ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක් !

ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක් !
Spread the love

ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද (14) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇගයීමක් කරයි. එම සංගමයෙ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

ගෝලීයව සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇති අතර වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රචලිත Tamil Eelam Cyber Force – TECF නම් කණ්ඩායමකගේ නවතම සයිබර් ක්‍රියාකාරීත්වයක් 2021/04/30 දින අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.

ගෝලීයව සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් ලෙස මීට දින කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදයෙහි විශාලතම ඉන්ධන නල මාර්ගය වෙත එල්ලවූ Ransomware සයිබර් ප්‍රහාරය දැක්විය හැකි අතර මේ හේතුවෙන් මේ වනවිට ඇමරිකාව පුරා ඉන්ධන බෙදාහැරිම දැඩි අර්බුධයකට ලක්ව තිබේ. 

මෙවැනි සයිබර් ප්‍රහාර ඉදිරි කාල පරාසය තුල ශ්‍රී ලංකාවටද එල්ලවිය හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වාදෙන අතර විශේෂයෙන්ම මෙම සයිබර් ප්‍රහාර මේ දිනවල ශ්‍රී ලාංකික මහජනතාවට බහුලවම අත්‍යවශ්‍ය වන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි, ජනමාධ්‍ය වෙබ් අඩවි වැනි තීරණාත්මක යටිතල පහසුකම් (Critical Infrastructure) වෙත එල්ලවිය හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අගවමු.