"ගෙනා මන්නය අමතක වූ නිසා බෙල්ල කපන්න බැරි වුනා" සමයං ඝාතනය කල හැටි බන්ටි වමාරයි..

Spread the love

පසුගියදා ඝාතනයට ලක්වූ සමයං මරාදැමූ කල්ලියේ ප්‍රධාන සැකකරුවෙකු (22) සෙල්ලකතරගමදී අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බත්තරමුල්ලේ බන්ටි නම් වූ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට පාපොච්චාරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව ඔවුන් සැලසුම් කර ඇත්තේ සමයංගේ බෙල්ල කපාගෙන විත් අතුරුගිරියේ කනත්තේ තබන්නයැයි බන්ටි පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු පවසා තිබුනේ මෙලෙසිනුයි.

“අංගොඩ ලොක්කා එක්ක මමයි, තව දෙන්නෙකුයි සමයං සිටි බස් එකට නැගලා වෙපන් හතරකින් වෙඩි තිබ්බා. සමයංගේ බෙල්ල කපාගෙන ඇවිත් අතුරුගිරියේ කනත්තේ තියන්න. ගෙනාපු මන්නය මගහැරුණ නිසා සමයංගේ මූණට වෙඩි තියලා ෆුට් බෝඩ් එකට ඇදලා දාලා අපි වෑන් එකේ නැගලා ගියා”

එමෙන්ම අතුරුගිරිය, ජයන්තිපුර රබර් වත්තේ දී ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් හා බන්ධනාගාර නිල ඇඳුම් ඇඳ අවි ආයුධ සූදානම් කරගෙන බන්ධනාගාර බස් රථයට පහරදීමට යාමට පෙර මැදියම් රැයේ අංගොඩ ලොක්කා විසින් ආයුධ සන්නද්ධ කල්ලිය ප්‍රහාරයේ නියමුවා වූ මාකඳුරේ මධුෂ්ට වීඩියෝ දුරකථන ඇමතුමකින් පෙන්වූ බවත්, ඉන් පසු ප්‍රහාරයට ගිය බවත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සෙල්ලකතරගම දී අත්අඩංගුවට ගත් බත්තරමුල්‍ලේ බන්ටී නමැති පාතාල සාමාජිකයා ප්‍රශ්න කිරීම්වල දී හෙළිකර ඇත.

කලින් සැලසුම් කළ පරිදි මාකඳුරේ මධුෂ් විසින් අංගොඩ ලොක්කාගේ කල්ලිය වෙත ප්‍රහාරය සඳහා මුදල්, අවි ආයුධ හා ප්‍රහාරය සඳහා සාමාජිකයන් සිව්දෙනකු ද එවා ඇත. මෙම ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා, බත්තරමුල්‍ලේ බන්ටි ඇතුළු දස දෙනකු සහභාගි වී ඇති අතර ප්‍රහාරය සඳහා ටී-56 අවි 04ක් හා පිස්තෝලයක් යොදාගෙන ඇත.

මරදානින් පැහැරගත් ඩොල්පින් වෑන් රථයක නැගී අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු ප්‍රහාරකයන් අතුරුගිරියේ ඉඩමට ගොස් ප්‍රහාරය සඳහා සූදානම් වී ඇති බවත්, අතුරුගිරියේ ලඩියා රැගෙන ආ කැබ් රථය ද ප්‍රහාරයේ දී බන්ධනාගාර බස් රථවල ගමන අඩාළ කිරීමට යොදාගත් බවත් හෙළි වී ඇත.

ප්‍රහාරය සඳහා අවශ්‍ය ඉලක්ක ගත ස්ථානය අංගොඩ ලොක්කා විසින් තෝරගෙන ප්‍රහාරය සැලසුම් කර ඇති බවත් ප්‍රහාරයට දින දෙකකට පෙර දින (25) සවස ඩොල්පින් රථයේ දමාගෙන ගොස් අතුරුගිරිය රබර් වත්තේදීම මෙහෙයුම සිදුවන ආකාරය විස්තර කර ස්ථාන පරීක්ෂාවක් ද කර ඇති බව හෙළි වී ඇත.

 

එදින රාත්‍රියේම මෙම කණ්ඩායම ප්‍රහාරයට තෝරාගත් තැනින් වෑන් රථය නවත්වා කළුතර බන්ධනාගාර ඉදිරිපස ගේට්ටුව දක්වා ඇවිද ගොස් පැමිණ ඇති බවත් හෙළි වී ඇත. බන්ධනාගාරයේ සිට ප්‍රහාරයට තෝරාගත් තැන දක්වා තිබි ඇත්තේ මීටර් දෙසීයක දුරකි.

මෙහි දී බන්ධනාගාර බස් රථ දෙකේ ගමන් වේගය අඩාළ කර ඉලක්කය සපුරා ගැනීම සඳහා ලඩියා ගෙන ආ කැබ් රථයේ තැඹිලි කපන මුවාවෙන් තැඹිලි වලු කිහිපයක් ද රැගෙන යාමට සැලසුම් කර ඇත.

පසුදින (26) රාත්‍රියේ අතුරුගිරියේ රබර් වත්තට යළි එකතුවන කණ්ඩායමට එහි දී වෑන් රථයේ තිබූ නිල ඇඳුම් ඇඳගෙන කළු බෑගයක තිබූ අවි ආයුධ බෙදාගැනීමට ලොක්කා උපදෙස් දී ඇත. අංගොඩ ලොක්කා ‍පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමක් ඇඳ ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් අඳින ඇඳුම් සෙසු නවදෙනා ඇඳ ඇත.

සියලු දෙනා අවි ආයුධ සමග ‍පෝලිම් කර වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා මාකඳුරේ මධුෂ්ට පෙන්වා දීමෙන් පසුව ප්‍රහාරය එල්ල කළ දින (27) අලුයම 1.30ට අදාළ ස්ථානයට පැමිණ ඇත.

කඳුගැට සහිත ප්‍රදේශයේ ටී-56 අවිකරුවන් තිදෙනකු බස්රථවලට පහරදීමට යොදා අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රථයට නැග පහරදීම සඳහා ගොස් ඇත්තේ සමයං රැගත් බස් රථය එන බවට අංගොඩ ලොක්කාට ලද දුරකථන ඇමතුමකින් පසුවය. ඒ මොහොතේ දී බස් රථයේ සිටි දෙමළ ජාතික නියාමකවරයා ලොක්කා ඇතුළු සිව්දෙනා සිටි දෙසට එල්ල කළ වෙඩි ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ කකු‍ලේ බූට් සපත්තුවේ වැදී ලිස්සා යාමත් සමග ලොක්කා සමග සිටි පිරිස එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත.

මේ වනවිටත් වෙඩිවැදී තුවාල ලබා බස් රථයේ බඩගාගෙන ආ සමයං ඇතුළු පාතාල කණ්ඩායම සොයා ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රියට නැග ටී56 අවි තුනකින් හා පිස්තෝලයකින් වෙඩි වරුසාවක් සමයංගේ හිසට හා අනෙක් පිරිසට තබා විනාඩි ගණනක් තුළ වෑන් රථයේ නැගී පලාගොස් ඇත.

අතරමග දී එක් එක් සාමාජිකයන් බස්සවන්නට වූ බවත්, සියලු දෙනාට රුපියල් තිස්දහස බැගින් මධුෂ් එවා තිබූ බවත් සැකකරු හෙළිකර ඇත.

තමාව පානදුරෙන් බස්සවා ගිය බවත්, ඉන් පසුව බත්තරමුල්‍ලේ නිවසට පැමිණ මධුෂ්ගේ ඇමතුමකට අනුව මාතරට ගොස් රුපියල් ලක්ෂයක් ගෙන නුවරඑළියට ගිය බවත් සැකකරු වන බන්ටි හෙළිකර ඇත.