කොවිඩ්-19: ‘තරුණ පරපුරට හානිකර නව ප්‍රභේදයක් ගැන සැක’

කොවිඩ්-19: ‘තරුණ පරපුරට හානිකර නව ප්‍රභේදයක් ගැන සැක’
Spread the love

තරුණ වියේ පසුවන්නන් හට දැඩි බලපෑමක් එල්ල වෙතැයි විශ්වාස කරන කොවිඞ් – 19 නව ප‍්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ද මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (20) පැවසුවා.

වත්මන් තත්ත්වය තුළ මෙරට තරුණ ප්‍රජාවට කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කී අමාත්‍යවරයා කොවිඞ් 19 ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් පැවසුවා.

මෙහිදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර සිටියේ, පළමු මාත්‍රාව ලබාදීමේ දී අනුගමනය කළ ක්‍රමවේදයන් හා කාර්යක්ෂම බව ඒ ආකාරයට ම රැක ගනිමින් දෙවන මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

“කාල පරතරය කුමක් ද කියන එක ගැන විවිධ අදහස් පළ වෙලා තිබුණා. ආරම්භයේ දී සති 4ක් කියලා කිව්වා. පසුව කිව්වා සති 10 -12ත් අතර කාලයක් කියලා. මේ වෙනකොට තවත් දත්ත ලැබිලා තියෙනවා සති 16ක් දක්වා යන්න පුළුවන් කියලා. දෙවැනි කාරණය තමයි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් පසු රුධිරය කැටි ගැසීම් පිළිබඳව සැක සංකා ලෝකයේ විවිධ රටවලින් මතුවුණා. අපත් මේ පිළිබඳ කරුණු කාරණා සොයාබැලුවා. ශ්‍රී ලංකාවේත් රුධිරය කැටි ගැසීම් පිළිබඳ රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වුණා. ඒ නිසා මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කළා. මේ සියල්ල සලකා බලා අපිට සුදුසු දිනයක් නිර්දේශ කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ අනුව ඊයේ සවස අමාත්‍යාංශයේ බෝනොවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව තීරණය කළා මැයි මාසයේ පළමු සතියේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්න කියලා.“

මේ අතර අද දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින්ගේ පැහැදිලි වර්ධනයක් වාර්තා වූ බවත් මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 345ක් බවත් සෞඛ්‍ය අංශ පවසනවා.