ජනපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන දැඩි තීන්දුවක්

ජනපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන දැඩි තීන්දුවක්
Spread the love

ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටින අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතුවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නේ ඔවුනට ඇති ආරක්ෂාව සම්බන්ධ තර්ජන තක්සේරු කිරීම් මත බවත් ප්‍රධාන අපේක්ෂකයින්ට පමණක් වැඩි ආරක්ෂාවක් ලබාදීමට සැලසුම්කර ඇති බවත් ඉහළ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.

මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වෙන ස්ථානය අනුව අදාළ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනස් වන බව ද ප්‍රධාන අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා අමාත්‍ය ආරක්ෂක අංශයේ (MSD) සහ විශේෂ කාර්ය බලකායේ (STF) පොලිස් නිලධාරීන් යොදවන බව ද අදාළ නිලධාරියා සඳහන් කළේය.

අද (15) දින ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වීමෙන් පසුව, ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂකයින්ගේ ආරක්ෂාව පිළිබඳ වගකිව යුතු කමිටුව එක් එක් අපේක්ෂකයින්ගේ සම්බන්ධීකාරකවරුන් හමුවී ඇති අතර, තම අපේක්ෂකයින්ගේ ආරක්ෂාව කළමනාකරණය කරන ආකාරය සහ කමිටුව මගින් ලබා දී ඇති විධිවිධාන සම්බන්ධයෙන් අදාළ සම්බන්ධීකාරකවරුන් දැනුවත් කර ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

තම අපේක්ෂකයින්ගේ ඉදිරි ප්‍රචාරක රැස්වීම් කාලසටහන ලබා දෙන ලෙස කමිටුව සෑම සම්බන්ධීකාරකයෙකුටම උපදෙස් දී ඇති බව ද එම නිලධාරියා පැවසීය.

සමස්ත මැතිවරණ කාලසීමාව තුළ, ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත සහය වීමට සන්නද්ධ හමුදා සූදානම්ව සිටින අතර, පොලිසිය සහ STF විසින් ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කරනු ඇති බව ද වාර්තාවේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින් සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන්ට හමුදා භටයන් සීරුවෙන් තබා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) අසංක කරවිට සහ ජාතික බුද්ධි ප්‍රධානී ඇතුළත් වේ.