ස්විට්සර්ලන්තයේ ‘බුර්කා සහ නිකාබ්’ තහනම්

ස්විට්සර්ලන්තයේ ‘බුර්කා සහ නිකාබ්’ තහනම්
Spread the love

ස්විට්සර්ලන්ත ජනතාව, මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන්හ.

ඉරිදා (මාර්තු 07) පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන් දැක්විණි.

මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂය (SVP නොඑසේනම්, Swiss People’s Party) සිය මැතිවරණ ව්‍යාපාරය තුළ “අන්තවාදය නවත්වනු” වැනි සටන් පාඨ ඉදිරිපත් කළේය.

මෙය මුස්ලිම් ජනතාවට “අඳුරු දිනයක්” වූ බව ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ ඉස්ලාමීය කණ්ඩායමක් විසින් හඳුන්වා දෙනු ලැබිණි.

“අද තීරණය පැරණි තුවාල විවර කරන්නක්, නෛතික අසමානතාව පිළිබඳ ප්‍රතිපත්තිය තවදුරටත් පුළුල් කරන්නක් මෙන්ම බැහැර කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් සුළුතරයට යැවුණු පැහැදිලි සංඥාවක්,” යැයි සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළ මුස්ලිම් ප්‍රජාවේ මධ්‍යම මණ්ඩලය, මෙම තීරණ අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන බව කියා සිටියේය.

කාන්තාවන් පැළඳිය යුත්තේ කුමක්ද යන්න නිගමනය කිරීම රාජ්‍යයට අයත් කාර්යයක් නොවන බව දක්වමින් තහනමට එරෙහිව ස්විස් ආණ්ඩුව තර්ක කර තිබිණි.

ජර්මනියේ ලුසර්න් විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකට අනුව, ස්විට්සර්ලන්තය තුළ කිසිවකු හෝ බුර්කාව නොපළඳින තරම් වන අතර කාන්තාවන් 30 දෙනෙක් පමණ නිකාබය පැළඳ සිටියහ. මිලියන 8.6ක් වන ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් 5% ක පමණ මුස්ලිම් ජනතාවක් වෙති. ඉන් බොහෝමය තුර්කිය, බොස්නියා සහ කොසොවෝ යන රටවල සම්භවය සහිත වූවෝ වෙති.

BBC

රටේ පවතින සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව, සිය කටයුතු සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත ජනතාවට සෘජු මැදිහත්වීමක් කිරීමේ හැකියාව ලබාදී තිබේ. විවධ කරුණු සම්බන්ධයෙන් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ජාතික හෝ කලාපීය වශයෙන් වන ජනමත විචාරණ සඳහා නිතර ඔවුහු සහභාගී කර ගැනෙති.

මෙය ස්විස් ජනමත විචාරණයක දී ඉස්ලාම් සම්බන්ධ වූ පළමු අවස්ථාව නොවේ. 2009 දී ආණ්ඩුවේ උපදෙස්වලට එරෙහිව ගිය ස්විස් පුරවැසියෝ, මුස්ලිම් දේවස්ථානවල කුළුණු ඉදිකිරීම තහනම් කිරීමට ඡන්දය භාවිත කළහ. SVP පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකින් කියැවුණේ අදාළ කුළුණු ඉස්ලාමීයකරණය පිළිබඳ ලකුණක් වන බවකි.

ඉරිදා ජනමත විචාරණයට පදනම් වූ යෝජනාවෙන් සෘජුව ම ඉස්ලාම් පිළිබඳ සඳහනක් නොකෙරුණු අතර මුහුණු ආවරණ පැළඳි ප්‍රචණ්ඩකාරී වීථි උද්ඝෝෂකයින් නැවත්වීම ඉන් අපේක්ෂා කෙරිණි. කෙසේවෙතත් ජනමත විචාරණය “බුර්කා තහනම” ලෙස විශාල වශයෙන් සඳහන් කෙරිණි.

මුස්ලිම් කාන්තාවන් නිරූපිත පෝස්ටර මෙන්ම මෙම ජනමත විචාරණ ප්‍රචාරක වැඩපිළිවෙල කනස්සල්ල ඇතිකරන්නක් වූ බව ස්විට්සර්ලන්ත මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකා සනිජා අමෙති බීබීසී සමග පැවසුවාය.

“තමන් අවමානයට ලක්වූ බව මෙන්ම මේ සමාජයේ කොටසක් නොවන බවක් ස්විට්සර්ලන්තයේ සිටින බොහෝ මුස්ලිම්වරුන්ට දැනේවි. තමන් අයත් නොවන මුල්ලකට ඇද දැමුවා සේ දැනේවි. අපි, පෙනුමෙන් මේ පින්තුරවල ඉන්න කාන්තාවන් වගේ නෙවෙයි.” ඇය සඳහන් කළාය.

කෙසේවෙතත්, මුස්ලිම් ප්‍රජාවට අයත් වෙනත් අය මෙම තහනමට සහය දක්වයි.

“සමහරවිට ඉස්ලාම් භීතිකාව” මෙම වැඩපිළිවෙල පසුපස තිබිය හැකි යැයි තමන් සිතූ බව බර්න් නගරයේ වෙසෙන ඉමාම් මුස්තාෆා මෙමෙති බීබීසී සමග පැවසීය. නමුත් මෙය ස්විට්සර්ලන්තයේ සිටින මුස්ලිම් කාන්තාවන් නිදහස් කිරීමට ඉවහල් විය හැකි බැවින් තමන් එම තහනමට සහය දුන් බව ඔහු කීය.

මුස්ලිම් හිස් ආවරණ “අන්තගාමී බවේ සංකේතයක්, දේශපාලනික ඉස්ලාමය යුරෝපයේ වේගයෙන් ප්‍රමුඛව මතුවෙමින් තිබෙන අතර ඊට ස්විට්සර්ලන්තයේ ඉඩක් නැහැ” යැයි SVP පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනමත විචාරණ කමිටුවේ සභාපති වොල්ටර් වොබ්මාන් ඡන්දයට පෙර පැවසීය.

“ස්විට්සර්ලන්තයේ අපගේ සම්ප්‍රදාය වන්නේ ඔබ ඔබේ මුහුණ පෙන්වන්න. එය අපගේ මූලික නිදහස් තත්ත්වයන් පිළිබඳ ලකුණක්” ඔහු සඳහන් කළේය.

යෝජිත තහනමට එරෙහිව අදහස් පළකරන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය, “මෙය ප්‍රකාශනයේ නිදහස හා ආගමට ඇතුළත් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරන භයානක ප්‍රතිපත්තියක්” යැයි කියා සිටියේය.

ප්‍රසිද්ධියේ ඉස්ලාමීය හිස් ආවරණ පැළඳීම යුරෝපයේ අනෙකුත් රටවල ද අර්බුදකාරී මාතෘකාවක් බවට පත්ව ඇත. ප්‍රසිද්ධියේ පූර්ණ වශයෙන් මුහුණ වැසෙන ආවරණ පැළඳීම ප්‍රංශය විසින් 2011 වසරේදී තහනම් කරන ලද අතර එවැනි පූර්ණ හෝ අර්ධ වශයෙන් තහනම් පැනවීමට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව හා බල්ගේරියාව ද පියවර ගෙන තිබිණි.

බී.බී.සී ඇසුරිණි