මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන් තරම් දැනුවත් කරද්දී පවා මෙහෙම දේවල් කියන එක මහ පුදුමයක්
ව්‍යාජ පුවත් පැතිර යාම හේතුවෙන් එක්සත් රාජධානියේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට අයත් ඇතැම් පුද්ගලයන් කොරෝනාවෛරස එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවට වෛද්‍යවරයෙක් අනතුරු අඟවා තිබේ.
එක්සත් රාජධානි සෞඛ්‍ය අංශයේ ව්‍යාජ තොරතුරු විරෝධී මෙහෙයුමකට නායකත්වය දෙන වෛද්‍ය හර්ප්‍රීත් සූඩ් පැවසුවේ මෙය ගැන “දැඩි අවධානයක් යොමු කළ යුතු අතර, ව්‍යාජ පුවත් විශාල ප්‍රමාණයක් නිවැරදි කිරීමට” නිලධාරීන් කටයුතු කරන බවය. .
අසත්‍ය තොරතුරු පැතිරීමට භාෂාව හා සංස්කෘතික බාධක හේතු වන බව ඔහු පැවසීය.
වෙස්ට් මිඩ්ලන්ඩ්ස්හි වෛද්‍යවරයෙකු බීබීසී සේවයට කියා සිටියේ ඇයගේ ප්‍රදේශයේ සිටින ඇතැම් දකුණු ආසියානු ප්‍රජාවට අයත් පුද්ගලයන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවය.
ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම්
ලන්ඩන් නුවර රෝහලක මනෝ විද්‍යා උපදේශකවරියක් ලෙස සේවය කරන ලුම්බිණි විතාණ කොරෝනාවෛරස එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් සිය අත්දැකීම් බෙදා ගත්තාය.
“මට මුලින්ම කියන්න තියෙන්නේ, කොවිඩ් 19 වෛරසය ගැන පහසුවෙන් සිතන්න එපා කියන එක. දෙවෙනි රැල්ල තුළ දී මම රැකියාව කරන රෝහලේ සිටින කොරෝනාවෛරස රෝගීන්ගේ මානසික තත්ත්වයේ වෙනස්කම් පවා දැකගන්න ලැබුණා. ඒ වගේම දීර්ඝ කාලයක් රෝගයෙන් පීඩා විඳින තත්ත්වයක් තිබෙනවා,” ඇය පැවසුවාය.
“සෞඛ්‍ය සේවකයෙක් හැටියට මට එන්නත මුලින්ම ලැබුණා. මා එක්ක සේවය කරන සුදු ජාතිකයන් සම්පූර්ණයෙන් වාගේ එන්නත ලබා ගත්තත්, සමහර ආසියානු අය එන්නත ලබා ගන්නේ නැහැ කියනවා. ආගම වගේම වෙනත් මිත්‍යා මත විශ්වාස කිරීම මත එන්නත ගැන අවිශ්වාසයක් ගොඩනඟා ගෙන තිබෙනවා.”
එන්නත ලබා ගත් පසුව ඇතැම් පුද්ගලයන්ට උණ තත්ත්වයක් හෝ කටුව ශරීරයට ඇතුළු කර ස්ථානය ඉදිමීම සාමාන්‍යය තත්ත්වයක් බව ලුම්බිණි පැවසීය.
“එන්නත ලබා ගත් මම ඇතුළු දන්නා කියන කිසි කෙනෙකුට තවමත් ආසාත්මිකතා ඇති වෙලා නැහැ. නමුත් එන්නත ලබා ගන්න කළින් තමන්ට යම් ආසාත්මිකතා තියෙනවනම් අනිවාර්යයෙන්ම ඒවා අදාළ වෛද්‍යවරයාට කියන්න. ඒ වගේම එන්නත තිබෙන ඇසුරුමේ දිනය සහ විස්තරය කියවා බලන්න ඉල්ලා ගන්න පුළුවන්. එය තමන්ගේ අයිතියක්.”
“එන්නත ලබා ගත්තට පස්සේ සහතිකයක් ලබා දෙනවා. ඉදිරියේ දී රටවල් අතර සංචාරය කරන්න පවා මෙය වැදගත් වෙයි,” ඇය තවදුරටත් පැහැදිළි කළාය.
“මුළු සමාජයටම කරන සේවයක්”
එක්සත් රාජධානියේ දිවිගෙවන ශ්‍රී ලාංකික වෛද්‍යවරියක පැවසුවේ, තමන්ට ද කොරෝනාවෛරසය වැළඳුණු අතර එයින් ශරීරයට විය හැකි හානි පිළිබඳ අත්දැකීමෙන් දන්නා බවය. ඇය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය.
“පළමු රැල්ලෙන් මට කොරෝනාවෛරසය හැදුණා. එහි බරපතලකම අත්දැකීමෙන් මම දන්නවා. එන්නත ලබා ගන්න කියලා මම හැකි තරම් දෙනා දිරිමත් කරනවා. හැබැයි සමහරු මිත්‍යා මතවල, ව්‍යාජ තොරතුරුවල ගිලිලා ඉන්නේ.”
“මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන් තරම් දැනුවත් කරද්දී පවා මෙහෙම දේවල් කියන එක මහ පුදුමයක්.”
“විද්‍යාව මත නිපද වූ එන්නත ලබා ගන්න. ව්‍යාජ තොරතුරු පස්සේ යන්න එපා. එය ඔබේ ජීවිතයට විතරක් නෙමෙයි පවුලට, මුළු සමාජයටම සිදු කරන සේවයක්,” ඇය තවදුරටත් පැවසුවාය.
බලපෑම් කරන්නන්
එන්නත පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට දකුණු ආසියානු ආදර්ශවත් පුද්ගලයන්, බලපෑම් කරන්නන්, ප්‍රජා නායකයින් සහ ආගමික නායකයින් සමඟ නිලධාරීන් කටයුතු කරන බව වෛද්‍ය හර්ප්‍රීත් සූඩ් පැවසීය.
බොහෝ වැරදි තොරතුරු ගොඩ නැගී ඇත්තේ එන්නතෙහි අන්තර්ගතය සම්බන්ධයෙනි.
“අපි පැහැදිලි කර ජනතාවට අවබෝධ කර දෙන්න ඕනේ, එන්නතෙහි මස් අඩංගු වී නැති බවත්, එන්නතෙහි ඌරු මස් නැති බවත්. එය සියලු ආගමික නායකයින්, ආගමික සභා සහ ප්‍රජාවන් විසින් පිළිගෙන තිබෙනවා,” ඔහු පැවසුවේය.
“ආදර්ශවත් චරිත සහ බලපෑම් කරන්නන් සොයා ගැනීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම මේ තොරතුරු ඉක්මණින් යා යුතු සාමාන්‍ය පුරවැසියන් ගැනත් සිතා බලනවා. මේ ආකාරයෙන් ඔවුන් සියල්ලන්ටම එකිනෙකාට සහයෝගය දැක්විය හැකියි. අවසානයේ සෑම කෙනෙකුම සෑම කෙනෙකුටම ආදර්ශයක් වෙන්න පුළුවන්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
“මේ වන විට විශාල වැඩ කොටසක් සිදුවෙමින් පවතිනවා. තොරතුරු පරිවර්තනය කිරීමෙන් පසු එහි නිසි පෙනුම හා හැඟීම අදාළ ජනතාව වෙතට යැවීමට අප වග බලා ගන්නවා.”
සමාජ මාධ්‍යවල සහ වට්ස්ඇප්හි සමහර වැරදි තොරතුරු ආගම ඉලක්ක කර සංසරණය වන බව බීබීසී සේවයට දැකගත හැකි විය.
එන්නතෙහි සත්ත්ව නිෂ්පාදන හෝ මධ්‍යසාර අඩංගු බව ව්‍යාජ තොරතුරු දැකගත හැකිය.
උදාහරණයක් ලෙස මුස්ලිම්වරුන් සහ හින්දු භක්තිකයින් ඌරු මස් වැනි මස් වර්ග අනුභව කිරීම ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනිය.
“අපි සියලුම රෝගීන් අමතා එන්නත් ලබා ගැනීම සඳහා ඔවුන්ට කාලය වෙන් කර දෙනවා. නමුත් පරිපාලන කාර්ය මණ්ඩලය පවසන්නේ ඔවුන් දකුණු ආසියානු රෝගීන් බොහෝ දෙනෙකු ඇමතූ විට ඔවුන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි,” වෙස්ට් මිඩ්ලන්ඩ්ස්හි ඩඩ්ලි නගරයේ එන්නත් ලබා දෙන වෛද්‍ය සමාරා අෆ්සාල් පැවසුවාය.
“යාළුවෝ වගේම පවුලේ අය එක්ක කතා කලත් අහන්න ලැබෙන්නේ මේ දේමයි. මගේ සමහර යාළුවෝ කතා කරලා ඉල්ලනවා එන්නත් ලබා ගන්න කියලා ඔවුන්ගේ දෙමව්පියන්ට නැත්නම් ආච්චිලා සීයලාට ඒත්තු ගන්වන්න කියලා. මොකද එන්නත ලබා ගන්න එපා කියලා ඒ පවුල්වල අනෙක් අය කියනවලු.”
ව්‍යාජ තොරතුරු ‘වැහි වැහැලා’
රීනා පුජාරා හැම්ප්ෂයර් ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර ඇය හින්දු භක්තිකයෙකි. ඇයට ව්‍යාජ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබුණු බව පැවසුවාය.
“සමහර වීඩියෝ දර්ශන දුටුවහම ඇත්තටම කැළඹෙනවා. විශේෂයෙන්ම වාර්තා කරන පුද්ගලයා වෛද්‍ය වෘත්තිකයෙක් වෙලා එන්නත ඔබේ ඩීඑන්ඒ වෙනස් කරන බව පවසන විට,” ඇය පැවසුවාය.
“සාමන්‍ය මනුස්සයෙකුට මේ දේවල් ඉතා අවුල් සහගතයි. ඒ වගේම එන්නතේ අඩංගු අමුද්‍රව්‍යවල ගවයන්ගෙන් ලබා ගත් දේ තිබෙන බව කියවන විට එය අප කළඹනවා. හින්දු භක්තිකයන් ලෙස ගවයා අපට පාරිශුද්ධයි.”
එන්නත් පිළිබඳ ව්‍යාජ පුවත් වැළැක්වීමට සහ ඔවුන්ගේ ප්‍රජාවට එන්නත ලබා ගැනීමට පෙළඹවීම සඳහා මුස්ලිම් පල්ලි සියයක් පමණ එක් වී තිබේ.
තම සිකුරාදා ආගමික දේශනවල දී එන්නත ගැන කරුණු පහදා එය ලබා ගන්නා ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටින බව ඔවුහු පැවසූහ.
“සදාචාරාත්මක දෘෂ්ටි කෝණයකින් බලා එන්නත ලබා ගැනීමට කිසිදු පැකිලීමක් නොතිබිය යුතුයි,” මෙම ව්‍යාපාරය සංවිධානය කළ මුස්ලිම් පල්ලි සහ ඉමාම්වරුන්ගේ ජාතික උපදේශක මණ්ඩලයේ (MINAB) සභාපති ඛාරි අසීම් පැවසීය.
“අප මෙන්ම අන් අයව ද හානිවලින් ආරක්ෂා කිරීම අපගේ සදාචාරාත්මක යුතුකමයි.”
මහජන සෞඛ්‍ය පිළිබඳ රාජකීය සංගමය මෑතකදී පවත්වන ලද මත විමසුමකට අනුව එක්සත් රාජධානියේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික (BAME) ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කොරෝනාවෛරස එන්නත ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබේ.
කෙසේනමුත්, සුදු ජාතිකයින්ගෙන් 79% ක් එන්නත ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇත. මේ අතර, සුළු ජාතීන්ගෙන් එන්නත ලබා ගන්න කැමැත්ත පළ කර ඇත්තේ 57% ක් පමණි.
“හිතන්න”
“එන්නත ලබා ගන්න බල කරන්න බැහැ. නමුත් යම් කෙනෙක් මේ වගකීම පැහැර හරිනවානම්, ඒ අය සහතික වෙන්න ඕනේ වෛරසයෙන් ප්‍රවේසම් වෙලා ඉන්නවා කියන එක. නැත්නම් බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙනවා. මේ තත්ත්වයේ අවසානයක් නැතුව යනවා.” යැයි ලුම්බිණි විතාණ පැවසුවාය.
“වෛරසය හැදිලා අමාරු වුණාට පස්සේ රෝහලට ගෙනත් ICU එකට ඇතුළු කළාම ඔය මත වැඩක් නැති වෙනවා. වෛද්‍යවරුන් දෙන බෙහෙත් ලබා ගන්න වෙනවා ජීවිතය බේරා ගන්න.”
“සමහර විට එහෙම වෙලාවක ඔබ සිටින්නේ වෙනත් ලෙඩකින් අමාරු වුණ රෝගියෙක්ට දෙන්න තිබුණ ඇඳක වෙන්න පුළුවන්. ඒ වගේම දිවා රෑ නොබලා වෙහෙසෙන සෞඛ්‍ය සේවකයන් ගැනත් ටිකක් හිතන්න. ආත්මාර්ථකාමී මතවලින් බැහැර වෙලා, එන්නත ලබා ගෙන තමන්ගේ වගකීම ඉටු කරන්න,” ලුම්බිණි තවදුරටත් විස්තර කරමින් පැවසුවාය.
Text copied by – bbc sandesaya