පැමිණිල්ලක් සිදුකිරිමට නෙළුව පොලීසියට ගිය බාලවස්කාර දැරියක් එම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු විසින් සිප ගැනිමේ සිදුවීමක් වාර්තා වේ.
සිප ගැනීම සිදුකළ අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
නෙළුව ඉහළ ගිගුම්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් සිය මව සමග ඊයේ (29) නෙළුව පොලීසියට පැමිණ ඇත්තේ පැමිණිල්ලක් සිදුකිරීමටය.
විමර්ශන සඳහා තමාට සහ දියණියට ඊයේ රාත්‍රිය වන තෙක් පොලීසියේ රැඳි සිටින ලෙසට නිලධාරින් කළ දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් එහි රැඳී සිට තිබේ.
කෙසේවෙතත් අද (30) උදෑසන සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරියෙකු ඔවුන් සිටි කාමරයට පැමිණ සිය දියණිය සිපගත් බව මව පවසයි.
“පොඩ්ඩක් දොර අරින්න කිව්වා. මම දොර ලොක් කරලා යතුර තියාගෙන හිටියේ. මම දොර ඇරලා ලයිට් එක දැම්මා. එපා එපා ලයිට් දාන්න එපා කිව්වා. මම ලයිට් එක ටිකක් වෙලා තියාගෙන ඉදලා නිවලා දැම්මා. දරුවගේ ඔලුව අතගෑවා දෙපාරක්. හා අඬනවා ද? කියලා ඇහුවා. අහලා ගියා. ගියාට පස්සේ දොර ලොක් කරේ නෑ මට කෝල් එකක් ආවා මහත්තයාගෙන්. ඇවිල්ලා කිව්වා කෝල් එක ගන්න එහා පැත්තට යන්න කිව්වා. මම ගියේ නෑ වීදුරුව ළඟ හිටියා. ටක් ගාලා මේ මිනිහා දරුවා ළඟට ගියා. ඔලුව අතගෑවා. මූණ ඉම්බා. මම එක පාරට කෑ ගැහුවා උඹ මොකද්ද ඔය කරන්නේ කියලා.“
දැරියගේ පියා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, කාන්තා පොලිස් නිලධාරියෙක් නොමැතිව තම දරුවා නවතා ගත්තේ කුමන පදනමකින් ද යන්න ය.
“නීතිය රකින මේ වගේ ආයතනවල නීතිය රකින්නේ මෙහෙම ද? පොලීසියෙන් වැඩක් තියෙනවා ද මෙහෙම.“
මෙම සිදුවීමට මුහුණ දුන් දැරිය තරුණයෙක් සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කර දෙමාපියන්ට හොර රහසේ එම තරුණයා හමුවීමට ගොස් තිබේ.
එම අවස්ථාවේ දී අදාළ තරුණයා දැරිය ව දූෂණය කර ඇති අතර ඔහු විසින් දැරියගේ වීඩියෝ සහ ඡායාරූප ලබාගෙන ඇතැයි වාර්තා වේ.
එම වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් අදාළ තරුණයා දැරියව සිව් වතාවක් පමණ නැවත නැවත ගෙන්වා ගෙන ඇතැයි ද පැවසේ.
අදාළ සිදුවීම දෙමාපියන් විසින් දැනගැනීමත් සමඟ එම තරුණයා අල්ලා පොලීසියට භාර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මව සමඟ ඊයේ දිනයේ දී නෙළුව පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණි.
උපුටා ගැනීම: අද දෙරණ