Covid-19: ජනපති පුටින් ආරක්ෂා කරගන්න රැසියාව ගන්නා සුපිරි වෑයම ගැන හෙළිදරව්ව

Covid-19: ජනපති පුටින් ආරක්ෂා කරගන්න රැසියාව ගන්නා සුපිරි වෑයම ගැන හෙළිදරව්ව
Spread the love

ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය.

වසංගතය ආරම්භ වූ සමයේ පටන්, ජනාධිපති පූටින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු බලධාරීන් අසාමාන්‍ය මට්ටමින් ක්‍රියා කර තිබේ. ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය කෙරුණේ කෙසේද? තම ජනාධිපතිවරයා කොරෝනා ආසාදනයෙන් රැක ගැනීමට කෙතරම් මුදල් සම්භාරයක් වැය කර තිබේද?

පසුගිය වසර පුරාවට ම, ජනාධිපති පූටින්ට සමීපව කටයුතු කරන පුද්ගලයන් සිය ගණනක් නිරෝධායනයට ලක් කිරීමට රුසියානු බලධාරීහු ක්‍රියා කළහ.

ජනාධිපතිවරයා ගැවසෙන තැනකට සමීප නොවන ඇතැමුන්ට ද ස්වයං නිරෝධායනය වීමට සිදු විය. ඊට හේතුව, පූටින් සමඟ මුහුණට මුහුණ හමුවන පිරිස ඉහත කී පුද්ගලයන් හා සබඳතා පවත්වන බැවිනි.

2020 වසරේ මාර්තු 25වැනිදා ජනාධිපති පූටින් ජාතිය ඇමතුවේය. අප්‍රේල් පළමු වැනිදායින් ඇරඹෙන සතිය “වැඩ නොකරන සතියක්” ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ වනවිට රුසියාව පුරා කොරෝනාවෛරසය වේගයෙන් පැතිර යමින් පැවතුණි.

තවත් දින කීපයක් ගතවීමෙන් අනතුරුව රුසියාව ලොක්ඩවුන් කෙරිණ. අත්‍යවශ්‍ය නොවන කඩ සාප්පු වසා දැමුණි. ජන ඒකරාශී වීම් තහනම් කෙරුණි. ජනගහනයෙන් වැඩි පිරිසක් තම නිවෙස්වල සිට රාජකාරි කිරීමට පටන් ගත්හ.

EPA

මේ අතරතුර, ජනාධිපති පූටින් ට සේවය කරන ගුවන් යානා සේවක පිරිසෙන් 60 දෙනෙකු සහ තවත් රජයේ ඉහළම නිලධාරීන් පිරිසක් 2020 මාර්තු 26දා නිරෝධායනයට ලක් කෙරුණේ ප්‍රථම වතාවටය. ඔවුන් රඳවා තැබුවේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි හෝටලයක ය.

එවක් පටන්, සිය ගණනක් ගුවන් යානා නියමුවන්, වෛද්‍ය සේවකයන්, රියදුරන් සහ වෙනත් සහකාර සේවකයන් රුසියාවේ හොටල් තුළ කාලය ගත කළේ නිරෝධායනය වීමටය.

මේ සියල්ල සිදුවූයේ ජනාධිපති පූටින් ට කොවිඩ් 19 වැළඳීම වළක්වා ගැනීම සඳහාය.

පූටින් ට දුන් එන්නත

රුසියාවේ සංවර්ධිත කොවිඩ් එන්නතක් ජනාධිපති පූටින් ට ලබා දුන් බව මෑතකදී වාර්තා විය. නමුත් එය කුමන එන්නත ද යන්න සඳහන් කර නොතිබුණි. ඒ කෙසේ නමුත්, “නිරෝධායන” හෝටල් සමඟ පවතින ගිවිසුම් ඊළඟ වසරට ද දීර්ඝ වී ඇති බවක් නම් පෙනෙන්නට තිබේ.

රුසියානු ජනාධිපතිවරයාගේ රාජකාරි කටයුතු නිසි පරිදි සුමටව පවත්වාගෙන යාම සඳහා පවතින අවශ්‍යතා සැපයීමේ වගකීම පැවරී ඇති අධ්‍යක්ෂ මණ්ඩලයට ඇමරිකානු ඩොලර් මිලියන 84ක් රජයේ අයවැයෙන් ලැබී ඇති බව බීබීසී රුසියානු අංශය ගණන් බලා තිබේ.

Vladimir Putin on a screen in front of an audience

ක්‍රෙම්ලිනයේ නිරෝධායන සඳහා පමණක් අවම වශයෙන් හෝටල් 12ක් වත් භාවිත කෙරෙන බව බීබීසී රුසියානු අංශය සොයාගෙන තිබේ.

පූටින් ගේ විනෝදාංශය

මෙම හෝටල් මොස්කව් නුවර සහ යාබද ක්‍රිමියා පළාතේ පිහිටි ඒවාය. එමෙන්ම දකුණු පළාතේ පිහිටි සෝචි නගරයට නුදුරින් ද හෝටල් වෙන්කර තිබේ. සෝචි යනු 2014 දී හිම ඔලිම්පික් තරඟාවලිය පැවති නගරයයි. එම නගරය හිම ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධය. හිම ක්‍රීඩාව ජනාධිපති පූටින් ගේ ප්‍රියතම විනෝදාංශයකි.

නිරෝධායන ලැයිස්තුවේ පෞද්ගලික හෝටල් නොමැත. අමුත්තන් සහ කාර්යමණ්ඩල සේවකයන් රැඳී සිටින මෙම සියලු හෝටල් ජනාධිපති අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් වේ. 2022 වසරේ මාර්තු මාසය දක්වාම ඇතැමුන් කාමර වෙන්කර ගෙන ඇත.

මෙම හෝටල්වල ප්‍රධාන වශයෙන් රැඳී සිටින්නේ ගුවන්යානා කාර්ය මණ්ඩලයට අයත් පිරිසයි.

එම ගුවන් යානා කාර්යමණ්ඩලය ජනාධිපති ව්දිලැමීර් පූටින් ට පමණක් නොව, අගමැති මිඛායිල් මිශුස්ටින් ට සහ තවත් කැබිනට් ඇමතිවරු අට දෙනෙකුට සේවය සපයති.

ජනාධිපති පූටින් පසුගිය වසරෙන් වැඩි කාලයක් රාජකාරි කටයුතු සිදු කර ඇත්තේ සෝචි හි පිහිටි තම නිවසේ සිට බව බීබීසී රුසියානු අංශයට දැනගන්නට ලැබුණි.

ක්‍රෙම්ලිනයේ නිරෝධායන කටයුතුවලට සමීප ආරංචි මාර්ග පැවසුවේ ගුවන්යානා නියමුවන් සහ ගුවන් කාර්ය මණ්ඩලයට අයත් සැලකිය යුතු පිරිසක් සෝචි පළාතට නුදුරු හෝටල්වල නිරෝධායනය වෙමින් රැඳී සිටින බවය. ඔවුන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විදේශ ඇමතිවරයාට සහ තවත් බොහෝ පිරිසකට ගමනාගමනය සපයන බවය.

එහි නිරෝධායනය වන පිරිස අතර ගුවන්යානා නියමුවන්ට අමතරව හෙලිකොප්ටර් යානා නියමුවෝ ද සිටිති.

Vladimir Putin on a stage

පූටින් ගේ දේශප්‍රේමය

දෙවන ලෝක සංග්‍රාමයේ ජය සමරන 75වැනි සංවත්සරය රුසියාවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ප්‍රධානතම උත්සවයක් වීමට නියමිතව තිබුණි. යුද්ධයේ අවසාන අදියරේ මතකයන් සිහිපත් කිරීම සහ නාසි හමුදාව පරාජය කිරීමෙහි ලා රුසියාවේ දායකත්වය සැමරීම පූටින් ගේ ආණ්ඩුවේ දේශප්‍රේමය විදහා පාන ප්‍රධාන අංගයකි.

මෙම උත්කර්ෂවත් සැමරුම පසුගිය මැයි 9වැනිදා, රතු චතුරශ්‍රයේ දී මහ ඉහළින් පැවැත්වීමට නියමිතව තිබුණි. එය රුසියාවේ විජයග්‍රාහී දිනයයි.

නමුත් එය පැවැත්වුණේ 2020 ජුනි 24වැනිදාය. එම සැමරීම සරලව සිදු කෙරුණු නමුදු හමුදා පෙළපාලියක් ද ඊට ඇතුළත්ව තිබුණි. එහිදී ජනාධිපතිවරයා යුද විරුවන්ට සහ ජනප්‍රිය පුද්ගලයන්ට අතට අත දුන්නේය. ජනාධිපතිවරයා ඔවුනට පදක්කම් පිරිනැමුවේය.

මෙහිදී ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවූ 200කට අධික අමුත්තන් පිරිසක්, උත්සව දිනයට දෙසතියකට පෙර සිට නිරෝධායනයට ලක් වී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

එම අමුත්තන් අතර වයස අවුරුදු 80ට වැඩි සහ 90ට වැඩි විශ්‍රාමික යුද විරුවන් ද සිටි බව ඔවුන් වාර්තාකර තිබුණි.

“විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් ඉතා උසස් තත්ත්වයන් යටතේ” නිරෝධායනය වෙමින් සිටින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ්, ජුනි මාසයේ පැවති මෙම උත්සවයට පෙර සනාථ කළේය.

නමුත් ඔහු අවධාරණය කළේ එය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සිදු කෙරෙන්නක් බවය.

President Putin laying flowers on a grave

රුසියානු රාජ්‍ය පුවත් සේවාවන් වන TASS සහ RIA-Novosti ද මීට සමාන වාර්තා පළකර තිබුණි. ඒවාහි විස්තර කර තිබුණේ මාධ්‍යවේදීන් විසි දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා “මොස්කව් නුවර පිහිටි හෝටල්” සුදානම් කර තිබුණු අයුරුයි.

මත්පැන් හෝ දුම් පානය තහනම්

ඔවුන්ට වෙන්කර තිබුණේ තනි පුද්ගල කාමරය. ඔවුන් ඉන් පිටතට පැමිණෙන්නේ කාමරය පිරිසිදු කරන අවස්ථාවේදී පමණි. මුහුණට මුහුණ හමුවී එකිනෙකා සමඟ කතාබස් කිරීමට ඔවුනට අවසර නොමැත. ඔවුන් තොරතුරු හුවමාරු කර ගෙන ඇත්තේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික මාර්ගවලින් පමණි.

ඔවුනට මත්පැන් හෝ දුම් පානය තහනම් ය. පිටතින් පැමිණෙන පාර්සලයක් වේනම් එය භාරගනු ලබන්නේ හෝටල් කාර්ය මණ්ඩලය විසිනි. ඒවා අදාල අමුත්තාට භාර දෙනු ලබන්නේ පරීක්ෂාවට සහ විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුවය.

හුදෙකලා කර ඇති මෙම මාධ්‍යවේදීන්ට තුන් වේලක් ආහාර සපයා ඇත. එම ආහාර පාන කාමරයේ දොර අබියස තබනු ලැබේ. පාවිච්චියෙන් පසු ඉවත ලන හැඳි ගෑරුප්පු කට්ටලයක් ද ඒ සමඟ ලැබේ.

මොවුන් හමුවීමට යම් කෙනෙකු පැමිණියේ නම් එම පුද්ගලයා පූර්ණ ආරක්‍ෂිත ඇඳුම් පැළඳුම් සහිතව සිටියේය.

ජනාධිපතිවරයාගේ සංචාරයන් සිදුවන විට කලාපීය බලධාරීන් ද කල්තියා නිරෝධායනය වී සිටිය යුතු බවට පුවත් වාර්තා වී තිබුණි.

උදාහරණයක් ලෙස, Nizhny Novgorod කලාපයේ Sarov නගරයට ජනාධිපතිවරයා පැමිණීමට පෙර පළාත් පාලන අධිකාරීන් විසින් ඩොලර් 13,000ක් වෙන්කර තිබුණේ “රුසියාවේ ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර කොරෝනාවෛරස් ආසාදනයන් ව්‍යාප්ත වීම වලක්වා ගැනීමේ අරමුණ” ඇතිවය.

එම අවස්ථාවේ දී කලාපීය පරිපාලකයන් විසි දෙනෙකු පමණ හුදෙකලාකොට තැබුණු බව බීබීසී රුසියානු සේවයට දැනගන්නට ලැබුණි.

ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය.

බී.බී.සී ඇසුරිණි – ඇනා පුෂ්කාර්ස්කායියා, පවෙල් අක්සේනොෆ් සහ පිට්‍රේ කොස්ලෝෆ් – BBC රුසියානු අංශය