අප්‍රේල් 05 – 09 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මෙන්න !

අප්‍රේල් 05 – 09 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මෙන්න !
Spread the love

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනි සඳුදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු  4.00 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කළ බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් විමසීමට අවස්ථාව සළසා දෙන බව සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

එදිනම මැතිවරණ ක්‍රමයන් සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව ද  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම 2019 අප්‍රේල්  21 එල්ල වූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 05 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහලේකම්වරයා සඳහන් කළේය.

මීට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද එම කාරක සභාව තීරණය කර තිබේ.

අප්‍රේල් 06  වැනිදා ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු විෂයන් 08 ක් විවාදයට ගනු ලබනු ඇත. එදින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර, ඉන්පසු පස්වරු 04.30  සිට 5.30 දක්වා සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලැබේ.

අප්‍රේල් 07 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

අප්‍රේල් 07 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

අප්‍රේල් 08 සහ 09 යන දිනයන්හිදී ද පාර්ලිමේන්තුව පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන බව මහලේකම්වරයා සඳහන් කළේය.