මුදලට එන්නත් විකිණීමේ ජාවාරම: සෞඛ්‍ය ඇමති පවිත්‍රා වෙබ්අඩවි වලට චෝදනා කරයි

මුදලට එන්නත් විකිණීමේ ජාවාරම: සෞඛ්‍ය ඇමති පවිත්‍රා වෙබ්අඩවි වලට චෝදනා කරයි
Spread the love

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන බවට චෝදනා කරමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන බව අපගේ අවධානයට යොමු වී ඇත.

එහිදී  එන්නත්කරණ වැඩපිළිවෙලෙහි විශ්වසනීයත්වය බිඳවැටෙන ආකාරයෙන් සහ එම ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බව ඒත්තු ගන්වන අයුරෙන් සමහර වගකීම් රහිත වෙබ් අඩවි අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සමීපතයින් හරහා මුදලට එන්නත් විකිණීමේ ජාවාරමක් පවතින බව හුවාදැක්වීමට සමාජ මාධ්‍ය ජාලා  සහ වගකීම් රහිත වෙබ් අඩවි ඔස්සේ සමහර පාර්ශවයන් සිදුකරන ද්වේශ සහගත ප්‍රචාරයන් අප හෙළා දකින අතර එවැනි පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.

නිසි ක්‍රමවේදයක් හරහා සිදුවන එන්නත්කරණ වැඩපිළිවෙල තුළින් එන්නත් මුදලට ලබාදීමේ හැකියාවක් කිසිසේත්ම නොමැති අතර කිසියම් පාර්ශවයක් විසින් කොවිඩ් – 19 රෝගය පාලනය කිරීම සඳහා වන එන්නත් මුදලට ලබාදෙන්නේ නම් ඒවා ව්‍යාජ එන්නත් වන බව මෙන්ම, එවැනි එන්නත් ලබාගැනීමෙන් වළකින ලෙස මහජනතාවට මෙයින් කාරුණිකව දැනුම් දෙමු.

එලෙසම එවැනි ව්‍යාජ එන්නත් ජාවාරම් සහ එම ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ එන්නත් සඳහා විශ්වසනීයත්වයක් ඇති කිරීමේ පවිටු අරමුණින් යුතුව හිතාමතාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගරු අමාත්‍යතුමියගේ සමීපතයින් ඈඳාගනිමින් අසත්‍ය පුවත් නිර්මාණය කරන සමහර වෙබ් අඩවි පිළිබඳව ද මේ වනවිටත් විමර්ෂණ ආරම්භ කර ඇත.

 සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ සිදුකරනු ලබන කොවිඩ් – 19 වසංගතය පාලනය සඳහා වූ එන්නත්කරණ වැඩපිළිවෙලට සියලුම මහජනතාවගේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු.