අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
Spread the love

පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය.

මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගියද වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාර 12 දී ලකුණු 20 ක් ලබාගැනීමේ අභියෝගය කොදෙව් කණ්ඩායම මත පැටවිණ. එහෙත් අකිල ධනංජය විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දුවාරයේදී දැවැන්ත හයේ පහර 3 ක් එල්ල කළ ෆේබියන් ඇලන්, ශ්‍රී ලංකාව අතේ තිබූ ජයග්‍රහණය උදුරා ගත්තේය. ජයග්‍රාහී හයේ පහර ඇලන්ගේ පිත්තෙන් එල්ල වන විට කොදෙව් ලකුණු පුවරුවේ පන්දු 6 ක් සහ කඩුලු 3 ක් ඉතිරිව තිබිණ.

පිත්තෙන් දක්වන ලද දක්ෂතා වලට අමතරව පන්දු යැවීමේදී සිය පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමටද ඇලන් සමත්වූවේය. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 න් 3 ක්ම පවර් ප්ලේ අවස්ථාවේදී යවන ලද ඒවා විය. එම දක්ෂතාවය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 27 ක් වන අතර එහිදී කඩුලු 3 ක්ම දැවී යෑම දැවැන්ත පාඩුවක් විය. තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් මෙම තරගයේ වීරයා සම්මානයෙන්ද ෆේබියන් ඇලන් පිදුම් ලැබීය.

පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දු 36 දී කඩුල්ලක් දැවී ලකුණු 53 ක් රැස් කරමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වුවද වනිඳු හසරංගගේ පන්දු යැවීමට කැඳවීමත් සමඟ යළිත් වරක් කොදෙව් පිතිකරුවෝ පසුපසට තල්ලු වූහ. එහිදී සාර්ථක වුණු වනිඳු එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සිමන්ස්ගේ කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා දීමට සමත්වූවේය. සිය සහායකයා ලබාගත් ආරම්භය එලෙසින්ම පවත්වාගත් චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් පිට පිට පන්දු දෙකකදී රොව්මන් පවෙල් සහ ඩ්වයින් බ්‍රාවෝගේ කඩුලු ද සමඟ දවාගත් කඩුලු 3 ත් දුෂ්මන්ත චමීර දවාගත් කඩුලු 2 ත් හේතුවෙන් කොදෙව් හඹා යෑමට දැඩි බලපෑමක් එල්ල කළේය. පළමු තරගයේ පරිදිම දැවැන්ත ප්‍රහාරයකට ලක් වුණු අකිල ධනංජයගේ පන්දුවාර 4 දී ලකුණු 52 ක් උදුරා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගියද 5 වැනි කඩුල්ලට එක් වුණු දිනේෂ් චන්දිමාල් සහ අෂේන් බණ්ඩාර ලකුණු 85 ක් රැස් කරමින් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබූහ. පන්දු @ කදී වාර්තා වුණු මෙම නොබිඳුණු සම්බන්ධතාවය වාර්තා වූයේ විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් 5 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සබඳතාවය ලෙසිනි. එම සම්බන්ධතාව මත නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 131 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව විවර විය.

පළමු තරග 2 ට ම වඩා මන්දගාමී වුණු කූලිජ් තණතීරුවේදී ඇලන්ට අමතරව වැඩි වාසි ලබා ගත් කෙවින් සින්ක්ලෙයාර් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීම අඩපණ කළේය. පන්දු යැවී ෆේබියන් ඇලන් පෙරළා රැකගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන් පෙර තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු ගුණතිලකගේ ඉනිම ලකුණු 9 කදී නිමාවට පත්විය.

එසේ ලබා ගත් සාර්ථක ආරම්භය 10 වැනි පන්දුවාරය වන තෙක්ම රඳවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ලකුණු පුවරුව ලකුණුඅ 47 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් චන්දිමාල්ට එක් වුණු අෂේන් බණ්ඩාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 35 කදී ලකුණු 44 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. බණ්ඩාර සමඟ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් හතරේ පහර 3 ක් සමඟින්පන්දු 46 කදී ලකුණු 54 ක් ලබා සිටියේය.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාගණයේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.