පොලිතීන් පිළිස්සීම ලෙඩ ගොඩක්

“අපේ අම්මලා උදේ පාන්දරම නැඟිටලා පොලිතීන් ප්ලාස්ටික් ටිකක් ලිපට දාලා තමයි දරවලින් උයන්නේ. දර ඉක්මනට ඇවිලෙන්න තමා පොලිතීන් දමන්නේ. ඔවුන් දරුවන්ට හොඳට කන්න දෙන්න එහෙම ඉව්වත් නොදැනුවත්වම දරුවන් ජීවත් වන පිරිසුදු වාතය දූෂණය කරනවා. එය ජීවත් වන දරුවන්ට පමණක් නොවෙයි, මව්කුසේ ඉන්න දරුවන්ට පවා විශාල හානියක් වෙනවා.”

එලෙස පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය උපදේශිකා වෛද්‍ය ඉනෝකා සුරවීරයි. ඒ පොලිතීන් හා ප්ලාස්ටික් පිළිස්සීමෙන් වන හානි පැහැදිලි කරමිනි.

පසුගිය සැප්තැම්බර් 1 දා සිට පොලිතීන් තහනම පැනවුවද එය තවමත් දැඩි සේ ක්‍රියාත්මක නොකෙරේ. ඒ සමඟම ගෙවත්තේ හා එළිමහනේ පොලිතීන් ප්ලාස්ටික් පිළිස්සීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ ජාතික පාරිසරික පනත හා 2017 ජුලි 11 අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුවය. තම ගෙවත්තේ පොලිතීන් පුළුස්සන අයට එරෙහිව ජාතික පාරිසරික පන්‍ත අනුව නඩු පැවරීමට පුළුවන. එහෙත් රටේ බහුතරයක් එවැනි නීතියක් තිබෙනවාද කියාවත් දන්නේ නැත.

වෛද්‍ය ඉනෝකා සුරවීර පවසන්නේ පොලිතීන් පිළිස්සීමෙන් නිකුත් වන වායු ආශ්වාසය නිසා පිළිකා, ශ්වසන ආබාධ, මළදරු උපත්, අන්ධභාවය, ඇසේ සුද, දියවැඩියාව හා හෘද ආඝාත ආදී ප්‍රතිවිපාක රාශියක් හටගන්නා බවය.

බොහෝ දෙනෙක් කරන්නේ නිවසේ එකතු වන පොලිතීන් ගිනිකූරක් ගසා පිළිස්සීමයි. එය තම නිවසේ සාමාජිකයන් පමණක් නොව අසල්වැසි නිවෙස්වල වෙසෙන්නන් ද අවදානමට ලක් කරන්නකි. පොලිතීන් අඩු උෂ්ණත්වයේ දී දහනය නිසා ඩයොක්සීන්, ෆියුරාන්, අවලම්බිත අංශු හා ෆෝමැල්ඩිහයිඩ් වැනි පිළිකාකාරක හා ශ්වසන ආබාධ ඇති කරන විෂ සංඝටක වායුගෝලයට නිකුත් කෙරේ. පොලිතින් හානියක් නොවන ලෙස පිළිස්සෙන්නේ සෙන්ටිග්‍රේට් අංශක 400ට වඩා ඉහළ උෂ්ණත්වයේදීය.

මිනිසාගේ ජීවන රටාව පහසු කරවන අමුද්‍රව්‍යයක් ලෙස පොලිතීන් භාවිතය ආරම්භ වූයේ 1970 න් පසුවය. ඊට පසු 1980 වන විට ෂොපිං බෑග් (පොලිප්‍රොපලීන්) භාවිතය ඇරඹිණි. නමුත් මිනිසාගේ ජීවිතය පහසු කිරීමට පැමිණි මේ අමුද්‍රව්‍යයම දැන් මාරකයක් බවට පත්ව අවසානය. පොලිතීන් පිළිස්සීම හානිකර බව 1980 ගණන්වලදී සොයාගනු ලැබිණි.

මේ පිළිබඳව අදහස් දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මෙසේ සඳහන් කර සිටී.

“අද ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන අනිසි ලෙස භාවිතය බැහැර කිරීම හා පිළිස්සීම අද බහුලව දැකගත හැකියි. එය සමාජීය, පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු රාශියක් ඇති කරවනවා. දිනකට ආහාර දවටන මිලියන 2ක්ද, ෂොපින් බෑග් වැනි සැහැල්ලු පොලිතින් මළු මිලියන 1.5ක් පමණ ද භාවිත කෙරෙනවා. අප රටේ ජනනය වන අපද්‍රව්‍යවලින් 7-15% ක ප්‍රමාණයක් පොලිතින් හා ප්ලාස්ටික්.”

අපගේ නිවෙස් තුළ සිදුවන වායු දූෂණයට පොලිතීන් පිළිස්සීම ද ඇතුළත්ය. ලෝකය පුරා අභ්‍යන්තර වායු දූෂණයෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව මිලියන 4.3 කි. එය දකුණු ආසියානු කලාපයේ පමණක් මිලියන 1.69 කි.

ප්ලාස්ටික් පිළිස්සීම නිසා පිටවන ඩයොක්සීන් උග්‍ර විසකි. එම විස දුම ආඝ්‍රානය නිසා ප්‍රජනක පද්ධතිය හා දරුවන්ගේ වර්ධනයට සම්බන්ධ ගැටලු ඇති වේ. එම විස හෝමෝන පද්ධතියට හානි කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද දුර්වල කරයි.

පොලිතීන් තහනම පිළිබඳව ජනතාව බොහෝ දුරට දැනුවත්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කළ සමීක්ෂණ අනුව හෙළි වී ඇත. එහෙත් පොලිතීන් පිළිස්සීමෙන් වන හානිය ගැන නම් ජනතාව දැනුවත් වී ඇති බවක් අපට නොපෙනේ.

එකතු වන පොලිතීන් නැවත ප්‍රතිචක්‍රීයකරණය සඳහා බාරදීමට ද වැඩි දෙනෙක් උනන්දු වන බවක් නොපෙනේ. බොහෝ විට ප්‍රධාන මාර්ගවලින් බැහැර ගම්බද අතුරු මාර්ගවල ජීවත් වන ජනතාව අතර එම පුරුද්ද වැඩි වශයෙන් දැකගත හැකිය. එයට හේතුව කසළ එකතු කරන රථ අතුරු මාර්ගවල නොපැමිණීමයි. කෙතරම් නීති රීති තිබුණත් ජනතාවට ද තම වටපිටාව පවිත්‍රව තබාගැනීමට කැපවීමේ අවශ්‍යතාවය තිබේ නම් මෙම විනාශයෙන් ගැලවීමට පුළුවන.
නිවෙස්වල එකතු වන ප්ලාස්ටික් හා පොලිතීන් ආදිය වෙනම ගබඩා කර තබාගෙන ප්‍රතිචක්‍රීයකරණ ආයතනවලට ලබාදුන් විට යම්කිසි මුදලක් ද හිමි වේ. නමුත් අද සමාජයේ වැඩි දෙනා එම කැපවීම කිරීමට කම්මැලිය. එමෙන්ම සමහර පළාත් පාලන ආයතනවලද කලකට පෙර පොලිතීන් ප්ලාස්ටික් එකතු කරන මධ්‍යස්ථාන ඇරඹුවද ඒවා ටික දිනකින්ම අහෝසි වී ගියේය. මේ නිසා ජනතාවට පහසුවෙන් පොලිතීන් අපද්‍රව්‍ය ඉවත් කිරීමට පහසුව සලසන මධ්‍යස්ථාන පිහිටුවීමට පළාත් පාලන ආයතන මැදිහත් වීම ද අවශ්‍ය වේ.

[rns_reactions]