රජය දැන්වීම් දැම්මට බුකියේ අපරාධ දැමීම වළක්වන්න නීතියක් නෑ – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

රජය දැන්වීම් දැම්මට බුකියේ අපරාධ දැමීම වළක්වන්න නීතියක් නෑ –  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

 

ගලින් ගල ගටා ගින්දර සාදාගත් යුගයේදී මිනිසුන් එකිනෙකා හා අදහස් හුවමාරු කරගත්තේ විවිධ ශබ්ද නැඟීමෙනි. ඉන්පසුව භාෂාවක් ගොඩනැගී එය පසුව සංදේශ යැවීමේ සිට තැපෑල දක්වා සන්නිවේදනය දියුණු විය. කාර්මික යුගයේදී ටෙලිෆෝනය බිහිවීම සන්නිවේදනයේ තවත් විශාල පිම්මක් විය. එසේ සැතපුම් දහස් ගණනක් දුර සිටින දෙදෙනෙකු අතර පවා ක්ෂණයකින් සන්නිවේදන කටයුතු කරගැනීමේ හැකියාව උදා වූ අතර පසුකාලීනය අන්තර්ජාලයේ, චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවත් සමඟ එය අතිශය සරල සාමාන්‍ය දෙයක් බවට හැරිණි.

Loading...

අවුරුදු දස දහස් ගණනක සන්නිවේදනයේ කතාන්දරය තුළ අපි මේ පසුකරමින් සිටිනුයේ සමාජ ජාල සන්නිවේදන අවධිය යැයි කීමෙහි වරදක් නැත. දුරකථන ඇමතුමකින් එකිනෙකා හා සන්නිවේදනය කරගනු වෙනුවට ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය රැසක්ම අද ජනතාවට විවෘතව පවතී. මෙම සමාජ ජාලවල අරමුණ වන්නේම සන්නිවේදනයකි. එහිදී ඊට එක්කෙරෙන යම් පෝස්ටුවකින්, පින්තූරයකින් එසේත් නැතිනම් ඉමෝජීවලින් පවා සිදුවන්නේ සන්නිවේදන කාර්යයකි.

මේ පසුබිම තුළ සන්නිවේදනය අද ලෝකය තුළ අතිශය සරල කාරණයකි. පරිගණකයත් ජංගම දුරකථනයත් මේ සන්නිවේදන කාරියේ අත්‍යවශ්‍යම මෙවලම් දෙක වී හමාරය. එහෙත් මේ සන්නිවේදන දියුණුවෙන් වාසි අත්කරගනු වෙනුවට එය අනිසි අයුරින් භාවිත කිරීම් ගැනද නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා වේ.

විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ අන් පුද්ගලයන්ව අපහසුතාවට පත්කරවන අන්දමේ භාවිතාවන් වාර්තා වන්නේ මේ හේතුවෙනි. පසුගියදා තම මිතුරාගේ නිරුවත් ඡායාරෑප ෆේස්බුක් වෙත එක්කළ ඔහුගේම මිතුරන් යැයි කියාගන්නා නරුමයන් අයත් වන්නේද එසේ සමාජ ජාල සාවද්‍ය අයුරින් පරිහරණය කරන්නවුන්ගේ ගොඩටය.

පසුගියදා පෙට්‍රල් හිඟයක් රට තුළ සැබෑවටම මතුවූ මොහොතට දින කිහිපයකට පසු නැවතත් පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට කටකතාවක් පැතිර ගියේද මෙවැනි සන්නිවේදන අවභාවිතයක් නිසාවෙනි. ඉකුත් සතියේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන්ද සමාජ ජාල ඔස්සේ විවිධ පුවත් ප්‍රචාරය වන්නට විය. ඉන් එකක දැක්වුණේ එක දිගට සුළි කුණාටු තුනක් ලංකාව ආක්‍රමණය කිරීමට නියමිත බවය. තවද දෙසැම්බර් මස දෙවැනි සතියේ ලංකාව, ඉන්දියාව, නේපාලය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් රැසක් යටකළ හැකි දැවැන්ත සුනාමියක් ඇතිවන බවට ඉන්දියානු නක්ෂත්‍රකරුවකු කළ ප්‍රකාශයක් ද පැතිර ගියේ සමාජ ජාලවල බලපෑමෙනි.

සමාජ ජාල හෙවත් සමාජ මාධ්‍ය යනු අද වනවිට ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් පළ කළ හැකි වේදිකාවක් වී හමාරය. එමෙන්ම ඒ තුළ ව්‍යාජ අනන්‍යතාවයන් ගොඩනඟා ගෙන ඒ හරහා ඕනෑම දෙයක් කළ හැකි ප්‍රායෝගික තත්ත්වයක්ද පවතී. එනිසා සමාජ ජාල පරිශීලනය කිරීම අද වනවිට වඩාත් ප්‍රවේසම්කාරී විය යුතු තැනකට පිවිස තිබේ.

පුවත්පත් හෝ රූපවාහිනිය ඔස්සේ ජනතාව හමුවේ තබන පුවත්වල වටිනාකම වන්නේද එයම ය. සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවි හරහා කිසිදු වගකීමකින් තොරව විවිධ පුද්ගලයන් පිළිබඳ විවිධ තොරතුරු පළවුවද වගකිවයුතු මාධ්‍යයකදී එවැන්නක් සිදුවන්නේ කලාතුරකිනි.

අනෙක් අතට ලිංගික ක්‍රියාකාරකම් අරභයා ද සමාජ මාධ්‍ය පහත් අයුරින් භාවිතා කරන ආකාරය හොඳින් දක්නට ලැබෙන්නකි. ව්‍යාජ අනන්‍යතා ඔස්සේ පෙනී සිටිමින් ලිංගික යෝජනා පිරිනමන, ලිංගිකත්වය ඉස්මතු වන ඡායාරූප වැනි දෑ පළ කරන අය බොහෝමයකට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ක්ෂේමභූමියක් වී තිබේ. එවැන්නවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින අබල දුබල බවද එවැනි ක්‍රියාකාරකම් වර්ධනය වීමට හේතුවකි. 

කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පසුගිය දා පුවත්පත් දැන්වීම් පළකරමින් ජනතාව වෙත දැනුවත් කර තිබුණේ සමාජ මාධ්‍ය මෙන්ම දුරකථන සංවාද හරහා වුව අනෙක් පුද්ගලයන්ට අගතියක් සිදුවන ආකාරයෙන් ක්‍රියාකරන අය වෙනුවෙන් 1991 අංක 25 දරන විදුලි සංදේශ පනතේ 58 හා 59 වගන්ති ප්‍රකාරව දඬුවම් පමුණුවීමට ක්‍රියාකරන බවය. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

අදාළ පනතේ අංක 58 හා 59 වගන්ති වලින් කියැවෙන්නේ, විදුලි සංදේශ සන්නිවේදන කාර්යයකදී නොමනා ක්‍රියාවක් සිදුකරන තැනැත්තෙකුට රුපියල් පන්දහසකට නොවැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක් හෝ ඒ දෙකම හෝ පැනවීමේ හැකියාව ඇති බවය.

මෙහිදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ එහි කිසිදු තැනක සමාජ මාධ්‍ය යන වචනය සඳහන් නොවීමය. ඇත්තෙන්ම 1991දී මේ පනත සම්පාදනය වන අවස්ථාවේදී සමාජ මාධ්‍ය යන වචනය භාවිතයේ පවා නොතිබූ බවට සැකයක් නැත. එනිසා විදුලි සංදේශ නියාමන කොමිසම සමාජ මාධ්‍ය අපරාධවලට මැඬලන්න උත්සාහ ගන්නේ අලින්ටත් රිංගිය හැකි තරමේ දැලකින් බව පෙනෙන්නට තිබේ.

සමාජ මාධ්‍ය දිනෙන් දින ගමන් කරමින් සිටිනුයේ දියුණු සන්නිවේදන භාවිතාවක් වෙනුවට මුළු මහත් සමාජයම පරිහානිය කරා ඇද දමන ගමනකය. කිසිදු වගකීමක් නොමැතිව සිදුවන සමාජ මාධ්‍ය කටයුතු යම් ආකාරයකට නියාමනය කිරීමට මෙන්ම එහිදී වැරදි කරන අයවලුන් එරෙහිව නිසි දඬුවම් පමුණුවාලීම යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමේලා අත්‍යවශ්‍යතාවක් බව නිසැකය.

 රජිත ජාගොඩ ආරච්චි

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ ඉදිරිපත් කරන පනත අපරාධ පනතක් නෙමෙයි. විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මේ සම්බන්ධව එක නඩුවක් වත් ඉදිරිපත් කරලාත් නැහැ. මේ මොහොතේ රටට අලුත් නීතියක් අලුත් පනතක් අවශ්‍යයි. සමාජ ජාල හරහා සිදුවන වැරැදි පිළිබඳ දක්වමින් හා ඒවාට දඬුවම් නම් කරමින් අලුත් පනතක් අපට අවශ්‍යයි. උදාහරණයකට ඉන්දියාව එයාලගෙ තොරතුරු තාක්ෂණ පනත 2008දී සංශෝධනයකට ලක්කරමින් එහි 60 සිට 65 බී වගන්ති දක්වා සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පළකිරීම, ලිංගික හැඟීම් දනවන දෑ පළකිරීම, ජනතාවට හිරිහැර පීඩා සිදුවන දෑ පළකිරීම ආදිය ගැන සඳහන් කරමින් හා ඒවාට දැඩි දඬුවම් පමුණුවමින් තමන්ගේ නීතිය යාවත්කාලීන කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ 1991 නීතිය සමාජ මාධ්‍ය අපරාධ මඬින්න ප්‍රබල මදි. අනෙක් අතට ඒ වැරදි සම්බන්ධව විමර්ශනය කළ හැකි විමර්ශන නිලධාරීන් විදුලි සංදේශ කොමිසමේ ඉන්නවද කියන එකත් ප්‍රශ්න කළ යුතුයි. මේ නීතියේ ලිහිල් බව නිසා තවතවත් සමාජ මාධ්‍ය හරහා අපරාධ සිද්ධ වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතට සමාජ මාධ්‍ය වැරදි ගෙන ආ යුතුයි.

Loading...

Post Comment