මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම සුපිරි රීති 09ක්

මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම සුපිරි රීති 09ක්
Spread the love

සුන්දර මනාලියක් වෙන්න හැම යුවතියක්ම හීන දකින බව අපි දන්නවා. ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සකසනවා වගේම සූදානම් වෙනවා. ඔබේ ජීවිතේ සොදුරුම දවසෙ ඔබ සුවිශේෂී ලෙස දකින්න හැම යුවතියක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඔබ බොහෝ මුදල් වගේම කාලය ශ්‍රමය වැය කරනවා නේද?

ඒ නිසාමයි ඒ දවස තවත් ලස්සන කරගන්න ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන, මාළඹේ, Salon AKROO හි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී අනූධා දහනායක මහත්මිය ඔබට උපදෙස් ගෙන එන්නේ.

මෙන්න මේ විදියට සූදානම් උනොත් ඔබේ දිවියේ සොදුරුම දවස තවත් ලස්සන එකක් කරගන්න ඔබට හැකියාව ලැබේවි.

1. මාස 6කට පෙරවත් සූදානම්වීම වැදගත්

ඹබ විවාහය සැලසුම් කිරීම අවම මාස 6කට පෙරවත් පටන්ගැනීම වැදගත්. උත්සවයේ අනෙක් අංග වගේම ඔබ කැමති ඔබට ගැළපෙන රූපලාවණ්‍ යශිල්පියා හමුවෙන්න. ඔහු හෝ ඇය සමග ඔබේ අවශ්‍යතාව කතාබහ කරන්න. ඔවුන්ට හැකියාව තියෙනවා ඔබට වඩාත් ගැළපෙන සහ ඔබට අවශ්‍ය දේ වෘත්තීය පළපුරුද්ද සහ දැනුම මත තෝරා බේරා දෙන්න.


2. මුහුණ පමණක් නොවේ මුළු සිරුරටම අවධානය දෙන්න

ලස්සන ගැන කතා කරනකොටම ඔබට මුලින්ම මතක් වෙන්නෙ මුහුණ. ඒත් මනාලියක් වෙන්න සූදානම් වන ඔබ මුළු සිරුරේම සම පිළිබද සැලකිලිමත් වීම වටිනවා. මේ නිසා ඔබ ඔබේ රූපලාවණ්‍ යශිල්පියාගේ උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්.

3. ශරීර හැඩය පවත්වා ගැනීම

ඔබේ ශරීරයේ හැඩය මේ වෙන කොටත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ලහැඩයට නැත්නම් ඒ ගැන විශේෂ අවධානයක් දෙන්න. ඒ පිළිබද අවශ්‍ය උපදෙස් ලබා ගන්න. මාස කිහිපයක් මේ සදහා අවශ්‍ය වන නිසා කල් ඇතිව ශරීර සුවතා අභ්‍යාස ආරම්භ කිරීම ඔබට පහසුවක් වේවි.

4. වියළි සමට තිත තබන්න.

ඔබට ඇත්තේ වියළි සමක් නම් ඒ සදහා අවශ්‍ය සත්කාර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මංගල දිනයේදී ඔබ මොනතරම් මේකප් භාවිතා කළත් ඔබට ඇත්තේ වියලි සමක් නම් සුන්දර පෙනුමක් ලබා ගැනීම පහසු නැහැ. මේ නිසා නිතර සම පිරිසිදු කිරීමෙන් අනතුරුව මොයිස්චරයිස් කිරීම වැනි සත්කාර මගින් ඔබේ සමේ මෘදුබව රැකගැනීමට හැකියාව තිබෙනවා.

5. හැකි තරම් ජලය පානය කරන්න

සුන්දරත්වය රැකගන්න නම් ජලය පානය කිරීම අනිවාර්යය වෙනවා. අවම වශයෙන් ඔබ දිනකට වතුර ලීටර 2ක්වත් පානය කළ යුතුයි. හැකි තරම් ජලය පානය කිරීම ඔබේ මංගල දිනයට වගේම එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නත් මග පාදනවා.

6. දැඩි හිරු එළියෙන් ආරක්ෂා වෙන්න

මංගල උත්සවය වෙනුවෙන් ඔබට බොහෝ රාජකාරි පැවරුනත් ඒ සියල්ල මැද්දේ ඔබේ සම ආරක්ෂා කරගන්නත් අමතක කරන්න එපා. හිරු රශ්මියෙන් පිලිස්සුන සම යථා තත්වයට පත් වෙන්න කාලයක් ගතවන නිසා හැකි තාක් සුදුසු Sun protection ආලේපන භාවිතා කරන්න.

7. නිය පිළිබදවත් සුළුවෙන් හිතන්න එපා.

යුවතියන් සුන්දරත්වය ගැන සැලකිලිමත් වුනත් ඔවුන්ට මගහැරෙන දෙයක් තමයි දෑත් සහ දෙපාවල නිය පිරිසිදුව අලංකාරව පවත්වා ගැනීම. දිනපතා නිය පිරිසිදු කිරීම වගේම අවශ්‍ය පරිදි සකස් කර සත්කාර කිරීම මගින් මංගල දිනයට විශේෂයෙන් මුදල් ගෙවා නිය අලංකරණය කරගැනීමට ඔබට අවශ්‍ය වෙන්නෙ නැහැ.

8. හිසකෙස් සත්කාර කරන්න

ඔබේ හිසකෙස් අවශය දිග ප්‍රමාණයට ඔබේ රූපලාවණ්‍යශිල්පියා හෝ ශිල්පිණිය සමග සාකච්ඡා කර සකසා ගන්න. සතියකට වරක් තෙල් සත්කාර වැනි සත්කාර කිරීම තුළින් මංගල දිනයේදී ඔබේ හිසකෙස් සැකසීමට පහසුවක් වගේම ඔබේ පෙනුම වැඩි කරන්න හේතු වෙනවා.

9. අනවශ්‍ය රෝම ඉවත් කරන්න

මංගල දිනයට සමීපම දිනයක් යොදා ගෙන ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ උපදෙස් මත මුහුණේ බෙල්ලේ සහ පිටතට නිරාවණය වන සමෙහි අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදු කරන්න. මෙමගින් ඔබේ සම පැහැදිලි වගේම භාවිතා කරන මේකප් හොදින් සම මත දීර්ඝ වෙලාවක් රැදී සිටීමත් සිදු වෙනවා.

සටහන – මධුභාෂිණී උරේෂා