උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට
Spread the love

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය.

2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 7.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 9.6 දක්වා ඉහළ ගියේ ය. එමෙන් ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගියේය.

2021 මාර්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට -0.18ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පහළ යෑම මේ සඳහා හේතු විය. තවද, 2021 මාර්තු මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට – 0.49ක් සහ සියයට 0.31ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2021 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයෙහි එළවළු, අමු මිරිස්, නැවුම් මත්ස්‍ය සහ කහ කුඩු මිල ගණන් පහළ ගියේය. මේ අතර, ප්‍රධාන වශයෙන්, ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 මාර්තු මාසයේ දී වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 2.6හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 3.1ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 මාර්තු මාසයේ දී ද සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.