හමුදා පාලනයට එරෙහිව මියන්මාර කතුන්ගේ ලුන්ගි විප්ලවය ඉදිරියට

හමුදා පාලනයට එරෙහිව මියන්මාර කතුන්ගේ ලුන්ගි විප්ලවය ඉදිරියට

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලාදමා එරට බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාවට එරෙහිව කාන්තා පරපුරත් මාවතට බැස සිටිති. එම කාන්තාවන් විසි හමුදා පාලනයට එරෙහිව භාවිත කරනු ලබන සටන් සංකේතයක් වී තිබෙන්නේ ඔවුන් අඳින සරමයි. නැත්නම් ලුන්ගියයි.

බුරුම භාෂාවෙන් ‘Htamein’යනුවෙන් හඳුන්වනු ලබන එම කාන්තා ඇඳුම් සටන් සංකේතයක් බවට පත්ව ඇත්තේ කුමක් නිසාද? ඊට හේතුව කාන්තා ඇඳුම් සම්බන්ධයෙන් එම සමාජයේ පවතින සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාසයන්ය. කාන්තාවන් විසින් සිය සරොම් ලී කෝටු ආදියේ අමුණා ප්‍රදර්ශනය කරමින් ගෙනයමින් පවතින විරෝධතා ව්‍යාපාරය නම්කරනු ලැබ තිබෙන්නේ ‘සරම් විප්ලවය’ යනුවෙනි.

Loading...

කාන්තාවකගේ සරමක් හෝ ‘ලුන්ගියක්'(Htamein) යටින් පුරුෂයකු ගමන් කළොත් ඔහුගේ බලය සහ තේජස් මහිමය අවසන් වන්නේය යන්න මියන්මාර් සමාජයේ මුල්බැසගත් සාම්ප්‍රදායික විශ්වාසයකි. ‘තේජස’ බුරුම භාෂාවෙන් හැඳින්වෙන්නේ “hpone” යන වචනයෙනි. පුරුෂයෙක් කාන්තා ඇඳුමක් යටින් ගියොත් ‘තේජස’, නැතිනම් “hpone” අහිමිවේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි..

Sarongs hang on washing line in Myanmar
මියන්මාර් කාන්තාවන් ඔවුන්ගේ ‘Htamein’ සරම් රෙදි වේලන ලණුවල එල්ලා තබන ආකාරය

දැන් මෙය සටන් උපක්‍රමයක් කරගෙන ඇත.

ආරක්ෂක හමුදාව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනයා පදිංචි කලාපවලට ඇතුල්වීම වැලැක්වීමට කාන්තාවන් සිදුකරන්නේ තම ‘සරොම්’ මාවත ඉහළින් එල්ලා තැබීමය.

ඇතැම් ස්ථානවල එම උපක්‍රමය මගින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතිබවත් වාර්තා වෙයි.

සිය මෙහෙයුම් සඳහා ඉදිරියට යාමට පෙර පොලිස් නිලධාරීන් කාන්තාවන් විසින් එල්ලා තබන ලද ‘සරොම්’ වැල් කපා ඉවත්කරන දර්ශන සහිත පින්තූර සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරුවෙමින් තිබුණි.

විරෝධතාවාදීන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මියන්මාරයේ යුද හමුදා පාලනය අවසන්කරන ලෙසය. එසේම අවුං සාන් සූ චී ඇතුළු මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින සියලු නායකයන් මුදාහරින ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. පසුගිය පෙබරවාරි මස පළමුවෙනි දිනයේ බලය අල්ලාගත් දින පටන් යුද හමුදා ජුන්ටාව විසින් අවුං සාන් සූ චී රඳවා තබනු ලැබ ඇත.

යුද හමුදාව කියා සිටින්නේ මැතිවරණ ප්‍රෝඩාවන්ට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බලය පවරාගත් බවකි. බලය පැහැරගත් යුද හමුදාව සිය ප්‍රධානී මෙන්ම හමුදාපති, ජනරාල් මින් අවුං හ්ලේන් (General Min Aung Hlaing) වෙත බලය පවරා ඇති අතර වසරක කාලයකට බල පැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

ජනරාල් මින් දිගුකලක් තිස්සේ මියන්මාරයේ දේශපාලනයට බලපෑම් කරන චරිතයකි. රට කලක් පැවති යුදමය පාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට සංක්‍රාන්ති අවධියක් පසුකරමින් තිබූ වකවානුවේත් ජනරාල්වරයා සිය බලය සාර්ථක ලෙස භාවිත කරමින් සිටියේය.

Women create a barrier across a street made of sarongs.
මාර්ග බාධකයක්;ආරක්‍ෂක හමුදා වලක්වාලීම සඳහා සිය සරොම් යොදාගනිමින් මාර්ගය හරස් කරමින් සිටින කාන්තාවන් පිරිසක්

පුළුල් විශ්වාසයක්

තමන් විසින් දියත්කරනු ලැබ ඇති ‘සරොම් විප්ලවය’ සමඟ මියන්මාර කාන්තාවන් රැඳී සිටින්නේ ඔවුන්ගේ සමාජයේ පවතින පුළුල් විශ්වාසයක් අනුවය.

” මම හැදී වැඩුනේ කාන්තා සරොම් යනු අපිරිසිදු රෙදි කැබැල්ලක් සහ එය මට ඉහළින් තිබුණොත් එමගින් මගේ බලය පහත වැටෙනු ඇත යන මිත්‍යා විශ්වාසය මුල්බැසගත් සමාජයක. මගේ මිතුරන් එම මිත්‍යාව විශ්වාස කළා” මියන්මාරයේ ශිෂ්‍යයකු වන Htun Lynn Zaw පවසයි.

එක්සත් රාජධානියේ වෙසෙන බුරුම ගත්කතුවරියක සහ ‘පොඩ්කාස්ට්’ සන්නිවේදනය කරන්නියක වන (podcaster) වන මිමී ඒයේ (MiMi Aye) අදහස් දක්වමින්, මියන්මාර කාන්තාවන් තම ලිංගිකත්වයට අදාළ මිත්‍යා විශ්වාස ඔවුන්ගේ වාසිය සඳහා උපයෝගීකර ගනිමින් සිටින්නේ යැයි සඳහන් කළාය.

”මේ මිත්‍යා විශ්වාසය මගින් මුලදී අදහස් කෙරුනේ කාන්තාවන් අපිරිසිදු නිසා පුරුෂයන්ගේ බලය අහිමිවීමක් නොවෙයි. එයින් අදහස් කෙරුනේ කාන්තාවන් ආශා උපදවන පෙළඹවීම් සහිත කොට්ඨාසයක් නිසා ඔවුන්ට දුර්වල පුරුෂයන් විනාශ කිරීමට හැකියාවක් තියෙනවය කියන එකයි”

Burmese man wears sarong wrapped around his head in protest
ජාත්‍යන්තර කාන්තා දිනයෙහි පුරුෂයන් ද කාන්තා සරම් පැළඳ ගත්හ

එපමණක් නොව, කාන්තා සරම වාසනාවේ සංකේතයක් හැටියට සලකන සම්ප්‍රදායක් ද පැවති බව මිමී ඒයේ පෙන්වා දෙයි.

”මිනිස්සු යුද්දෙට යද්දි ඔවුන්ගේ අම්මලාගේ සරමක කුඩා කැබැල්ලක් අරගෙන ගිහින් ඔවුන් එම රෙදි කැබැල්ල කන්පෙති වැසීමට යොදාගෙන තියෙනව. 1988 දියත්වෙච්ච ‘8888’විරෝධතා ව්‍යාපාරයේ දී උද්ඝෝෂකයන් මව්වරුන්ගේ සරම් කැබලි ලේන්සු හැටියට පාවිච්චි කළා. ඒවා හිසවටා ගැට ගසාගෙන හිටියා” මිමී ඒයේ වැඩිදුරටත් විස්තර කළාය.

‘මේ දිනවල මියන්මාර කාත්නා සරම් ප්‍රසිද්ධ ස්ථානයන්හි බලය ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයක් ලෙස තෝරාගනු ලැබ ඇත.

මාර්තු අටවෙනිදා,ජාත්‍යන්තර කාන්තා දිනයේ මියන්මාර කාන්තාවන් ඔවුන්ගේ සරොම් ලීකණුවල ගැටගසා ප්‍රදර්ශනය කරමින් යුද හමුදා පාලනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටි අතර එය නම්කරන ලද්දී ”සරම් විප්ලවය” යනුවෙනි.

Young protestors hold flags made from sarongs
මියන්මාරයේ මහජන විරෝධතා ව්‍යාපාරයට හවුල් වූ තරුණ ක්‍රියාකාරිකයන් මරා දමනු ලැබ ඇත
Protestors using sarongs as flags in Myanmar
විරෝධතාවාදීහු සරම් තමරටේ කොඩි ලෙස යොදාගනිමින් සිටිති

තින්ෂාර් ෂුන්ලෙයි යී (Thinzar Shunlei Yi)මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි. ඇය සිය පින්තූරයක් ද සහිතව අන්තර්ජාලයේ මෙවැනි පණිවුඩයක් පළකරනු ලැබ ඇත.

”හමුදා පාලනයෙන් ලැබෙනවාට වඩා වැඩි රැකවරණයක් මට මගේ කොට කබාය…..මගේ සරමෙන් මට ලැබෙනවා”

ඇතැම් විරෝධතාවාදීන් විසින් මියන්මාරයේ බලය පැහැරගත් ජ්‍යෙෂ්ඨ ජනරාල් මින් අවුං හ්ලේන්ග් ගේ පින්තූර සනීපාරක්ෂක තුවාවල අලවා ඒවා මහමග ඔස්සේ විසිකර දමනු ලැබ ඇත. එමගින් බලාපොරොත්තුවන්නේ යුදහමුදා භටයන් පෙරට ඒම වැලැක්වීමය. හමුදා සොල්දාදුවන් තම නායකයාගේ මුහුණ මත ඔවුන්ගේ පා තබමින් පාගා නොදමනු ඇත.

Burmese woman uses her sarong as cape whilst adopting power pose
සිය සරමක්(ලුන්ගියක්) පිට කබායක් ලෙස ඇඳ සිටින තින්ෂාර් ෂුන්ලෙයි යී

ශිෂ්‍යයකු වන හ්තුං ලින් ෂෝ ( Htun Lynn Zaw) වැනි පිරිමින් ද හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටින්නේ සරම් හිසවට දවටා ගනිමිනි.

”මෙය විරෝධතා ව්‍යාපාරයට හවුල්වෙන නිර්භීත කාන්තාවන් සහෝදරත්වයෙන් ශක්තිමත් කරනු ලැබීමේ උපක්‍රමයක්” ඔහු සමාජ මාධ්‍ය ජාලයේ පණිවුඩයක් තබමින් කියා සිටියි.

Burmese with purple sarong wrapped round his head doing a three finger salute.
ඇඟිලි තුනේ ආචාරය මියන්මාර විරෝධතා ව්‍යාපාරයේ සංකේතය බවට පත්ව ඇත

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වාර්තාකරන පරිදි මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයන්හිදී මේවනවිට මරාදමනු ලැබ ඇති සංඛ්‍යාව 54කට අධිකය. ඔවුන්ගෙන් වැඩිදෙනා කාන්තාවන් වීම තවත් විශේෂත්වයකි.

ලෝකයේ රටවල් රාශියක් මියන්මාර යුදහමුදාවේ ප්‍රචණ්ඩ මර්දනය හෙළාදකිනු ලැබ ඇතත් පාලක ජුන්ටාවේ නායකයන් කටයුතු කරමින් සිටින්නේ එම විරෝධය නොතකා හරිමිනි.

මර්දනය දරුණු නමුත් මියන්මාරයේ කාන්තාවෝ සටන අත්නොහරිති. ඔවුහු හමුදා පාලනයට එරෙහිව දිගටම තම ඇඳුම පවා උපයෝගීකර ගනිමින් සිටිති.

ඔවුන්ගේ රණගීය මෙයයි.

”අපේ සරම!අපේ ධජය! අපේ ජයග්‍රහණය!”

text by – bbc

Loading...