අත්‍යවශ්‍ය භාණ්ඩ ‘සැඟවීම වැළැක්වීමට‘ අති විශේෂ ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය භාණ්ඩ ‘සැඟවීම වැළැක්වීමට‘ අති විශේෂ ගැසට් නිවේදනයක්
Spread the love

වී, සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු ගබඩා කිරීම සම්බන්ධයෙන් සියලු කරුණු දින හතක කාලයක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඊයේ (11) අංක 2231/23, 2231/24 හා 2231/25 යන අති විශේෂ ගැසට් පත්‍ර මගින් නියෝග කර තිබේ.

එම අති විශේෂ ගැසට් පත්‍රයේ මෙසේ ද සදහන් වේ.

සහල් නිෂ්පාදකයකු, වී හෝ සහල් රැස්කරන්නකු, ගබඩාකරුවකු, බෙදාහරින්නකු හෝ වී හෝ සහල් තොග වෙළෙන්දකු විසින් ඔවුන් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති සහල් ගුදම්, සයිලෝ, ගබඩා, බහලුම් හෝ වෙනත් සථාන පාරිභෝගික අධිකාරියේ දින 7ක් ඇතුලත ලියාපදිංචි කළ යුතු අතර ඒවාහි ඇති වී හෝ සහල් තොග පිළිබඳ විස්තරද ලබාදිය යුතුය.

සීනි හා කිරිපිටි ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන්, රැස්කරන්නන්, බෙදාහරින්නන් හා තොග වෙළෙන්දන් ලියාපදිංචි වීම සහ සීනි හා කිරිපිටි පිළිබඳ තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදිය යුතුය.

බඩ ඉරිගු රැස්කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් හා තොග වෙළෙන්දන්ද ඉහත සඳහන් සිය තොරතුරු සමඟ පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි විය යුතු නමුත් වී වගාකරුවකු හෝ බඩඉරිගු වගාකරුවකු සිය අස්වැන්න ගබඩා කර තබා ගැනීම ඊට අයත් වන්නේ නැත.