ගෝලීය ඇඟලුම් වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන බංග්ලාදේශය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින හෙයින්, කෙටි කාලීනව සමහර ඇඟලුම් ඇණවුම් වලින් ප්රතිලාභ ලැබීමට ශ්‍රී ලංකාව සූදානම් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පවසයි.
බංග්ලාදේශයේ අර්බුදය නිසා ගැනුම්කරුවන් තම සැපයුම් දාම පවත්වා ගැනීමට සහ තීරණාත්මක කාලසීමාවන් සපුරාලීමට විකල්ප මූලාශ්‍ර සෙවීමට පොළඹවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව සතු කාර්යක්ෂම හා නවීන නිෂ්පාදන හැකියාවන් තුළ මෙම ඇණවුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් තාවකාලිකව පිරවීම සඳහා රටට අමතර ධාරිතාවක් ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
“ශ්‍රී ලංකාවට අනුවර්තනය වීමට ඇති හැකියාව සහ අපගේ පවතින ධාරිතාව අනුව, බංග්ලාදේශයේ තත්වය ස්ථාවර වන තුරු සමහර විදේශීය ගැනුම්කරුවන් ශ්‍රී ලංකාව දෙසට හැරෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මෙය අප මුහුණ දුන් අර්බුදයේදී අප අත්දුටු දෙයට සමාන තත්ත්වයක් බවයි මගේ අදහස. ඒත් බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට වඩා සැලකිය යුතු ලෙස විශාලයි. ඒක අති දැවැන්ත කර්මාන්තයක්. ඒ නිසා ඔවුන්ගෙන් ඉවත් වන සම්පූර්ණ ඇණවුම් පරිමාව අපට සම්පූර්ණයෙන්ම අවශෝෂණය කර ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකියි. නමුත් නිෂ්පාදනය ශ්‍රී ලංකාවට මාරු කිරීමේ පිරිවැය, ගුණාත්මකභාවය සහ තිරසාර ප්රතිලාභ ගැන ගැනුම්කරුවන් සෑහීමකට පත්වේ නම්, අපට ඒවායින් සමහරක් මධ්‍ය කාලීන සිට දිගු කාලීනව රඳවා ගත හැකියි” ලෝරන්ස් වැඩි දුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “අපගේ අවධානය මෙම අන්තර් කාලසීමාව තුළ පවතින සහ නව ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයේ විශ්වසනීය සේවාවක් ලබා දීම කෙරෙහි යොමුව තිබෙනවා. අඩුපාඩු අවම කර ගැනීමට සහ සැපයුම් දාමයේ ස්ථායීතාවයට සහාය වීමට අපි සූදානම්. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ මෙවැනි අභියෝගවලට මුහුණ දුන් අපට, එහි ඇති සංකීර්ණතා සහ දුෂ්කරතා ගැන මනාව වැටහීමක් තිබෙනවා. එසේම අපි ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිගන්නා අතර මෙම කැලඹිලි සහිත කාලයට ඉක්මන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා”