මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති’ සුලභ මිත්‍යාවන් 08ක්

මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති’ සුලභ මිත්‍යාවන් 08ක්

2021 පෙබරවාරි මාසයෙන් පටන් ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය ආරම්භයේ සිට මෙන්ම ඊට පෙරාතුව ද, එම සැසිවාරයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව මහජනයා අතර විශාල බියක් හා වැරදි අවබෝධයක් පැවතුණි.

මෙය, අන්තර්ජාතික පරීක්‍ෂණ හා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීමෙහි ප්‍රතිවිපාක පිළිබඳව රාජ්‍ය පාක්‍ෂික ක්‍රියාකාරීන් විසින් හිතාමතාම වසර ගණනක් මුළුල්ලේ ව්‍යාප්ත කරන ලද වැරදි තොරතුරුවල ප්‍රතිඵලයක් බවට සැකයක් නැත. ඔවුන් විසින් මෙම ක්‍රියාවලීන් සදාකාලික බිල්ලන් බවට පත්කරන ලදි. 2009 දී යුද්ධයේ අවසානය අධීක්‍ෂණය කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ තමා යුද අපරාධ අධිකරණයකට ගෙන ගොස් විදුලි පුටුවක් මත මරා දැමීම සිදු කළ හැකි බවයි.

Loading...

2021 දී පවා මෙවැනි වැරදි තොරතුරු දිගින් දිගටම ව්‍යාප්ත කිරීමට හැකිවීම, එවන් තොරතුරු ව්‍යාපාරවල සහ කූටෝපායන්වල විස්මයජනක හැකියාව සහ සාර්ථකත්වය මනාව පිළිබිඹු කරයි. රට තුළ සැලකිය යුතු තාක්‍ෂණික දියුණුවක්, අන්තර්ජාල භාවිතය පිළිබඳ වැඩි දැනුම් ව්‍යාප්තියක් සහ තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය මූලික ඩිජිටල් දැනුමින් සන්නද්ධ නව පරම්පරාවක් සිටිද්දීත් මෙවැනි දේ සිදු වීම කනගාටුවට කරුණකි.

පසුගිය සති කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය පිළිබඳව ඉතා නිර්මාණාත්මක සටහන් බොහොමයක් මා දැක ඇත. මින් බහුතරයක් ඉතා නොමඟ යවනසුලු අතර අනෙක්වා බොහෝ විට පැහැදිලි මිථ්‍යාවන් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වටා ඇති සමහර පොදු මිථ්‍යාවන් බිඳ දැමීමෙන් ඒ පිළිබඳව ඇති බිය දුරු කිරීමට මට ඉඩ දෙන්න.

1 වන මිථ්‍යාව: බටහිර රටවල් පමණක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරයි – සාවද්‍යයි: 

වසර තුනක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තෝරා පත්කරගත් සාමාජික රටවල් 47කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමන්විත වන අතර, අඛණ්ඩව දෙවරක් කවුන්සිලයේ සිටීමෙන් පසු ඒත් සමඟම නැවත තේරී පත්වීමට එම රටවලට නොහැකිය. කවුන්සිලයේ සාමාජිකත්වය සම භූගෝලීය ව්‍යාප්තියක් මත පදනම් වේ. ඒ අනුව, අප්‍රිකානු රාජ්‍යයන්ට ආසන 13ක්, ආසියා-පැසිෆික් රාජ්‍යයන්ට ආසන 13ක්, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවලට ආසන 8ක්, බටහිර යුරෝපයට සහ අනෙකුත් රාජ්‍යයන්ට ආසන 7ක් සහ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන්ට ආසන 6ක් එහිදී හිමිව ඇත. එපමණක් නොව, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට නායකත්වය දෙන රාජ්‍යයන්, අප්‍රිකාව (මලාවි), බටහිර සහ නැගෙනහිර යුරෝපය (ජර්මනිය, එක්සත් රාජධානිය, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව) සහ උතුරු ඇමරිකාව (කැනඩාව) යන කණ්ඩායම්වලින් සමන්විත වේ.

2 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාවට එරෙහිව වෙළඳ සම්බාධක පැනවෙනු ඇත. සාවද්‍යයි: 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව සාමාජික රටවලට නිර්දේශ කර ඇත්තේ “බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් විශ්වාසදායක ලෙස චෝදනා ලැබූ අපරාධකරුවන්ට එරෙහිව වත්කම් ඇවිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක” කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. මෙම නිර්දේශය වෙළඳ සම්බාධකවලට බොහෝ දුරස්ථ වන අතර, එවැනි වෙළඳ සම්බාධක සාමාන්‍යයෙන් පිළිගනු ලබන්නේ ජාතික ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපාන, සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ ජීවනෝපායන්ට අසමාන ප්‍රතිවිපාක එල්ල කරන ක්‍රියාවලීන් ලෙසයි.

3 වන මිථ්‍යාව: එල්ටීටීඊය විසින් සිදුකරන ලද ක්‍රෑරකම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මග හැරී ඇත. සාවද්‍යයි: 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විමර්ශන මත පදනම් වූ සෑම එක්සත් ජාතීන්ගේ වාර්තාවක්ම, ගැටුමට සම්බන්ධ සියලු‍ පාර්ශ්වයන් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා ඉදිරිපත් කර තිබේ. දේශීයව දරුස්මාන් වාර්තාව ලෙස හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවෙන් (2011) යුද්ධයේ අවසාන අදියරේදී එල්ටීටීඊය විසින් සිදු කර ඇතැයි කිව හැකි බරපතළ උල්ලංඝනයන් කාණ්ඩ හයක් සොයා ගන්නා ලදි. ඒවා නම්;

  1. සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිත කිරීම;
  2. එල්ටීටීඊ පාලනයෙන් පලා යාමට උත්සාහ කරන සිවිල් වැසියන් ඝාතනය කිරීම;
  3. සිවිල් වැසියන් ආසන්නයේ යුද උපකරණ භාවිත කිරීම;
  4. ළමයින් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම; 5. බලහත්කාරයෙන් ශ්‍රමය භාවිත කිරීම සහ
  5. මරාගෙන මැරෙන ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම වේ.

එමෙන්ම, ශ්‍රී ලංකා රජයේ හමුදා සිදු කර ඇතැයි කිව හැකි බරපතළ උල්ලංඝනයන් කාණ්ඩ පහක් කමිටුව විසින් සොයා ගන්නා ලදි. එනම්;

  1. පුළුල් ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම;
  2. රෝහල් සහ මානුෂීය වස්තූන් වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම;
  3. මානුෂීය ආධාර ප්‍රතික්‍ෂේප කිරීම;
  4. අභ්‍යන්තරව අවතැන්වූවන් සහ එල්ටීටීඊ සාමාජිකයන් යැයි සැක කෙරෙන අයවලුන් ඇතුළුව ගැටුම්වලින් විපතට පත්වූවන් සහ දිවි ගලවා ගත් අය මුහුණ දුන් මානව හිමිකම් උල්ලංඝනයන් සහ

ජනමාධ්‍ය සහ රජයේ අනෙකුත් විවේචකයන්ට එරෙහිව ගැටුම් කලාපයෙන් පිටත සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ 2015 විමර්ශනය මගින්, විමර්ශනය කරන ලද කාල පරිච්ඡේදය තුළ ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම, ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර අපරාධ සිදු කිරීම වී ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව සොයා ගන්නා ලදි. මෙම චෝදනා සියල්ලම කඩිනමින්, තරයේ හා ස්වාධීනව විමර්ශනය කළ යුතු බවත්, සෘජුව, අණ දෙන නිලධාරීන් ලෙස හෝ ඉහළ නිලධාරීන් ලෙස ඊට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් එමගින් ඉල්ලා සිටින ලදි. එබැවින්, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ සෑම යෝජනාවක් හරහාම ගැටුමේ දෙපාර්ශ්වයේම වැරදිකරුවන්ගේ වගවීම ඉල්ලා සිටින ලදි.

4 වන මිථ්‍යාව: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වගවීම ඉල්ලා සිටින්නේ දෙමළ ඩයස්පෝරාව පමණි. සාවද්‍යයි: 

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූ සිංහල, මුස්ලිම් සහ දෙමළ යන සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තමන් අත්විඳ ඇති දේ සඳහා දේශීය යාන්ත්‍රණයන් විසින් සත්‍යය, යුක්තිය සහ වන්දි ලබා දීමට අඛණ්ඩව අපොහොසත් වීම හේතුවෙන් වගවීම ඉල්ලා සිටින අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියට සහාය පළ කර තිබේ. රටේ සියලු ප්‍රජාවන් සහ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන අතුරුදහන්වූවන්ගේ පවුල්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු වී ඇත්තේ සත්‍යය සොයා ගැනීමටත්, ඔවුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය ළඟා කර ගැනීමත් සඳහාය.

5 වන මිථ්‍යාව: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට එරෙහිව පවතින්නකි. සාවද්‍යයි:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි. යුද්ධය හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනවලින් බැට කෑ සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ප්‍රජාවන්ට අයත් ජනතාවට මෙම ක්‍රියාවලියෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙම ක්‍රියාවලිය මනුෂ්‍යවාදී වනවාක් මෙන්ම මානව හිමිකම්වලට ගැති වන අතර එබැවින් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී වේ. සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සමව ප්‍රවර්ධනය කිරීමට හා ආරක්‍ෂා කිරීමට අඛණ්ඩව පත්වූ ශ්‍රී ලංකා රජයන් අපොහොසත් වීමත්, ඒ හේතුව නිසාම සමාජයේ සමහර කොටස්වලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඔවුන්ගේ ගැටලු මතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති වීමත් සැබවින්ම ලැජ්ජාවට කරුණකි.

6 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව කටකතා හා විවෘත මූලාශ්‍ර පරීක්‍ෂණ මත පදනම් වී ඇත. සාවද්‍යයි: 

මෙම වාර්තාව, පොදුවේ ලබා ගත හැකි තොරතුරු සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් රජයේ නියෝජිතයන් ද ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ පවත්වන ලද පර්යේෂණ සහ උපදේශන මත පදනම්ව සකසා ඇත. එම වාර්තාවෙහි එහි ක්‍රමවේදය දක්වා ඇති අතර, එය සකස් කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් 2020 නොවැම්බර් 23 වන දින ශ්‍රී ලංකා රජයට සවිස්තරාත්මක ප්‍රශ්න ලැයිස්තුවක් යවා ඇති බවත්, 2020 දෙසැම්බර් 28 වන දින ඊට ලිඛිත පිළිතුරු ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් බවත් පැහැදිලිව සටහන් කර ඇත.

2021 ජනවාරි 7 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ ඵලදායී මෙන්ම ඉතා වැදගත් රැස්වීමක් ද පවත්වන ලදි. රජය විසින් මෙම වාර්තාව පිළිබඳව සිය අදහස් දක්වන ලද අතර ඉන් සමහරක් අවසාන වාර්තාවෙහි පිළිබිඹුව ඇති බව ද සඳහන් වී ඇත. ජාතික මානව හිමිකම් ආයතනය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ද ඇතැම් මානව හිමිකම් ගැටලු‍ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අවධානය යොමු කර ඇති අතර ඒවා ද මෙම වාර්තාවෙන් පිළිබිඹු වේ.

මීට අමතරව වින්දිතයන්ගෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සෘජු සන්නිවේදනයන් ලැබී තිබේ. නිදසුනක් ලෙස, 2020 දෙසැම්බර් වන විට සිවිල් සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් තමන් මුහුණ දුන් හිරිහැර කිරීම් හා සුපරීක්‍ෂණයන් පිළිබඳව මෙන්ම, එම සංවිධානවල පරිපාලන තොරතුරු, ක්‍රියාකාරකම්, කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පුද්ගලික සම්බන්ධතා තොරතුරු, පරිත්‍යාගශීලීන් සහ අරමුදල් ප්‍රභවයන් පිළිබඳව නැවත නැවත සෝදිසි කිරීම් සිදු කළ ආරක්‍ෂක සේවාවන් රාශියක් පිළිබඳව තොරතුරු වාර්තාවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත ලබා දී ඇත.

එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි නිලධාරීන්ගේ සොයාගැනීම් සහ නිර්දේශයන් මත පදනම්වද මෙම වාර්තාව ගොඩනංවා ඇත. එම බලධාරීන් විසින් තමන්ට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සන්නිවේදනයන් යවා ඇතත්, රජය විසින් පසුගිය වසරේ දී ප්‍රතිචාර දක්වා ඇත්තේ එහි අටෙන් දෙකකට පමණි. එම පැමිණිලිවලට හෝ වාර්තාවේ ඉදිරිපත් කර ඇති ප්‍රකාශයන්ට සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමටත්, පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට සහ/හෝ විකල්ප දෘෂ්ටිකෝණයක් සැපයීමටත් රජයට ඕනෑ තරම් කාලය තිබුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කිරීමට පෙර රජයට යවා තිබේ.

7 වන මිථ්‍යාව: ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව චීනය විසින් නිෂේධ කරනු ඇත. සාවද්‍යයි: 

චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ සාමාජිකයෙකු වන නමුදු එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ මෙන් නිෂේධ බලයක් මෙහිදී ඔවුන් සතුව නැත. එමෙන්ම ආරක්‍ෂක කවුන්සිලයේ මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ස්ථිර සාමාජිකයෝ නොමැත. එබැවින්, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවකට ඡන්ද විමසීමක් කැඳවීම හෝ එවැනි යෝජනාවකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදු කළ හැකි වුවද, වෙනත් සාමාජික රටක් විසින් සභාවට ගෙන එන කිසිදු යෝජනාවක් නිෂේධ කිරීමට චීනයට නොහැකි වනු ඇත. මෙම කවුන්සිලයේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා එහි සාමාජික රටවලින් සරල බහුතරයකගේ සහාය පමණක් සෑහේ.

8 වන මිථ්‍යාව: ඉදිරියේදී සිදුවීමට නියමිත මානව හිමිකම් ව්‍යසන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් නැත. සාවද්‍යයි: 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2007දී 60/251 දරන යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කරන ලද අතර එහි බලතල සියල්ලක්ම එම යෝජනාවෙහි පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට “බරපතළ හා ක්‍රමානුකූල උල්ලංඝනයන් ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ තත්වයන් ආමන්ත්‍රණය කිරීමට සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට” බලය ඇති අතර, “මානව හිමිකම් උල්ලංඝනයන් වැළැක්වීමට මෙන්ම හදිසි මානව හිමිකම් ව්‍යසන අවස්ථාවන්ට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමට” ප්‍රතිපාදන ඉන් සලසා ඇත. ■

ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනයේ ශ්‍රී ලංකාව සම්බන්ධ පර්යේෂිකා –  ත්‍යාගි රුවන්පතිරණ


(මෙම ලිපිය 2021 මාර්තු 9 වන දින ‘ඩේලි එෆ්ටී’ පුවත්පතේ ඉංග්‍රීසි බසින් පළවූ අතර මෙම උපුටා ගැනීම අනිද්දා ඊ පුවත්පතිනි
Loading...

Post Comment