පන්දුවාරයකට හයේ පහර 6ක් – ‘තිසර පෙරේරා’ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

පන්දුවාරයකට හයේ පහර 6ක් – ‘තිසර පෙරේරා’ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (28) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එවැනි දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය.

ඩිල්හාන් කුරේ විසින් යවන ලද පන්දුවාරයක එම හයේ පහර 6 එල්ල කළ තිසර පන්දු 13 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පන්දුවාර 41 ක තරගයක් ලෙසින් පැවැති එම තරගයේදී තිසරගේ දක්ෂතාවය හේතුවෙන් කඩුලු 3 කට ලකුණු 318 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණ. තිසර විසින් වාර්තා කරන ලද එම අර්ධ ශතකය දේශීය තරග ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය බවටද පත්විය. හයේ පහර 8 කින් සමන්විත වුණු තිසරගේ ඉනිමට ප්‍රථම තුන් ඉරියව් ක්‍රීඩක කෞෂල්‍ය වීරරත්න පන්දු 12 කදී අර්ධ ශතකය වාර්තා කරමින් වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවට හිමිකම් කියන්නේ. පළමු පෙළ පිටියේදී එකම පන්දුවාරයකදී හයේ පහර 6 ක් එල්ල කළ ලොව 9 වැනි ක්‍රීඩකයා ලෙසින් තිසරගේ නම වාර්තා පොත් අතරට එක් වන්නේය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, රවී ශාස්ත්‍රි, හර්ෂල් ගිබ්ස්, යුවරාජ් සිං, රොස් වයිට්ල්, හස්රතුල්ලා සසායි, ලියෝ කාටර් සහ කිරන් පොලාර්ඩ් තිසර පෙර හයේ පහර 6 ක් එල්ල කර ඇති පිතිකරුවෝ වෙති.

මේ අතර ගතවූ සති අන්තයේ සී.සී.සී කණ්ඩායමේ ලසිත් අබේරත්න (නොදැවී 100යි) යුද හමුදාවේ අෂාන් රන්දික (124) හිමාෂ ලියනගේ (101) එස්.එස්.සී කණ්ඩායමේ ෂම්මු අෂාන් (නොදැවී 107යි) සහ මුවර්ස් කණ්ඩායමේ පබසර වඩුගේ (නොදැවී 133) ශතක වාර්තා කළහ.

මෙදින පැවැති තරග අතුරින් ජය ලබාගත්තේ නිගම්බු, එන්.සී.සී, බදුරලිය, රාගම, සී.සී.සී, ගාල්ල, නුගේගොඩ, කෝල්ට්ස්, එස්.එස්.සී සහ මුවර්ස් කණ්ඩායම්ය. යුද හමුදා – බ්ලූම්ෆීල්ඩ් තරගය තීරණයක් නොමැතිව අවසන් වූ අතර පානදුර සහ ලන්කන් අතර තරගය ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත නොපැවැත්වූයේ එකම පන්දුවක්වත් නොයවාය.

පන්දු යැවීමේදී මේරියන්ස් කණ්ඩායමේ චාරුක තරිදු ලකුණු 35කට කඩුලු හයක් ද මීගමුව ටැමිල් තරගයේදී උපුල් ඉන්ද්‍රසිරි සහ නිසල තාරක කඩුලු හතර බැගින් දවාලූහ. එන්.සී.සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 17කට කඩුලු 5ක්ද දවාලුවේය.

මීගමුවට කඩුලු 5 ක ජයක්

මීගමුව කණ්ඩායමේ නිසල තාරක සහ උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 4 බැගින් දවාලීම මත ටැමිල් ඉනිම ලකුණු 99කදී නිමාවට පත්විණි. මීගමු කණ්ඩායමේ ඇන්ජලෝ ජයසිංහ ලකුණු 42ක් ලබා ගැනීමෙන් මීගමු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් වූයේ පන්දු වාර 25.2ක්ම ඉතිරිව තිබියදීය.

ටැමිල් යුනියන් පන්දු වාර 27කදි සියලුදෙනා දැවී 99යි – (මනෝජ් සරත්චන්ද්‍ර 26, ඉසුරු උදාන 22, සුපුන් කාවින්ද 18, නිසල තාරක 23/4, උපුල් ඉන්ද්‍රසිරි 27/4)

මීගමුව පන්දුවාර 24.4 කදී කඩුලු 5කට ලකුණු 100යි – (ඇන්ජලෝ ජයසිංහ 42, ළහිරු මිලන්ත 20, මාධව වර්ණපුර 18, සවිදු කොළඹගේ 20/2)

එන්.සී.සී පිලට ලකුණු 230ක දැවැන්ත ජයක්

එන්.සී.සී වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 63ක්ද ඇන්ජලෝ පෙරේරා ලකුණු 47ක්ද ලබා පිත්තෙන් දස්කම් දැක්වූහ. එන්.සී.සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 17කට කඩුලු 5ක්ද ළහිරු කුමාර ලකුණු තුනකට කඩුලු 2ක් ද දවාලීම මත ඒස් කැපිටල් ලකුණු 30කට සීමාවිණි.

එන්.සී.සී පන්දු වාර 50දී කඩුලු 9ට 260යි – (චාමික කරුණාරත්න 63, ඇන්ජලෝ පෙරේරා 47, කමිල් මිෂාර 40, කවීන් බණ්ඩාර 28, චතුරංග ද සිල්වා 26, කවිදු රිද්ම 55/2යි, චානක කොමසාරු 19/2යි)

ඒස් කැපිටල් පන්දු වාර 19.3කදී සියල්ල දැවී 30යි – (ප්‍රසන්න වික්‍රමසිංහ 07, චතුරංග ද සිල්වා  17/5යි ළහිරු කුමාර 3/2යි)

බදුරලියට කඩුලු හයක ජයක්

බදුරලිය කණ්ඩායමේ ඩිල්ෂාන් ද සොයිසා අර්ධ ශතකයක් (55) ලබා ගැනීම සහ තිලකරත්න සම්පත් සහ රුචිර කෝසිත කඩුලු තුන බැගින් දවාලීම මේ තරගයේ විශේෂ සිදුවීම්ය.

ගුවන් හමුදාව පන්දු වාර 41.4කදී 143යි – (කළණ විජේසිරි 44, රවිඳු සෙම්බුකුට්ටිගේ 29, අරවින්ද ප්‍රේමරත්න 24, තිලකරත්න සම්පත් 25/3, රුචිර කෝසිත 34/3)  

බදුරලිය පන්දු වාර 36.4කදී කඩුලු 4ට 144යි – (ඩිල්ෂාන් ද සොයිසා 55, යශෝධ ලංකා 25, මිලින්ද සිරිවර්ධන 25, ගමිඳු කණිෂ්ක 22, අනුෂ්ක ද අල්විස් 34/2)

රාගමට ලකුණු 39ක ජයක්

අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ මේ තරගයේදී රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ ලකුණු 82ක් රැස්කිරීමට සමත්විය. මේරියන්ස් කණ්ඩායමේ චාරුක තරිදු ලකුණු 35කට කඩුලු හයක් දවා රාගම ඉනිම 178කට සීමා කළත් මේරියන්ස් පිතිකරුවෝ මේ පහසු ඉලක්කය කරා යාමට අවස්ථාව නොලැබිණි.

රාගම පන්දු වාර 42කදී සියලුදෙනා දැවී 178යි – (ජනිත් ලියනගේ 82, බිනුර ප්‍රනාන්දු 43, චාරුක තරිඳු 35/6 අවිඳු තීක්ෂණ 24/2)

හලාවත මේරියන්ස් පන්දු වාර 36.2කදී සියල්ල දැවී 139යි – (දසුන් සෙනෙවිරත්න 32, කමිඳු මෙන්ඩිස් 23, තීක්ෂිල ද සිල්වා 17, ෂෂික දිල්ෂාන් 16/2, ඉෂාන් ජයරත්න 15/2, ජනක සම්පත් 14/2)

සී.සී.සී ට ලකුණු 212ක ජයක්

සී.සී.සී කණ්ඩායමේ ලසිත් අබේරත්න පන්දු 93කදී හයේ පහර හයක් හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 100ක්ද රොන් චන්ද්‍රගුප්ත ලකුණු 76ක්ද රැස් කිරීම මත ඔවුනට ලකුණු 303ක් වැනි විශාල සංඛ්‍යාවක් කරායාමට අවස්ථාව උදාවිණි. පසුව මාලින්ද පුෂ්පකුමාර ලකුණු 21කට කඩුලු තුනක් දවාලීමට සමත්විය.

සී.සී.සී පන්දු වාර 49කදී කඩුලු 5ක් දැවී 303යි – (ලසිත් අබේරත්න නොදැවී 100, රොන් චන්ද්‍රගුප්ත 76, සොනාල් දිනුෂ 42, සචිත්‍ර පෙරේරා 44/2යි)

කැන්ඩි කස්ටම් පන්දු වාර 30.1කදී සියල්ල දැවී 91යි – (හසිත් නිර්මාල් 20, ෂෙහාන් වීරසිංහ 17, විශ්ව විජේරත්න 16, මලින්ද පුෂ්පකුමාර 21/3, සොනාල් දිනූෂ 6/2යි)

ගාල්ලට ලකුණු 62ක ජයක්

ගාල්ල කණ්ඩායමේ එරංග රත්නායක මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය. නාවික හමුදාවේ බුද්ධික තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය. නාවික හමුදාවේ බුද්ධික මධුෂාන් ලකුණු 35කට කඩුලු 4ක් දවාලුවත් නාවික හමුදා පිතිකරුවනට ලකුණු 219 ඉලක්කය කරා යාමට නොලැබිණි.

ගාල්ල පන්දු වාර 48.3 කදී සියල්ල දැවී 218යි – (හර්ෂ රුෂාන් 40, එරංග රත්නායක 51, චතුර ලක්ෂාන් 44, බුද්ධික මධුෂාන් 35/4, චමෝද් බැට්ටගේ 47/2)

නාවික හමුදාව පන්දුවාර 39.5කදී සියල්ල දැවී 156යි – (තරුෂ ඉද්දමල්ලගොඩ 50, චානක රුවන්සිරි 40, අරවින්ද අකුරුගොඩ 20, චලන ද සිල්වා 39/3, එරංග රත්නායක  18/1)

තිසරගේ හයේ හය ඵල රහිතයි

යුද හමුදාවේ අෂාන් රන්දික (124) සහ හිමාෂ ලියනගේ (101) ශතක ලබා දස්කම් දැක්වූහ. නායක තිසර පෙරේරා පන්දු 13කට පමණක් මුහුණදී හයේ පහර අටක් සමග නොදැවී ලකුණු 52ක් රැස්කිරීමට සමත්විය. යුද හමුදාවේ ලකුණු රැස් කිරීමේ වේගය පන්දු වාරයකට ලකුණු 7.75ක් වැනි අධික ප්‍රමාණයක් වුවත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය ප්‍රතිඵල රහිත විය.

යුද හමුදාව පන්දු වාර 41කදී කඩුලු 3ට 318යි – (අෂාන් රන්දික 124, හිමාෂ ලියනගේ 101, තිසර පෙරේරා නොදැවී 52, උස්මාන් ඉෂාන් 67/2)

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 17කදී කඩුලු 6ට 73යි – (කසුන් ඒකනායක නොදැවී 36, දිල්ෂාන් කුරේ 22, දුෂාන් විමුක්ති 16/3යි, සුමින්ද ලක්ෂාන් 23/2)

නුගේගොඩට ලකුණු 34 ක ජයක්

නුගේගොඩ කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ලකුණු 34කට කඩුලු තුනක් දවා පසුව ලකුණු 46ක්ද රැස් කළේය. නුගේගොඩ පහසු ජයක් පෙනී තිබුණද අයහපත් කාලගුණය මත ඩක්වර්ත් ක්‍රමයට ජයග්‍රාහකයා තීරණය විය.

කලුතර පන්දු වාර 47.1කදී සියල්ල දැනී 164යි – (ගෙෂාන් විමලධර්ම 46, ගිහාන් රූපසිංහ 35, තාරක වඩුගේ 17, මුදිත ලක්ෂාන් 34/3, නවීන් කවිකාර 37/3, විමුක්ති කුලතුංග 27/2යි)

නුගේගොඩ පන්දු වාර 32.2කදී කඩුලු 6ට 151යි – (මුදිත ලක්ෂාන් 46, මින්හාන් ජලීල් 30, උමේෂ් කරුණාරත්න නොදැවී 30, නිලංක සදකැන් 39/3, දෙනුවන් රාජකරුණා 23/1)

කෝල්ට්ස්ට ලකුණු 58 ක ජයක්

කෝල්ට්ස් පිතිකරුවන් තිදෙනෙකුම අර්ධ ශතක ලබාගැනීම මත ඔවුනට ලකුණු 295කට යාමට අවස්ථාව උදාවිණි. කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ලකුණු 26කට කඩුලු 3ක් දවාලීය.

කෝල්ට්ස් පන්දු වාර 50දී කඩුලු 9ට 295යි – (ධනංජය ලක්ෂාන් 69, සංතූෂ් ගුණතිලක 59, කිත්රුවන් විතානගේ 51, විෂාඩ් රන්දික 33, චරිත් රාජපක්ෂ 66/4, රවින් සේයර් 46/2)

සෙබස්තියනයිට්ස් පන්දුවාර 30කදී කඩුලු 5ට 133යි – (සමීන් කඳනආරච්චි 41, සචින් ද අල්විස් 28, හසන්ත ප්‍රනාන්දු 21, අකිල ධනංජය 26/3, සංගීත් කුරේ 18/2)

එස්.එස්.සීට ලකුණු 108 ක ජයක්

එස්.එස්.සී කණ්ඩායමේ ෂම්මු අෂාන් පන්දු 105කදී හතරේ අටක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 107ක් රැස් කිරීමට සමත්විය. ජෙෆ්රි වැන්ඩසේ නැවත වතාවක් පන්දු යැවීමේදී දක්ෂතා දක්වමින් කඩුලු 3ක් දවාලූවේ ලකුණු 39ක් ලබාදෙමිනි.

එස්.එස්.සී පන්දු වාර 50දී කඩුලු 5ට 293යි – (ෂම්මු අෂාන් නොදැවී 107, නුවනිඳු ප්‍රනාන්දු 40, තරිදු රත්නායක 38, ක්‍රිෂාන් සංජුල 31, අවිශ්ක ප්‍රනාන්දු 23, රන්දීර රණසිංහ 52/3යි, නිම්සර අතරගල්ල 61/1යි)

කුරුණෑගල යූත් පන්දු වාර 35කදී කඩුලු 7ට 130යි – (සමීර සඳමාල් 35, දිල්ෂාන් කොල්ලුරේ 23, මුදිත ප්‍රේමදාස 20, ජෙෆ්රි වැන්ඩර්සේ 39/3, ප්‍රභාත් ජයසූරිය 24/2)

මුවර්ස්ට ලකුණු 44ක ජයක්

මුවර්ස් කණ්ඩායමේ පබසර වඩුගේ පන්දු 127කදී හතරේ අටක් හයේ තුනක් සමග ලකුණු 133ක් ලබා ලකුණු අතරට පිවිසීමට සමත්විය. පසිඳු සූරියබණ්ඩාර ලකුණු 48ක් ලබාගත්තේ පන්දු 47කදී හතරේ දෙකක් සහ හයේ පහරක් සමගිනි.

මුවර්ස් පන්දු වාර 50දී සියල්ල දැවී 291 – (පබසර වඩුගේ 133, පසිඳු සූරියබණ්ඩාර 48, නිපුන් කරුණානායක 30, අදීෂ තිලංචන නොදැවී 22, උදිත මධුෂාන් 64/3, හෂේන් රාමනායක 52/2)

සැරසන්ස් පන්දු වාර 34.1කදී කඩුලු 5ට 153යි – (කවීෂ කහඳුවආරච්චි 42, හෂාන් දුමිඳු 35, චරිත කුමාරසිංහ 31, ප්‍රමෝද් මධුවන්ත 26, මිලාන් රත්නායක 27/2යි, ප්‍රවීන් ජයවික්‍රම 35/2යි)

පානදුර ලන්කන් තරගය ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත සම්පූර්ණයෙන් නොපැවැත්විණි.