ශ‍්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුමේ තවත් ඛේදවාචකයක් සටහන් කරමින් කලාවැව හා බලලු වැව රක්ෂිතයේ ‘රේවත’ නමින් ප්‍රසිද්ධ ඇතා විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. කැකිරාව, අලියාවැටුණු වැව ප්‍රදේශයේ බඩඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පෙරේදා (08) රාත්‍රියේ රේවත ඇතා මියගිය බවට සැකකරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
රේවත ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු එම ස්ථානයේදී වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු අතර එම ඇතා අවුරුදු 50ක් 55ක් පමණ වයසැති බවත් කලාවැව සහ බලලු වැව ඇත් පන්තියේ වැඩිමල්ම ඇතා බවත් වනජීවී නිලධාරීහු සඳහන් කළා.
වසර 50ක පමණ කාලයක් මෙම ඇතා ගල්කිරියාගම, පුබ්බෝගම, කලා බලලු වැව ආදී ප්‍රදේශවල සැරිසරමින් ඇති බවද මෙම ඇතා මීට පෙර කිසිදු පුද්ගලයෙකුට පහරදීමක් හෝ ඉඩම්වලට පැන වගා හානි සිදු කිරීමක් හෝ පිළිබඳ වාර්තා වී නැතැයිද වනජීවී නිලධාරීන් පැවසුවා.
අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය, වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් හදිසි මරණ පරීක්ෂණ සිදු කළා.
2021 වසරේ ජනවාරි 01වැනි දින සිට ඊයේ (09) දිනය දක්වා ගත වූ දින 68ක කාලය තුළදී අලි, ඇතුන් 61 දෙනෙකු මරණයට පත්වී තිබෙන අතර මෙම කාලය තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ විසිහතරක්ද සිදුව තිබෙනවා.
මෙම කාලය තුළදී වැඩිම අලි මරණ ප්‍රමාණයක් සිදුව ඇත්තේ පොළොන්නරුව වනජීවී කලාපය තුළ වන අතර, මෙම කලාපය තුළින් අලි මරණ 17ක් සිදුව තිබෙන අතර පසුගිය 2020 වසර තුළදී අලි ඇතුන් 322 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර, එම වසර තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 113ක් සිදුව තිබෙනවා.
ඡායාරූපය lanka truth ඇසුරිණි