“ඇෆ්ලටොක්සීන්”පිළිකා කාරකය: දේශීය පොල්තෙල් ගැන බලධාරීන් දෙන සහතිකය කුමක්ද ?

“ඇෆ්ලටොක්සීන්”පිළිකා කාරකය: දේශීය පොල්තෙල් ගැන බලධාරීන් දෙන සහතිකය කුමක්ද ?
Spread the love

“ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය ආනයනික පොල්තෙල් වල පමණක් නොව දේශීය තෙල් මොල් මගින් සහ ගෘහ ඒකක මට්ටමින් ද නිෂ්පාදනය කරන පොල්තෙල්වල අඩංගු විය හැකි බව පොල්තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් උන්දුවක් දක්වන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ අදාළ කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තවත් විශේෂඥයින් කිහිප දෙනකුම පවසනවා.

ඔවුන් අවධාරණය කරන්නේ ආණ්ඩුව හෝ යම් පුද්ගලයෙන් හඹා යාම වෙනුවට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය වඩාත් අවදානම් අනතුර සහ සුලභ තත්ත්වය ගැන මේ දක්වා කිසිම අවධානයක් යොමු නොකිරීමට ගැන තමන් විස්මයටත් කනගාටුවටත් පත්ව සිටින බවයි.

‘ඇත්තටම මෙවැනි තත්ත්වයකදී සිදුවිය යුතු විද්වත් සංවාදය, නැතිනම් විද්‍යාත්මක කතාව සිදුවන්නේම නැහැ. පොල්තෙල්වලට මේ කියන පිළිකාකාරකය එකතු කිරීමක් කරන්න බැහැ. ඒක පොල්තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය වන කොප්පරා සමග ස්වභාවිකව වර්ධනය වන විෂ රසායනයක්. ඒක සිදුවන්නේ කොප්පරා නියමිත ප්‍රමාණය වේලීමට ලක් නොවීම නිසා. ඒ කියන්නේ නිසි පදමට (කොප්පරාවල අඩංගු විය යුතු ජල ප්‍රමාණය 10%ක්) වියළුණේ නැති කොප්පරාවල අපි කවුරුත් දන්න ‘පුස් බැදෙනවා‘. ඒ පුස්මගින් බිහිවන රසායනික සංයෝගයකට තමයි මේ ‘ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය‘ කියලා කියන්නේ. මේක පැහැදිලිවම අපේ දේශීය පොල්තෙල්වලත් අඩංගු විය යුතුයි. මොකද නිසි පදමට නොවියළුණු කොප්පරා අපේ පොල්තෙල් මෝල් හිමියන් සහ ගෘහණියන් පොල්තෙල් නිෂ්පාදනයට යොදා ගන්න බව අපට පැහැදිලිවම කිව හැකියි. ඒ නිසා අපි කියන්නේ සෞඛ්‍ය අවධානමක් ගැන මේ තරම් සංවේදී නම් කරුණාකාර දේශීය පොල්තෙල් වගේම ගෘහ ඒකක මගින් නිෂ්පාදනය කරන පොල්තෙල් ගැනත් අවධානය යොමු කරන්න. මොකද අනතුර අප අතරම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබෙනවා‘ අප සමග විස පොල්තෙල් ගැන අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයෙක් සදහන් කළා.

‘පොල්තෙල් පමණක් නොවෙයි, පුස්කෑ රටකජුවලින් නිෂ්පාදනය කරන රටකජු තෙල් වල වගේම රටකජු බටර්වලත් මේ පිළිකාකාරකය අන්තර්ගතයි. අපි කිසිවෙක් මේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වගේම පොල්කුඩුවලින් ඇතැම් කාන්තාවන් තෙල් හිද ගන්නවා. ඒ තුළත් මේ පිළිකාකාරකය අඩංගු විය හැකියි. ඒ නිසා අපි ඉල්ලන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ඇත්ත කැක්කුමක් තිබෙනවා නම් ආනයනික පොල්තෙල් ගැන වගේම දේශීය නිෂ්පාදන ගැනත් අවධානය යොමු කරන්න‘

මෙහිදී ඔහු කියා සිටියේ ප්‍රමති ආයතනයෙ අධ්‍යක්ෂ ජනරාල්වරිය කී ආකාරයෙන් දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් හෝ ‘ටිකක් වස කෑවාට කමක් නෑ‘ යන පදනමින් පිළිකාව වැනි මාරාන්තික රෝගවලට පදනම් වන හේතු ගැන අඩු අවදානයක් යොමු නොකළ යුතු බවයි.

‘මේ අවස්ථාවේ දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් හා මෝල් හිමියන් බොරදියේ මාළු බාන බවක් අපි දකිනවා. අපි පැහැදිලිවම කියනවා ඔවුන් ආනයනික පාම්තෙල්වලට පොල්තෙල් මිශ්‍රකර අධික ලාභයක් ලබනවා. ඒ වගේම ඔවුන් තම නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙතැන තියෙන්නේ දේශපාලන අවුලක් නිසා කිසිවෙකු ඒ ගැන කතා කරන්නේ නැහැ‘