කෙටුම්පත් කෙරෙන නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ලබන මැයි මාසයේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන්ට ඊයේ (23) දැනුම් දුන්නේය. අධ්‍යාපන කොමිෂන් සභාව මෙම ප්‍රතිපත්තිය සැකසීමේදී අදාළ අමාත්‍යාංශ ඇතුළු සියලු පාර්ශ්වයන්හි සහයෝගය ලබා ගත යුතු බවද හෙතෙම කීවේය.
විශ්වවිද්‍යාලයන්හි සිදුවන නවක වදය තුරන් කිරීම සම්බන්ධයෙන් නව අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සැකසීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විශ්වවිද්‍යාල උපකුලපතිවරු මෙහිදී පැවසූහ.
සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය සියලු ශ්‍රී ලාංකිකයන් ජීවිත කෙරෙහි බලපෑම් ඇති කරවන ජාතික සංවර්ධන ක්‍රියාදාමයේ අත්‍යාවශ්‍ය කොටසක් වන බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් විය යුතු මෙවන් මොහොතක පාසල් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තීන් කඩිනමින් සංශෝධනය වී ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාව ඊයේ නිර්දේශ කළේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම 2018 වසරේදී කලා මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන උපාධි පාඨමාලා වෙනුවෙන් රුපියල් මිලියන 5,396,952 ක් වියදම් කර ඇති බව කෝපා කාරක සභාවේදී අද අනාවරණය විය. එය විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වියදම් කර ඇති මුදල වැඩිම මුදල බවද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය.
කලා උපාධිධාරින්ගේ සේවා වියුක්තිය සියයට 50 ඉක්මවා තිබීම ගැටළු සහගත බවත්, ඒ සඳහා නිසි පිළියම් සෙවිය යුතු බවත් කාරක සභාව පෙන්වා දුන්නේය.
කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අද (23) සිදු විය.
කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාවට දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , ප්‍රසන්න රණවීර, යන ගරු රාජ්‍ය අමාත්‍යවරු ද , තිස්ස අත්තනායක , අශෝක් අබේසිංහ , මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මහාචාර්‍ය රංජිත් බංඩාර , හරිනි අමරසූරීය, එස්.ශ්‍රීතරන්, බී.වයි.ජී රත්නසේකර යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝද සභභාගී වූහ.
තාක්ෂණ විෂය ධාරාව ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ සියලු පළාත්වල අවශ්‍යතාව පරිදි මානව හා භෞතික පහසුකම් සපයා දීමේ අවශ්‍යතාවද කාරක සභාව අවධාරණය කළේය.සිසුන් ද්විතියීක පාසලේ ඉගෙනුම ලබන කාලයේදීම ඔවුන්ට තෝරා ගැනීම සඳහා විකල්ප මාවත් සහ විෂය ධාරා ලබාදීමේ සිදු කළ යුතුය. එමඟින් ගැටළු රැසක් නිරාකරණය කළ හැකි බව සභාපතිවරයා කීවේය.
පාසල් තුළ හා විශ්වවිද්‍යාල තුළ සන්නිවේදන කුසලතා වර්ධනයට පහසුකම් සැලසීම සඳහා ඉංග්‍රීසි ඉගැන්වීම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද කාරක සභාව අධ්‍යාපන බලධාරින්ට පෙන්වා දුන්නේය.
විශ්වවිද්‍යාල තුළ පවතින මානව හා භෞතික සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනිම සඳහා උපාධි පාඨමාලා හැදෑරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් වෙනස් වී සිසුන් වැඩි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත්වීමට අවස්ථාව සැලසෙන පරිදි එම ආයතනවලින් සැපයෙන උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කළ යුතු බවට ද කාරක සභාව නිලධාරින්ට දැනුම් දුන්නේය. මෙහි දී දුරස්ථ අධ්‍යාපන ක්‍රමය මෙන්ම මාර්ග ගත ක්‍රමය මඟින් සැපයෙන උසස් අධ්‍යාපන අවස්ථා යොදා ගත හැකි අතර ,විවිධ ක්‍රමවලින් උසස් අධ්‍යාපන පාඨමාලා සැපයීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද මෙහි දී සාකච්ජා විය.
විශ්වවිද්‍යාල තුලින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා රැකියා වෙළඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සැලසුම් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන අතර සම්බන්ධිකරණයක් සහ නියාමනයක් සිදු කිරීම වෙනුවෙන් බලයලත් අධිකාරියක් ඇති කිරීමේ ඉඩකඩ සළකා බැලීම සම්බන්දව ද අවධානය යොමු කළ යුතු බව කාරක සභාව පෙන්වා දුන්නේය.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සමස්ත මිනිස් බල අවශ්‍යතාව රජය විසින් පූර්ණ අධික්ෂණය යටතේ තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම කාලින වැදගත්කමකින් යුක්ත වූවක් බව කාරක සභාවේ සභාපතිවරයා කීවේය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා,තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්‍ය සම්පත් අමරතුංග යන මහත්වරු මෙන්ම උපකුලපතිවරු ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.