසය මැඩපැවැත්වීම සඳහා මෙන්ම වෛරස ප්‍රමාණය අඩු කරගැනීම සඳහා ප්‍රති වෛරස ඖෂධ දෛනිකව භාවිත කිරීමට සිදුවී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන් හමුවූ “ඉහළ තලයේ පාලකයින්” ලෙස නම් කෙරී ඇති මෙම පිරිසට සිය එච්අයිවී ආසාදනය මැඩ පැවැත්වීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න තවමත් නොදනී.

මෙම කණ්ඩායමට, අඩු නොඑසේනම් හඳුනාගත නොහැකි තරමේ වෛරස ප්‍රමාණයක් ශරීරය තුළ පවත්වා ගැනීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම වෛරසය පාලනය සඳහා ඉතා වැදගත් වනු ඇති බව ආචාර්ය රොජර්ස් සඳහන් කළාය.

කෙසේවෙතත් මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව ඇය අවධාරණය කළේ, රෝගය වැඩි වර්ධනය වෙද්දී මෙම ජනතාවගේ ආරක්ෂාව අඩු වී යාමේ විභවතාවක් ඇති බව මීට පෙර කළ අධ්‍යයන මගින් කෙරුණු අනාවරණයන් ද පෙන්වා දෙමිනි.

එච්අයිවී මුලින්ම ලෝක අවධානයට ලක්වූයේ 1980 ගණන්වලදී ය. එතැන් සිට මේ දක්වා මිලියන 76 ක පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට මිලියන 38 ක පිරිසක් වෛරසය ශරීරගතව දිවි ගෙවන බව ඇබට් සමාගම පවසයි.

දැන් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය ලෙස හැඳින්වෙන භූමිය තුළ, මින් සියවසකට ඉහතදී එය පැන නගින්නට ඇති බව විශ්වාස කෙරෙන අතර අද වනවිට උප සහරානු අප්‍රිකාව තුළ කාන්තාවන්ට විෂම ලෙස එච්අයිවී බලපා තිබේ.

Text by bbc sandesaya