ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ : ‘රඛීම් කෝන්වෙල්ගෙන්’ අනපේක්ෂිත ඉනිමක්

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ : ‘රඛීම් කෝන්වෙල්ගෙන්’ අනපේක්ෂිත ඉනිමක්
Spread the love

පිතිකරුවන් ලෙසින් ක්‍රීඩා කරන සියල්ල සිය ග්‍රහණයට ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රඛීම් කෝන්වෙල් අනපේක්ෂිත ලෙස රැස් කරන ලද ලකුණු 60 ක ඉනිම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයයේදී (22 වැනිදා) ලකුණු 99 කින් ශ්‍රී ලංකාවට වඩා පෙරමුණ ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

කෝන්වෙල්ගේ මංගල අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රැස් කරන ලද ලකුණු 169 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම දෙවැනි දිනට නිමා කර දමන විට කඩුලු 8 කට ලකුණු 268 ක් වශයෙන් සටහන් විය.

පන්දුවට පහර දීමට පැමිණි විගස තරමක් විමසිලිමත් වුණු කෝන්වෙල් පන්දු 15 කට පසු දිනයේ හොඳම පන්දු යවන්නා වුණු සුරංග ලක්මාල්ට එරෙහිව පළමු හතරේ පහර එල්ල කළේය. මේ අතර තුරදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි නව පන්දුව ලබා ගැනීමට තීරණය කළද ඒ සියල්ල කෝන්වෙල්ගේ වාසියට හිටියේය එහිදී සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දිගින් දිගටම පවත්වාගෙන ගිය කෝන්වෙල් මුහුණ දුන් 62 වැනි පන්දුවේදී මංගල අර්ධ ශතකය වාර්තා කර ගත්තේ ලකුණු 48 ක්ම හයේ පහර සහ හතරේ පහර වලින් ලබා ගනිමිනි.  

ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 2 ක් පමණක් වැඩිව තිබියදී පිටියට පිවිසි දකුණත් සද්දන්තයා ජොෂුවා ද සිල්වා සමඟ එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු ලකුණු 90 ක්ද එක් කරන ලද්දේ ඉනිමේ සාර්ථකම කඩුලු සම්බන්ධතාවයටදහිමිකම් කියමිනි. පන්දු 143 ක් පමණක් වැය වුණු එම සම්බන්ධතාවයේදී කෝන්වෙල් දායකත්වය දක්වන ලද ලකුණු 60 ලබා ගැනීම සඳහා පන්දු 79 කට පමුණක් මුහුණ දුන්නේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 කින් සමන්විත වුණු කෝන්වෙල්ගේ ඉනිම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම කොදෙව් කණ්ඩායම වෙත දෝලනය වුණු ඉනිම ලෙසින් සඳහන් කළ හැක.

එම සම්බන්ධතාවයේදී ලකුණු 29 කින් දායක වුණු ජොෂුවා දිනය අවසන් වීමට පන්දු වාර 3 ක් පමණ ඉතිරිව තිබියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට දැවී ගියේය. ඒ වන විටත් ඔහු පන්දු 124 කට මුහුණ දෙමින් ලකුණු 46 ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින පළ පුරුදුම පන්දු යවන්නා වන සුරංග ලක්මාල් ශ්‍රී ලංකා බලාපොරොත්තු සඵල කරමින් සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගනිමින් සිව්වැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගත්තේය. පන්දු වාර 24 ක් ක්‍රියාත්මක කළ දකුණත් වේග පන්දු යවන්නා නිලකුණු පන්දුවාර 9 ක්ද යවමින් ලකුණු 45 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවා ලබා දී තිබිණ. ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වුණු දුෂ්මන්ත චමීර ද කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුගේ පන්දු හමුවේ කොදෙව් පිතිකරුවන් තරමක් ප්‍රහාරයකට ලක් කළේය.

දිනය ආරම්භයේදීම නායක ක්‍රෙග් බ්‍රැත්වයිට් ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් ලක්මාල් සිය කඩුලු දඩයම ආරම්භ කළේය. දෙවැනි ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින් බ්‍රැත්වයිට් දැවී යන විට ලකුණු 3 ක් ලබා සිටියේය. ඇඹුල්දෙණිය විසින් බොනර් (31)ව දවා ගැනීමට සමත්වීමත්සමඟ දිවා ආහාරයට තරගය නිමා කරන විට කොදෙව් ලකුණු පුවරුව ලකුණු 72 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් විය. 23 වැනිදා තරගයේ තෙවැනි දිනයයි.

Text by sl cricket