ආණ්ඩුව මැදිහත්ව ‘ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් මිල අඩු කළා’ – ඇමති බන්දුල

ආණ්ඩුව මැදිහත්ව ‘ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් මිල අඩු කළා’ – ඇමති බන්දුල
Spread the love

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ගෝලීය තත්ත්වයක් බවත් රජය හැටියට මැදිහත්ව ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් කරවල ආදි භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කර ඇති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පෙරවරුවේ ඔරුගොඩවත්ත සතොස ගබඩා තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු සකස් කිරීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදීය.

මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මුළු ලෝකයේම නිෂ්පාදන සහ සැපයුම් ක්‍රියාවලි ජාලය සම්පූර්ණයෙන්ම අඩාලව ඇති බවත් කන්ටේනර් ගාස්තු සියයට 300 කින් වැඩි වීමෙන් මුළු ලෝකයේම ආහාර නිෂ්පාදනයේ අර්බුදයක් නිර්මාණය වී ඇතිබවත්ය.

‘‘ මේ තත්ත්වය තුළ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරයා හෙළිකළේය.