මාලි ජාතික කාන්තාවක් ‘දරුවන් 09දෙනෙකු’ බිහි කරයි

මාලි ජාතික කාන්තාවක් ‘දරුවන් 09දෙනෙකු’ බිහි කරයි
Spread the love

මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත.

හලීමා සිසේ මෙම දරුවන් නව දෙනා බිහි කර ඇත්තේ මොරොක්කෝවේදීය. ඇයට අවශ්‍ය විශේෂ ප්‍රතිකාර සඳහා මාලි රජය මැදිහත් වී හලීමාව මොරොක්කෝවට යවා තිබිණි.

සිසේරියන් සැත්කමකින් උපත ලැබූ ගැහැණු දරුවන් පස්දෙනා සහ පිරිමි දරුවන් සිව්දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මාලි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

නව දරු උපතක් යනු අතිශය දුර්ලභ සිද්ධියකි. එවන් අවස්ථාවක උපතේදී හා ඉන් පසු ඇතිවන සංකූලතා හේතුවෙන් බොහෝ විට සමහර දරුවෝ මිය යති.

මාලි සෞඛ්‍ය ඇමතිනි ෆැන්ටා සිබි දෙරටේම වෛද්‍ය කණ්ඩායම්වලට “ප්‍රීතිමත් ප්‍රතිඵලය” ලබා දීම පිළිබඳ සුබ පැතුම් එක් කළාය.

ඇය කුස දරා සිටින්නේ දරුවන් හත්දෙනෙකු පමණක් යැයි හෙළි වූ අවස්ථාවේ දී පවා හලීමා සිසේගේ ගැබ් ගැනීම මාලි හි සිත් ඇදගන්නා සුළු මාතෘකාවක් බවට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි හි වෛද්‍යවරු ඇයගේ සුභසාධනය සහ ළදරුවන් ජීවත් කරවීමට ඇති ඉඩකඩ ගැන සැලකිලිමත් වීම හේතුවෙන් මෙයට රජයේ අවධානය යොමු විය.

මාලි අගනුවර වන බමාකෝ හි රෝහලක සති දෙකක කාලයක් රැඳී සිටීමෙන් පසු මාර්තු 30 වෙනිදා හලීමා සිසේ මොරොක්කෝවට ගෙන යාමට තීරණය කළ බව වෛද්‍ය සිබි පැවසුවාය.

මොරොක්කෝ සායනයේ සති පහක කාලයක් සිටීමෙන් පසු ඇය අඟහරුවාදා (මැයි 4) දින දරුවන් ප්‍රසූත කළ බව අමාත්‍යවරිය පැවසීය.

මව සහ ඇයගේ දරු පැටවුන් සති කීපයකින් පසු සියරට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Text by – bbc