ඇමෙරිකාවේ ආසියානුවන් අනතුරේ !

ඇමෙරිකාවේ ආසියානුවන් අනතුරේ !
Spread the love

වර්ගවාදී වෛරී අදහස්වලට එරෙහිව හඬනගන ලෙස ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානු සමාජයෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරන ලද්දේ වර්ගවාදී ක්‍රියාවන් ඉදිරියේ මුනිවත රැකීම ”එවැනි ක්‍රියාවන් අනුමත කරනු ලැබීමක්” වනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කරමිනි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ පසුගියදා ‘ඇට්ලන්ටා’ ප්‍රාන්තයේ දී ඇමෙරිකානු – ආසියානු ප්‍රමුඛයන් මුණගැසුනු අවස්ථාවේය. පසුගිය සතියේ අඟහරුවාදා ‘ඇට්ලන්ටා’හි සම්බාහන මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල වූ අතර එයින් ඇති වූ බිහිසුණු තත්ත්වය මැද එම හමුව සිදුවිය.

අඟහරුවාදා ප්‍රහාර මගින් කාන්තාවන් අටදෙනකු මරාදමනු ලැබුණි. ඔවුන්ගෙන් හයදෙනකුම ආසියානු කාන්තාවන්ය.

එම ප්‍රහාරය වර්ගවාදී පසුබිමක් සහිත ක්‍රියාවක් ලෙස ඇමෙරිකානු පොලිසිය විසින් විග්‍රහකරනු ලැබ නැතත් එය එල්ල කෙරුණේ ආසියානු විරෝධී මතවාදය සහ ප්‍රහාර රැල්ලක් පැතිරයමින් පවතින සමාජ පරිසරයකය.

කොරෝනා වසංගතය පැතිරයමින් පවතින අතරවාරයේ ඇමෙරිකානු සමාජයේ ජීවත්වන නැගෙනහිර ආසියානුවන්ට එරෙහි අපරාධ වැඩිවෙමින් තිබුණි.

”ජාතිවාදය අපගේ ඇමෙරිකානු සමාජයේ දිගුකලක් හොල්මන් කරමින් තිබුන විකාරරූපී විසක්. එය නැතිකර දැමීම සඳහා ඇමෙරිකානුවන් ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා” ජනාධිපති බයිඩන් කියා සිටියේය.

ජනාධිපති ජෝ බයිඩන්

ජෝ බයිඩන්ගේ අදහස්

ආසියානු-ඇමෙරිකානු සම්භවයක් සහිත ව්‍යවස්ථා සම්පාදකයන් දෙදෙනකු විසින් කොරෝනා වෛරස් වසංගතය සමඟ බැඳුණු වෛරී අපරාධවලට අදාළව පසුගිය මාසය මුලදී හඳුන්වාදෙන ලද පනත් කෙටුම්පතක් සම්මත කරන ලෙස ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කළේය.

‘කොවිඩ්-19 වෛරී අපරාධ පනත’ එවැනි අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව දරන ප්‍රයත්නයට පහසු පරිසරයක් නිර්මාණය කරනු ඇත.

”එම පනත් කෙටුම්පත නිසා වසංගත සමයෙහි වැඩිවෙමින් පවතින වෛරී සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රතිචාරය කඩිනම් කෙරෙන අතර, වෛරී අපරාධ වාර්තාකරනු ලැබීම සාර්ථකව සිදුකිරීමට ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතනවලට ආධාරවීමක් සහ ආසියානු-ඇමෙරිකානු ප්‍රජාවන්ට වෛරී අපරාධ පිළිබඳ තොරතුරු ලබාගැනීම සහතික කිරීමක් ද සිදුවෙන” බව ධවල මන්දිරය පවසයි.

කොවිඩ්-19 වසංගතය ආරම්භයේ පටන් ආසියානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ට එල්ලකෙරෙන ප්‍රහාරයන්හි වේගවත් වැඩිවීමක් පෙන්නුම් කළේය. වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් ආසියානුවන්ට දෝෂාරෝපණය කරනු ලැබීමක් දක්නට ලැබුණි.

කෙසේවුවද, ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කළේ ”නීතියට සිදුකළ හැකි සියලු යහපත් දේ සඳහා අපගේ හදවත් වෙනස්කර ගැනීමට සිදුවන” බවය.

”වෛරය සඳහා ඇමෙරිකාවේ ක්‍ෂේම භූමියක් නැහැ. එය තුරන්කළ යුතුයි” ජනාධිපතිවරයා අවධාරණය කරයි.

”එය තුරන්කර දැමීම අප සියලු දෙනාගේම කාර්යයක්. අපි එකමුතුව ඉටුකළ යුතු කාර්යයක්”

ඇට්ලන්ටා ප්‍රහාරයට ගොදුරු වූ ආසියානු සම්බාහන මධ්‍යස්ථානයක් ඉදිරිපිට සමරුවක්
ඇට්ලන්ටා ප්‍රහාරයට ගොදුරු වූ ආසියානු සම්බාහන මධ්‍යස්ථානයක් ඉදිරිපිට සමරුවක්

ඇට්ලන්ටා හි ආසියානු සම්බාහන මධ්‍යස්ථාන තුනකට එල්ල කෙරුණු ප්‍රහාරයන්හිදී මරණයට පත් කාන්තාවන් අටදෙනකුගේ නම් පසුගිය සතියේ සිකුරාදා ප්‍රකාශයට පත්කරනු ලැබුණි. ප්‍රහාරයට ගොදුරු වූ නවවැන්නා බරපතල තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබ ඇත.

ආසියානුවන් ඉලක්ක කරගනිමින් මින් පෙරත් එල්ල කෙරුණු ප්‍රහාර රාශියකි.

එක් අවස්ථාවක තායි ජාතික සංක්‍රමණිකයකු පොළොවට තල්ලුකරනු ලැබීම නිසා මරණයට පත්ව ඇති බව මාර්තු මාසය මුලදී බීබීසී වාර්තා කළේය. කාඩ්බෝඩ් පෙට්ටි ඇසුරුම් කපන ආයුධයකින් පිලිපීන-අමෙරිකානුවෙකුගේ මුහුණ කපා තිබුණි. චීන කාන්තාවකට කම්මුල් පහර එල්ලකර අනතුරුව ගිනිතබා තිබූ බවත් එම බීබීසී වාර්තාවේ දැක්වෙයි.

මෙයින් අවුරුද්දකට පමණ කාලයකට පෙර කොවිඩ් වසංගතය පැතිරයාම ආරම්භයේ පටන් එවැනි ප්‍රහාර රැල්ලක් වාර්තා වූ අතර ඉහත සඳහන් කරන ලද්දේ ආසියානු-ඇමෙරිකානුවන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාර සම්බන්ධයෙන් නිදසුන් කීපයක් පමණි.

වචනයෙන් නින්දා පරිභව කිරීම්වල පටන් ශාරීරික මට්ටමින් පහරදීම් තෙක් ආසියානුවන් මුහුණදෙන හිරිහැර ගැන පසුගිය මාසවල වාර්තාවුණේ දහස් ගණනිනි.

නීතිවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් ඉහත කී ආකාරයේ ක්‍රියා වෛරී අපරාධ ලෙස විග්‍රහකරන අතර එම අපරාධ සහ කොවිඩ්-19 වෛරසය පැතිරයාමට ආසියානුවන් වගකිව යුතුය යන දුර්මතය අතර සම්බන්ධයක් ඇතැයි පෙන්වා දෙති.

ආසියානු ජනයාගෙන් පැවත එන ජනතාවට එරෙහි වෛරී අපරාධ රැල්ලක් ව්‍යාප්ත වියහැකි බවට ඇමෙරිකානු ෆෙඩරල් ඔත්තු අංශය කොවිඩ්-19 වසංගතය පැතිරයාම ආරම්භයේදීම අනතුරු අඟවා තිබුණි.

ෆෙඩරල් පාලනය 2020 වසරේ වෛරී අපරාධ ක්‍රියාවන්ට අදාළ දත්ත තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබ නැත. එහෙත් 2019 දී දශකයකට අධික කාලයක් ඇතුළත වෛරී සාපරාධී ක්‍රියාවන්හි වැඩිමේ මට්ටම වාර්තා කළේය.

වාර්ගික ආකල්ප මත ආසියානු-ඇමෙරිකානුවන්ට එරෙහිව සිදුකරන ලද වෛරී ක්‍රියාකාරකම් සහ ප්‍රචණ්ඩ ප්‍රහාර ”අනතුරුදායක මට්ටමකින්” වැඩිවෙමින් ඇතිබව පෙන්වාදෙන සවිස්තරාත්මක වාර්තාවක් 2020 වසර අවසන් භාගයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබුණි.

පසුගිය වසරේ සෘජුව ම ආසියානු-ඇමෙරිකානුවන් ඉලක්ක කරගත් 2,800කට අධික වෛරී ක්‍රියාවන් පිළිබඳව වාර්තා වූ බව ”Stop AAPI Hate” නම් උපදේශන සේවාව පවසයි. කොවිඩ්-19 වසංගතය ආරම්භයේ දී එම උපදේශන සේවාව එවැනි අපරාධ පිළිබඳව ස්වයං මට්ටමින් වාර්තාකරනු ලැබීම සඳහා පහසුකම් සලසා තිබුණි.

එවැනි සාපරාධී ක්‍රියා ගැන තොරතුරු සමාජ මාධ්‍ය ජාලය තුළ වේගයෙන් හුවමාරුවෙන්නට පටන් ගැනීමත් සමඟ සමාජයේ නමක් සහිත කීර්තිමත් චරිත සහ බලපෑම් සහගත පුද්ගලයන් පවා මේ ප්‍රශ්නය ගැන අදහස් පළකරනු ලැබ ඇත.

අලුත්ම ජනගහන වාර්තා අනුව කැලිෆෝනියාවේ පමණක් ආසියානු ප්‍රභවයක් සහිත ජනගහනය මිලියන හැටකටත් අධික ය. එය ආසියානුවන් වැඩිම ඇමෙරිකානු ප්‍රාන්තයයි. එය ප්‍රාන්ත ජනගහනයෙන් 15% ඉක්මවයි.

ආසියානු-ශාන්තිකර ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලය මගින් නිකුත්කරනු ලැබ ඇති වාර්තාවක් පවසන පරිදි 2020 මාර්තු මාසයේ පටන් මැයි මාසය තෙක් පමණක් කැලිෆෝනියාවේ ප්‍රාදේශීය ‘කවුන්ටි’වලින් කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ වෛරී හැසිරීම් 800කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.

ප්‍රහාරවලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ හේතු වුණාද?

මෙහිදී ඇතැමෙක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන ලද චීන විරෝධී අදහස් සම්බන්ධයෙන් සෘජුව චෝදනා කරති. ජනාධිපති ට්‍රම්ප් විසින් කොවිඩ් -19 වසංගතය දිගින් දිගටම හඳුන්වනු ලබමින් සිටියේ ”චීන වෛරසය”(“China virus”) එසේත් නැත්නම්,”කුන්ග් ෆ්ලු”( “kung flu”)යනුවෙනි..

එහෙත් බලයට පත්ව සතියක් ඇතුළත ඉදිරි පියවරක් ගත් ජනාධිපති ජෝ බයිඩන් ”ෆෙඩරල් පාලනය තුළ එවැනි භාෂාවක් භාවිත කරනු ලැබීම විශේෂයෙන්ම තහනම් කෙරෙන” විධායක ආඥාවකට අත්සන් කළේය.

ඇට්ලන්ටා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග කරන ජෝර්ජියා ප්‍රාන්තයේ ෂෙරීෆ්වරයාගේ කාර්යාලය පසුගියදා තවත් පියවරක් ගෙන තිබුණි. එනම්, එම කාර්යාලයේ ප්‍රකාශකයා එම නඩු විභාගයෙන් ඉවත්කරනු ලැබීමය. ඊට හේතු වූයේ එම ප්‍රකාශක කපිතාන් ජේ.බේකර් (Jay Baker) කොවිඩ්-19 වසංගතය චීනයෙන් ආනයනය කරන ලද්දක්ය යන අදහස දැක්වෙන “imported virus from CHY-NA” උද්ධෘතය ඇතුළත් ටී-ෂර්ටයක් ප්‍රචාරය කිරීමට මැදිහත්වන බවක් සමාජ මාධ්‍ය ජාලයේ පළවීමත් සමඟය.

ආසියානු විරෝධී ප්‍රහාරයකදී දිවි බේරාගනිමින් සටන් වැදුන චීන කාන්තාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය,ආසියානු විරෝධී ප්‍රහාරයකදී දිවි බේරාගනිමින් සටන් වැදුන චීන කාන්තාවක්

Text by – bbc