එක්ස්ප්‍රස් පර්ල් ගින්න: දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

එක්ස්ප්‍රස් පර්ල් ගින්න: දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්
Spread the love

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි අග්‍රාමාත්‍යවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට මෙහි දී උපදෙස් ලබා දුන් අතර මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන්නැයි ද කියා සිටියේය.

ගිනිගත් නෞකාවේ බලපෑමට ලක්වන මුහුදු තීරයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරටා මෙහි දී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාට දැනුම් දුන්නේය.

සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින නාවික හමුදාව ඇතුළු සියලුම දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.