බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 177ක් – ශ්‍රී ලංකාවට කලකට පසු ටෙස්ට් ජයක් ?

බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 177ක් – ශ්‍රී ලංකාවට කලකට පසු ටෙස්ට් ජයක් ?
Spread the love

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 437 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5 ම සිව්වැනි දිනය අවසන් වීමට මත්තෙන් දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම සමත්වූහ. අයහපත් ආලෝක තත්ත්වය තරගයට බාධා පැමිණෙන විටත් බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5 කට ලකුණු 177 ක් ලෙසින් සටහන් විය.

තවත් පන්දුවාර 12 ක් ඉතිරිව තිබියදී සිව්වැනි දිනට තරගය අහවර කරද්දී බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 260 ක් පිටුපසින් සිටින්නේ තරගයේ තවත් දිනයක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදීය. තියුණු ලෙසින් දඟ කැවීමට පටන් ගෙන ඇති පල්ලකැලේ තණතීරුවේදී කඩුලු 5 ක් ඇතැතිව සම්පූර්ණ දිනයක් ක්‍රීඩා කිරීමේ දැඩි අභියෝගයට හෙට දිනයේදී බංග්ලාදේශ පිලට මුහුණ දීමට සිදුවනු ඇත.

තේ පානය වන විටත් කඩුලු 3 ක් අහිමිකරගෙන සිටි බංග්ලාදේශ පිල ආරක්ෂා කාරී පිළිවෙතක් අනුගමනය කිරීම පසෙකින් තබා ආක්‍රමණශීලී ලෙස පන්දුවට පහර දීම තරමක් විමතිය දනවන්නක් විය. ඒ අවසරයෙන් තවත් කඩුලු 2 ක් දවා ගනිමින් බංග්ලාදේශ තවත් ආගාධයට ඇද දැමීමට රමේෂ් මෙන්ඩිස් සමත්විය.

දැවී ගිය කඩුලු 5 න් රමේෂ් අතරේ කඩුලු 3 ක්ද ප්‍රවීන් හමුවේ කඩුලු 2 ක් ද බෙදී ගියහ. බංග්ලාදේශ ඉනිමේ ප්‍රථමයෙන් දැවී ගිය කඩුලු 3 න් 2 කම හිමිකරුවා වූයේ ප්‍රවීන්ය. මංගල ටෙස්ට් තරගයට සහභාගිවෙමින් පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවා ගත් ජයවික්‍රම මෙතෙක් තරගයේදී කඩුලු 8 ක් දවා ගැනීමට සමත්ව සිටියි. ටෙස්ට් භෞතීස්මයේදී කඩුලු 8 ක් දවාගැනීමට සමත්ව සිටින තෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙසින්ද වාර්තා පොත් අතරට නම එකතු කරගත්තේ අජන්ත මෙන්ඩිස් සහ අකිල ධනංජය සමඟ සම තැන් ගනිමිනි.

හෙට දිනයේදී ශ්‍රී ලංකාව හමුවේ ඇති එකම අඩු පාඩුව වන්නේ විනිසුරු තීරණය විමසීම (විතීවී) සඳහා හිමි අවස්ථා 3ම අහිමිවී තිබීමයි. නජ්මුල් හොසේන් දවා ගැනීම වෙනුවෙන් අවස්ථා 2 කදී ලිටන් දාස් දවා ගැනීම වෙනුවෙන් කරන ලද ඉල්ලීම් වලදී ශ්‍රී ලංකාවට හිමි එම වටිනා අවස්ථා 3 අහිමිව ගියේය.

තේ පානයෙන් පසු ඇරැඹි තරගයේ දැවී ගිය නායක මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුලු 2 ම රමේෂ් මෙන්ඩිස් විසින් දවා ගත්තේය. පිත්තේ ඇතුල් පැත්තේ වැදී කඩුල්ල බිඳී යෑමෙන් බංග්ලාදේශ නායකයාගේ ඉනිම ලකුණු 32 කදී ද ලෙග් ස්ලිප් ස්ථානයේ සිට ධනංජය ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීම මත මුෂ්ෆිකර් රහීම්ගේ ඉනිම නිමාවට පත්විය. ලකුණු 40 ක් ලබා ගත් රහීම් ඉනිමේ මුල් මිනිත්තු කීපයේදී  දවා ගැනීම වෙනුවෙන් අවස්ථා දෙකක් ලබා දුන්නද ළහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල අතින් එය ගිලිහී ගියහ. ස්ලිප් ස්ථානයේ පන්දු රැකි තිරිමාන්න අතට රහීම්ගේ උඩ පන්දුව ඇදී ගියේ ලකුණු 6 ක් ලබා සිටියදී.

බංග්ලාදේශ කඩා වැටීම ආරම්භ වූයේ රමේෂ් මෙන්ඩිස් විසින් ටමීම් ඉක්බාල් දවා ගැනීමට සමත්වීමත් සමඟය. මැද ඉන්නේ පතිත වුණු පන්දුවට පිත්ත හුවා දැක්වුවද අදහාගත නොහැකි ලෙසින් තියුණුව දඟ කැවුණු පන්දුව ටමීම් ඉක්බාල්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින දික්වැල්ලගේ දෑත් අතර සිර විණ. දැවී යනවිටත් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් එල්ල කිරී ටමීම් ප්‍රහාරාත්මක වේගය රඳවා ගනිමින් පන්දු 26 කදී ලකුණු 24 ක් රැස් කරගෙන සිටියේය.

තමාට වඩා එක් ටෙස්ට් තරගයකින් ජ්‍යෙෂ්ඨත්වයට පත්ව සිටින රමේෂ් මෙන්ඩිස්ගේ තල්ලුවත් සමග සයිෆ් හසන්ගේ කඩුල්ල දවා ගත් ප්‍රවීන් දෙවැනි ඉනිමේ සිය කඩුලු දඩයම ඇරැඹීය. ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ලකුණු අතරට පැමිණීමට දැඩි අරගලයක නිරතව සිටින සයිෆ් හසන්, දුර්වල පන්දු දුටු විට හිදැස් අතරින් හතරේ පන්දුව ගලා යෑමට සලස්වමින් ලකුණු 34 ක් ලබා ගත්තේය. මෙතෙක් තරගාවලියේ ඔහු ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් එම ලකුණු 34 සටහන් විය. පිතිකරුවාගෙන් පිටතට දඟ කැවුණු පන්දුවකට එක්ස්ට්‍රා කවර් කළාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට කරන ලද උත්සාහය වැරදී යෑමෙන් හසන් සිය කඩුල්ල අහිමි කර ගත්තේය.

තේ පානයට පන්දුවාර 3 කුත් පන්දුවක් තිබියදී නජ්මුල් හසන් දැවී ගියේ ජයවික්‍රමගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල සොයා යෑමෙනි. ආරක්ෂිත පහරක් එල්ල කළද පන්දුවේ තිබූ අදහාගත නොහැකි දඟ කැවීම නිසා පිත්තත් ශරීරයත් අතිරින් ගොස් කඩුල්ලේ වැදුණේ නජ්මුල්වද මවිත කරමිනි.

දැවී ගිය කඩුලු 3 න් 2 ක්ම තමන් සතු කරගත් තයිජුල් ඉස්ලාම් දෙවැනි වතාවටත් සිය මව්බිමෙන් පිටතදී කඩුලු 5 ක් දවා ගත්තේය. ටස්කින් අහමඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර තයිජුල් ඉස්ලාම් රැක ගැනීම නිසි නිරෝෂන් දික්වැල්ල ලකුණු 24 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වුණු දිමුත් කරුණාරත්න අද උදෑසන සිය 26 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. ටෙස්ට් තරග වලදී එතරම් වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවකු නොවූවත් ඉක්මනින් ලකුණු රැස් කිරීමේ අවශ්‍යතාවය මත සිය පිත්ත වේගවත් කළ ශ්‍රී ලංකා නායකා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 78 කදී ලකුණු 66 ක් ලබා ගත්තේය. ආබාධයෙක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණු ශොරිෆුල් ඉස්ලාම් වෙනුවෙන් පන්දු රැකීමට පැමිණි යසීර් අලීගේ අදහාගත නොහැකි උඩ පන්දු රැකීම නොවන්නට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා නායකයාට හිමිවනු ඇත.

මෙහෙදි හසන්ගේ පන්දුවකට පා ඉන්න දෙසට වේගවත් පහරක් එල්ල කළද එය හිස්වැස්මක් පළඳමින් ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකි යසීර් අලීගේ කකුලත් අතත් අතර හිර නොවන්නට පිට පිටම ඉනිම 3 කදී ශතක 3 ක් ලබා ගැනීමේ අවස්ථාව දිමුත්ට උදාවන්නට තිබිණ. දැවී යන විටත් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන්නන් අතරින් ප්‍රතිවාදී පිලකට එරෙහිව වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්වීමට දිමුත් සමත්වූවේය. වර්තමාන ක්‍රීඩකයින් අතරින් ඇන්ජලෝ මැතිව්ස් පමණක් පාකිස්තානයට එරෙහිව 2013-14 වසරේදී ලකුණු 412ක් ලබා ලකුණු 400 සීමාව රැස් කර සිටියි. දිමුත් මෙම තරගාවලියේදී ඉනිම 3 කදී ලකුණු 428 ක් රැස් කිරීමට සමත්ව සිටියි. බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේදී කිසි දිනෙක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයකද සිව්වැනි ඉනිමේදී පන්දුවාර 60 ක් ඉක්මවා පන්දුවට පහර දීමට අසමත්ව සිටීමද කැපී පෙනෙයි. ඔවුහු මේ ඉනිමේදීද කඩුලු 5 ක් අහිමිකරගෙන සිටින්නේ පන්දුවාර 48 ක් අවසානයේදීය.