ශ්‍රී ලංකා ධජය පාපිස්නයක – සමාජමාධ්‍ය වලින් සුපිරි ප්‍රතිචාර

ශ්‍රී ලංකා ධජය පාපිස්නයක – සමාජමාධ්‍ය වලින් සුපිරි ප්‍රතිචාර
Spread the love

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, “Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නයකට අදාළ වෙළෙඳ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වෙමින් තිබේ. මේ ආශ්‍රිතව සාමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් ගොඩ නැගී ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය මුද්‍රිත පාපිස්නයක් පිළිබඳ දැන්වීම් මෙසේ පළවී තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරන ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන ‘ඇමසොන්’ හි ය. “ශ්‍රී ලංකා ධජය ලිස්සා නොයන දොරකඩ / පිළිගැනීමේ පාපිස්ස / පලස” ලෙස නම් කර ඇති මෙම පාපිස්නය ඇමරිකානු ඩොලර් 12 කට නැතහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙදහස් පන්සියයක් පමණ මිලකට අලෙවිය සඳහා පළ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්නයකට යොදා අන්තර්ජාලයේ විකිනීමට තබා ඇති අයුරු
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පාපිස්නයකට යොදා අන්තර්ජාලයේ විකිනීමට තබා ඇති අයුරු

චීන නිෂ්පාදකයෙකු වන ෂෙන්හොං ලින් මෙය නිෂප්දනය කර ඇමේසොන් හි විකිණීමට ඉදිරිපත් කර .

මේ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනා අදහස් පළකරන්නට පටන් ගත් අතර ඉන් ඇතැමෙකු ගේ විග්‍රහය ඔස්සේ පෙන්නුම් කෙරුණේ, චීනය හා ශ්‍රී ලංකාව අතර මෑත කාලයේ ගොඩ නැගෙමින් පවතින නව මානයක සම්බන්ධතාව කෙරෙහි සමාජයේ ඇතැම් කොටස් අතර පවතින නොකැමැත්ත ය.

ෆේස්බුක් හි පළවූ එවැනි එක් පෝස්ටුවක සඳහන් වූයේ “මේ තමයි චීනය ශ්‍රී ලංකාව පිළිබඳ සිතන ආකාරය. අපි ඔවුන්ට යටත් විජිතයක් පමණයි” යනුවෙනි.

සමාජ මධ්‍යයයේ එය පිළිබඳව පලවූ අදහසක්
සමාජ මධ්‍යයයේ එය පිළිබඳව පළවූ අදහසක්

ශ්‍රී ලංකාවේ ජාතික ධජය මුද්‍රිත පාපිස්න පමණක් නොව සෙරෙප්පු හා යට ඇඟලුම් ද අන්තර්ජාලයේ අලෙවියට ඇති බව ඇතැම්හු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා ධජය මුද්‍රිත ද්‍රව්‍ය

මෙම සංවාදයට එක්වූ ඇතැමුන්, ජාතික ධජය පාපිස්නයකට යෙදීම එතරම් කලබල විය යුතු දෙයක් නොවන බවක් ද පෙන්වා දීමට උත්සාහ දරන අයුරු පෙනෙන්නට විය.

ජාතික ධජය

කෙසේවෙතත්, රටේ දැනට උද්ගතව ඇති වෙනත් අර්බුද කෙරෙහි ඇති අවධානය යටපත් කිරීම සඳහා මෙම මාතෘකාව යොදාගැනීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් ද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකන් සිය අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ. පහත දැක්වෙන ෆේස්බුක් පළකිරීම් ඊට උදාහරණ කිහිපයකි.

ජාතික ධජය - සීනි අර්බුදය

මේ අතර ශ්‍රී ලකාවේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නයක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙස, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බවය.

ඒ අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර ඇතැයි කී විදේශ කටයුතු අමාත්‍යාංශය, “ඇමසෝන් වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී තිබේ.” යනුවෙන් පැවසීය.

මේ අතර මාධ්‍ය අමතමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළේ “මෙය හිතා මතා අපේ රටේ ජාතික කොඩියට අවමන් කිරීමට හිතාමතා කරන ලද වැඩ පිළිවෙලක්ද කියලා හොයා බලන්නට ඕන. එසේ හොයා බලා ඒ නිෂ්පාදකයින්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. හිතාමතා හෝ වේවා හිතාමතා නොවේ හෝ වේවා ජාතික කොඩියක් පාපිස්සට දැම්මා.” යනුවෙනි.

ප්‍රතිචාරය

මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටියේ ජාතික ධජය හැමවිටම පූර්ණ ගෞරවයට ලක්විය යුතු, රටක සංකේතය යන්න සිය අඛණ්ඩ ස්ථාවරය වන බවය. ඇමසොන් වෙබ් අඩවියේ පළවී ඇති ශ්‍රී ලංකාවේ ජාතික ධජය සම්බන්ධ නුසුදුසු වෙළෙඳ දැන්වීමට අදාළව මතුවී ඇති සැලකිල්ල පිළිබඳ තමන් දැනුවත් බව පවසන තානාපති කාර්යාලය, විමර්ශනය හා අවශ්‍ය පියවර සඳහා අදාළ චීන බලධාරීන් වෙත එය යොමු කර ඇති බව ද කියා සිටී.

Text by bbc