‘දියවැඩියාව’ ආපස්සට හරවන්න පුළුවන්ද?

‘දියවැඩියාව’ ආපස්සට හරවන්න පුළුවන්ද?
Spread the love

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද

මෙතෙක් කාලයක් දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මූලික අරමුණ කරගත්තේ සුවපත් කිරීමට වඩා පවතින රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා පමණයි. එහිදී ආහාර, ව්‍යායාම සහ ඖෂධ මගින් රුධිරගත සීනි මට්ටමත් ග්ලූකෝස් මට්ටමත් HB1C අගය 7ට වඩා ප්‍රශස්ත මට්ටමත් ග්ලූකෝස් මට්ටමක පවත්වා ගැනීමට අවධානය යොමු කළා. නමුත් මෑත භාගයේ සිදුකළ පර්යේෂණ මගින් හඳුනාගෙන තිබෙනවා දෙවැනි කණ්ඩයේ දියවැඩියාම හෙවත් උපතින් පසු ඇතිවන දියවැඩියාව මතුවී වසරක් පමණ ඇතුළත නැවත ආපස්සට හැරවිය හැකියි කියා. (can diabetes be reversed) මෙය දියවැඩියා රෝග ප්‍රතිකාර සම්බන්ධ පෙරළියක් ලෙස සැලකිය හැකියි.

ඊට හේතුව වන්නේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයට ගොදුරුවුවන් ආහාර පාන ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි.  නිතර රුධිරගත සීනි පරීක්ෂාවන් සඳහා යොමුවිය යුතුයි. දියවැඩියා රෝගය නිසා මතුවන අතුරු රෝගාබාධ වන ලිංගික දූර්වලතා, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග පාලනය කරගත යතුයි. එසේම ඔවුන්ට ඇතැම් අවස්ථාවලදී සමාජය තුළින් මතුවන ගැටලු හමුවේ මානසික පීඩාවන්ට ද ලක්වීමට සිදුවෙනවා. විශේෂයෙන්ම අප වැනි රටවල විවාහ වීමේදී පිරිමින්ට දියවැඩියා රෝගය යම් බාධකයක් බවටත් පත්වී තිබෙනවා.

ඊට අමතරව ඇතැම් රැකියා සඳහා යොමුවීමේදී දියවැඩියා රෝගය බාධාවක් වී තිබෙනවා. විශේෂයෙන් ගුවන් නියමු සහ හමුදා සේවය වැනි රැකියා සඳහා යොමුවීමේදී මෙය දැඩි ලෙස බලපානවා. මෙවැනි පසුබිමක් හමුවේ දිය වැඩියාව ආපස්සට හරවන්න හැකිවීම මගින් එවැනි රෝගීන්ට විශාල සහනයක් සැලසෙනවා.

වෛද්‍යතුමනි, දියවැඩියාව ආපස්සට හරවන්නේ කෙසේද?

වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව හටගෙන මාස ගණනක් ඇතුළත ඔවුන්ගේ සීනි මට්ටම ඉක්මනින් පාලනය  කළහොත් දියවැඩියාව ආපස්සට හැරවිය හැකි බව. ඒ සඳහා සති කිහිපයක් ඉන්සියුලින් ලබාදීම වැනි ප්‍රතිකාර ද සිදුකරනවා.  මෙමගින් අග්න්‍යාසයට කිසියම් විවේකයක් ලබාදිය හැකියි.

අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛලවලට සිරුර තුළ වැඩපුර නිපදවන ග්ලූකෝස් විෂ සහිතයි. (glucotoxicity) මෙම විෂ සහිත බව බාහිරින් ඉන්සියුලින් ලබාදීමෙන් සමනකය කළ හැකියි.  ඊට අමතරව අග්න්‍යාසයේ බීටා සෛලවලට වැඩි වෙහෙසක් ඇති කිරීම වළක්වන ඖෂධ ලබාදීම සහ එම පුද්ගලයාගේ සිරුරේ බර සියයට 10ත් 15ත්  අතර  ප්‍රමාණයක් අඩු කිරීම මගින් දියවැඩියාව නැවත ආපස්සට හැරවිය හැකි බව තහවුරු වී තිබෙනවා.  විශේෂයෙන් සිරුරේ බර සියයට 15 ක් පමණ ප්‍රතිශතයකින් අඩු කිරීමෙන් එම පුද්ගලයාගේ දියවැඩියාව නැවත ආපස්සට හැරවීම ඉතා පහසු බව හඳුනාගෙන තිබෙනවා.

වෛද්‍යතුමනි, සිරුරේ බර අඩු කරගන්නේ ආහාර පාලනය මගින්ද? එසේත් නැතිනම් ව්‍යායාම කිරීම මගින්ද?

මෙහිදී බර අඩු කිරීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ ආහාර පාලනය මගිනි.  ඊට හේතුව වන්නේ  මෙහිදී බලාපොරොත්තු වන්නේ සිරුරේ නැත්පත්වන මේදය ප්‍රමාණය පාලනය කිරීමයි.  විශේෂයෙන් සිරුරේ අක්මාවේ, අග්න්‍යාසයේ සහ උදර කුහරයේ ඇතුළත පටකවල තෙල් තැන්පත් වී තිබීම මගින් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇතිවීම සහ ලිපිඩ ප්‍රතිරෝධයක් ඇතිවීම  (lipotoxicity ) සිදුවෙනවා.  එනිසා ආහාර පාලනය මගින් අඩුකිරීම මෙහිදී වැදගත්ය.

එම ආහාර පාලනය වෛද්‍ය උපදෙස් මත සිදුකළ යුතුයි. මෙහිදී සිරුරට වැඩිපුර පිෂ්ටය (කාබෝහයිඩ්‍රේට්ස්) එක්නොවන ආහාර වර්ග ලබාදෙනවා. ඇතැම් පුද්ගලයන්ට පිෂ්ටය අඩු ආහාර ආදේශක වර්ග ලබාදීම පවා සිදුකරනවා.

අධික ස්ථූල බවින් පෙළෙන අයට ආහාර පාලනය මගින් බර අඩු කළ නොහැකියි.  එවැනි පුද්ගලයන්ට ආමාෂයේ සිදුකරන  සැත්කම් මගින් (bariatric surgery) ආහාර පාලනය කර බර අඩු කළ හැකියි.

වෛද්‍යතුමනි, උපතින් ඇතිවන දියවැඩියාව හෙවත් පළමු කණ්ඩයේ දියවැඩියාව නැවත ආපස්සට හැරවීම කළ නොහැකිද?

ඒ සඳහා අග්න්‍යාශ බද්ධ කිරීමක් හෝ බීටා සෛල බද්ධ කිරීමක් කළයුතුයි.  දැනට එවැනි ප්‍රතිකාර සිදුකරන්නේ ඉතා සුළු වශයෙනි. මෙය ඉතා වියදම් අධිකය.  එසේම මෙවැනි ප්‍රතිකාරයකින් පසු මුළු ජීවිත කාලයටම ඖෂධ ගතයුතුයි.

වෛද්‍යතුමනි, දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව ආපස්සට හැරිවීමෙන් පසු එදිනෙදා කටයුතු සාමාන්‍ය අයුරින් සිදුකළ හැකිද?

ඔව්. දියවැඩියාව ආපස්සට හැරවීමෙන් පසු සාමාන්‍ය පුද්ගලයකු ලෙසින් තම එදිනෙදා කටයුතු කළ හැකියි.  දියවැඩියාව පාලනය සඳහා ඖෂධ ගතයුතු වන්නේ නැහැ. අක්මාවේ තැන්පත්ව තිබූ අධික මේද තට්ටුව ඉවත්වෙනවා. අධි රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.  හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුවෙනවා. රාත්‍රියට නින්දෙන් ගෙරවූවානම් එය පහව යනවා.

නමුත් මින් අදහස් කරන්නේ පරණ පුරුදු ලෙස අධික ලෙස ආහාර පාන ගනිමින් දිවි ගෙවීම නොවෙයි.  මොකද මෙය සම්පූර්ණ සුවයක් නොවෙයි. නමුත් ආහාර පාලනය කරමින් ව්‍යායාම්වල යෙදෙමින් වරසරකට වරක්වත් රුධිරයේ සීනි පරීක්ෂාවකට යොමුවෙමින් කටයුතු කළොත් දියවැඩියාව යළි ඇතිවීම වළක්වාගෙන අතුරු ආබාධවලින් තොරව මුළු ජීවිත කාලය පුරාවටම නීරෝගීව දිවි ගෙවිය හැකියි.