කොදෙව් පිළට කඩුළු 4ක පහසු ජයක්

කොදෙව් පිළට කඩුළු 4ක පහසු ජයක්
Spread the love

විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන ලද ලොව තෙවැනි පිතිකරුවා බවට පත්වුණු කිරන් පොලාර්ඩ්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (04 දා) අළුයම අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒසමඟම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය.

ඇන්ටිගුවාහි පැවැති මෙම තරගයේදී ලකුණු 132 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සත්කාරක කණ්ඩායමේ වැඩි හරියක්ම වාර්තා වූයේ හයේ පහර හෝ කඩුලු වැටී යෑම් විය. පන්දු 41 ක් සහ කඩුලු 4 ක් ඉතිරිව තිබියදී කොදෙව් පිල ජය ගන්නා විට ඉනිමේ වාර්තා කරන ලද ලකුණු 134 න් ලකුණු 78 ක් හයේ පහර වලින් (6×13) වාර්තා වීම කැපී පෙනුණි. හතරේ පහර 6 ක්ද වාර්තා වුණු කොදෙව් ඉනිමේ අතිරේක ලකුණු 09 හැරුණු විට ලකුණු 23 ක් පමණක් කඩුලු අතර දිව යමින් ලබාගෙන තිබුණි.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී වේගවත් ලකුණු 52 ක් රැස් කිරීමට එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සීමන්ස් සමත්විය. එහෙත් සිව්වැනි පන්දුවාරය යැවූ අකිල ධනංජය විසින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වීමත් සමඟ කොදෙව් හඹා යෑම තරමක් තැතිගන්වන ස්වභාවයක් ඉසිලීය.

ප්‍රථමයෙන්ම එවන් ලුවිස් දවා ගත් අකිල, අනතුරුව පැමිණි ක්‍රිස් ගේල්ව කඩුල්ල මුවා කිරීමේ වරදකටද, නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙන් උප නායක නිකලස් පූරාන්ව දවා ගැනීමට සමත්වීම හේතුවෙන් පළමු වතාවට කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීවේය. පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැන නැගුණු ගැටළුව නිරාකරණය කිරීමෙන් පසු අකිල සහභාගිවුණු පළමු ජාත්‍යන්තර තරගය බවට පත් වුණු මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනෙයි.

ඊට පන්දු 8 කට පසු නිකොලොස් පූරාන්ව දවා ගැනීමට වනිඳු හසරංග සමත්වීමත් සමඟ තරගයේ පාලනය ශ්‍රී ලංකා පිල වෙත නතු වුණු නමුත් අනතුරුව පිටියට පිවිසි කිරන් පොලාර්ඩ්ගේ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් සියල්ල කොදෙව් පිලේ වාසියට හැරවිණ. තරගයේ හය වැනි පන්දුවාරය යැවූ කඩුලු ත්‍රිත්ව ලාභී අකිල ධනංජයට එරෙහිව හයේ පහර 6 ක් එල්ල කළ පොලාර්ඩ් විස්සයි-20 තරග අංශයේ එවැනි හපන්කමක් කළ ලොව තෙවැනි පිතිකරුවා බවට පත්විය. පොලාර්ඩ් පෙර දකුණු අප්‍රිකානු පිතිකරු හර්ෂල් ගිබ්ස් සහ ඉන්දීය පිතිකරු යුවරාජ් සිං පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කර ඇති පිතිකරුවෝ බවට පත්ව සිටිති.

පොලාර්ඩ්ගේ එම අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසනදී ලකුණු 98 ක් රැස් කිරීමට කොදෙව් පිලට අවස්ථාව උදා වූ අතර එය නව විස්සයි-20 වාර්තාවක් ලෙසින් සටහන් විය. හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව පොලාර්ඩ් දැවී යන විට පන්දු 11 කදී ලකුණු 38 ක් රැස් කරගෙන සිටියේය. එම දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ෆේබියන් ඇලන්ව පළමු පන්දුවෙන්ම දවා ගත් හසරංග ද කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ ආසන්න අවස්ථාවක් නිර්මාණය කරගත් නමුත් ඊළඟ පන්දුව සඳහා මුහුණ දුන් ඩ්වේන් බ්‍රාවෝ ආරක්ෂා වූවේය.

නුවන් ප්‍රදීප් විසින් යවන ලද 14 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට ජේසන් හෝල්ඩර් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ජයග්‍රහණය සනාථ වන විට කඩුලු 6 ක් දැවී ගොස් තිබුණි. තරගය හමාර වන විට පන්දු 24 කට මුහුණ දී සිටි හෝල්ඩර් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක් ස ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 04 ක් රැස් කරගෙන සිටියහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 එක් කිරීමට නිරෝෂන් දික්වැල්ල සහ පළමු ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සමත්විය. දේශීය තරග පිටියේ මෙන්ම සංවර්ධන සහ ඒ තරග සංචාරයන්හි හොඳින් ලකුණු අතර සිටි පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 39 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 34 කදී ගොඩනැංවුණු පැතුම්ගේ ඉනිම හැරුණු කොට වැඩිම ලකුණු ලාභියා වූයේ නිරෝෂන් දික්වැල්ල (33) පමණි. ඒ හැරුණු විට සෙසු එකම පිතිකරුවකු ලකුණු 12 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූහ.

ශ්‍රී ලංකා පිල මෙල්ල කිරීම සඳහා කොදෙව් නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගී කරගත් නමුත් තමන් පන්දු යැවීමෙන් වැළකී සිටියේය. නායකයා තැබූ විශ්වාසය අකුරටම ඉටු කළ කොදෙව් පන්දු යව්නන්න අතරින් ඔබෙඩ් මැකෝයි ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගනිද්දී සෙස්සෝ සියල්ල එක් කඩුල්ල බැගින් දවා ගත්හ. කොදෙව් පන්දු යවන්නන් තරගයේ පාලනය කෙසේ රඳවා ගත්තේද කිවහොත් අවසන් පන්දුවාර 10 ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල කර තිබුණේ හතරේ පහර 3 ක් පමණි.

පැතුම් නිස්සංකට අමතරව මෙම තරගයේදී අෂේන් බණ්ඩාරද ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත්වූ අතර ඔහු ලකුණු 10 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවූවේය. වැඩිම අත්දැකීම් සම්භායක් ඇති නායක මැත්ව්ස් සහ දිනේෂ් චන්දිමාල්ට නිසි ලෙන පන්දුව ස්ථානගත කිරීමට නොහැකිවීම මත අඩු ලකුණුවලට දැවී යෑම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් බවට පත්විය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය මෙම මස 06 වැනිදා කූලිජ්හිදීම පැවැත්වේ.

Text by – sri lanka cricket