සති දෙකක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි

සති දෙකක් රටම Lockdown කළ යුතු ඇයි ? – මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක හේතුව කියයි
Spread the love

කඩින් කඩ සංචරණ සීමා පැනවීම කිසිසේත් විද්‍යාත්මක හා ඵලදායී නොවන බවත් අඛණ්ඩව දින 14ක් දිවයිනටම බලපාන ආකාරයට සංචරණ සීමා (වසා දැමීම) පැනවීම කළ යුතු බව පසුගිය දා මෙරට ප්‍රමුඛ වෛද්‍ය සංගම් හතරක් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. එහිදී ඔවුන් අවධාරණය කළේ පළාත් අතර සංචරණ සීමා පැනවීම කිසිසේත් ඵලදායී නොවන බවයි.

මේ වන විට වේගයෙන් ඉහළ යන ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ හමුවේ ‘රට වසා දැමීම‘ ගැන ජනතාව අතර ද විශාල උනන්දුවක් තිබෙනවා. විපක්ෂය ද ඒ ගැන රජයට බලකරනවා.

මේ තත්ත්වය තුළ රජය වත්මන් සංචරණ සීමා මැයි 28 වැනිදා දක්වා තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට පියවර ගත්තා. ඒත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට චෝදනා තිබෙනවා.

මේ අතර ලොව පළමුවරට විද්‍යාගාර පරීක්ෂණ තුළින් සාර්ස් වෛරසය හඳුනාගැනීමේ ගෞරවය හිමිවන, (හොංකොං ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික විද්වතෙකු වන) මහාචාර්ය මලික් පීරිස් මහතා මීට දින කිහිපයකට පෙර වෘත්තීයවේදීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ සාකච්ඡාවට එක් වෙමින් කළ ප්‍රකාශයක් වෛද්‍ය වෘත්තිකයින් අතර සේම සාමාන්‍ය ජනතාව අතර ද දැඩි උනන්දුවක් ඇතිකර තිබෙනවා.

එම සාකච්ඡාවේදී මලික් පීරිස් මහතා විසින් සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්‍යාත්මක පදනම සහ අවශ්‍යතාව මනාව පැහැදිලි කළා. මේ එම පැහැදිලි කිරීමේ සිංහල පරිවර්තනයක්.

“ශ්‍රී ලංකා රජය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පසුගිය දිනවල ගත් ඇතැම් ක්‍රියාමාර්ග අපි දැක්කා. උදාහරණයක් ලෙස පළාත් අතර සංචරණය සීමා කර තිබෙනවා. ඒත් දැන් රටේ සෑම පළාතකම ආසාදිතයින් සිටිනවා. ඒ වගේම ඔබට පෙනෙනවා සෑම පළාතකම ආසාදිතයින් විශාල ලෙස වැඩි වෙන බව. පළාතකින් තවත් පළාතකයකට ජනතාව ගමන් කිරීම නැවැත්වීම මගින් කොවිඩ් වෛරසය ආසාදනය වන සංඛ්‍යාව මේ අවස්ථාවේ අඩුකිරීමට සමත් වෙන්නේ නෑ. නමුත් සමහර විට පසුිය අප්‍රේල් මාසයේ මැද භාගයේ එසේ කළා නම් එය යම් ආකාරයකට බලපාන්න තිබුණා. හැබැයි දැන් එය ප්‍රතිඵල දායක නැහැ.

ඒ වගේම මේ වන විට රට වසා දැමීම (ලොක්ඩවුන්) ගැන කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. රට වසා දැමීමකින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව නිවස තුළම රැඳී සිටීමට සැලැස්වීමයි. එවිට යම් පුද්ගලයෙක් ආසාදිතයෙක් වුණොත්, වෛරසය එක් නිවසක් තුළට පමණක් සීමා වීම තුළ වෛරසයට ඉන් එහා පැතිරෙන්න අවස්ථාවක් නැහැ. වෛරසය ආසාදනය කිරීම සඳහා පුද්ගලයින් නැතිවුණාම වෛරසය බලරහිත වෙනවා. එය මැරෙනවා. මොකද එයට දින ගණනාවක් වාතයේ නොනැසී රැඳී සිටින්න බැහැ.

ඒවගේම තමයි ලොක්ඩවුන් එකක් කොච්චර දින ගණනකට සිදුකළ යුතු ද කියන කරුණ පිටුපස විද්‍යාවක් තියෙනවා. අපි කියමු යම් පුද්ගලයෙක් ලොක්ඩවුන් එක ආරම්භක දිනයේ රෝග වාහකයෙක් කියලා. අපි දැනටමත් දන්නවා රෝගියෙකු තවත් රෝගියෙකු තවත් අයෙකුට වෛරසය බෝ කළ හැකි කාලය දින 5 -7 දක්වා වෙනවා. ඉතින් මේ රෝගියා දින තුනක ලොක්ඩවුන් එකක් පළමු දිනයේ දී රෝග වාහකයෙක් නම් ඔහු ලොක්ඩවුන් එක අවසන් වන විටත් රෝග වාහකයෙක් ම වෙනවා. ඔහු රෝග පතුරවමින් හතරවන සහ පස්වන දිනයේ දි සමාජයට යනවා. 

ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ ආසාදනය වු දිනයේ සිට රෝග ලක්ෂණ පෙන්වලා බෝ කිරීම ආරම්භ කිරීම දක්වා කාලසීමාව ගැන. ඒ සඳහා ගතවන සාමාන්‍ය කාලය දින පහක් පමණ වෙනවා. අපි හිතමු නිවසක එක් පුද්ගලයෙක් රෝග වාහකයෙක් වෙලා ඔහු පවුලේ අනිත් සාමාජිකයින්ට රෝගය බෝකරනවා. පවුලේ සාමාජිකයින් රෝග ලක්ෂණ පෙන්වලා බෝ කරන්න පටන් ගන්න දින පහක් යනවා. එසේ නම් දැන් ඔවුන් රෝගය බෝනොකරන අය බවට පත්කර ගතයුතුයි. දින පහකට තවත් දින පහක් හෝ හතක් එකතු කරගත්තහම දින 12ත්, 13ක්, 14ක් පමණ තිබිය යුතුයි.  අන්න ඒ නිසා තමයි දින තුනක ලොක්ඩවුන්වලට කළ හැක්කේ ඉතා අඩු බලපෑමක් වෙන්නේ.

මට ඇහෙන සෑම කරුණකින්ම තේරෙන්නේ සෞඛ්‍ය පද්ධතිය බිඳුම් අවස්ථාවක තියෙන්නේ. සෞඛ්‍ය කාර්යමණ්ඩල, හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන සියලු අය දැඩි ලෙස වෙහෙසට පත්වෙලා. මම හිතන්නේ අපි මේ සම්පුර්ණ ක්‍රියාදාමයේ යන්න පුළුවන් උච්චතම අවස්ථාවේ ඉන්නේ. අපිට ඉතාම ඉක්මනින් මේ වසංගත ව්‍යාප්තිය කණ්ඩනය කිරීමට අවශ්‍ය වෙලා තිබෙනවා. මොකද අපි අපේ සෞඛ්‍ය පද්ධතියට යම් අස්වැසිල්ලක් ලබාදිය යුතුයි‘‘

මේ අතර මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ද ඊයේ (22) මාධ්‍ය හමුවේ කියා සිටියේ සති දෙකක් රට වසා දැමීම මගින් මිස වත්මන් වසංගත ව්‍යාප්තිය පාලනය කළ නොහැකි බවයි.