කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා නිපැයූ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත බෙදාහැරීම යුරෝපා රටවල් කිහිපයක් විසින් නතර කරනු ලැබීමත් සමග එම එන්නත සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් අඟහරුවාදා (මාර්තු 16) රැස්වන බව වාර්තා විය.
ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පැහැදිලි කරමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අඟහරුවාදා (මාර්තු 16) මාධ්‍ය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ එන්නත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කරන බවය.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමේ සිදුවීම් ගණනාවක් යුරෝපයෙන් වාර්තා වී තිබේ.
නමුත් එය සාමාන්‍ය ජනගහනයක් තුළ අපේක්ෂා කළ හැකි මට්ටමට වඩා පහළ අගයක් ගනී.
එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරිය හා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එන්නත හා රුධිරය කැටිගැසීම අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂි නැත.
මතුවී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ද( European Medicines Agency – EMA) අඟහරුවාදා රැස්වේ.
ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත තවදුරටත් භාවිතයට ගැනෙන්නේ ද යන්න පිළිබඳ එහි තීරණය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ.
යුරෝපයේ සහ එක්සත් රාජධානියේ මිලියන 17 ක පමණ ජනතාවක් එන්නතේ මාත්‍රාවක් ලබා ඇති අතර ඉන් 40 කට අඩු ප්‍රමාණයක් වූ රුධිරය කැටිගැසීමේ අවස්ථා පසුගිය සතිය වනවිට වාර්තා වී ඇති බව ඇස්ට්‍රා සෙනෙකා සමාගම පැවසීය.
එන්නත හා මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇතැයි මතුවූ අවධානය මත ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ස්පාඤ්ඤය ඇතුළු ප්‍රමුඛ යුරෝපා රටවල එම එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කෙරිණි.
ආරක්ෂාකාරී පියවරක් වශයෙන් එම එන්නතේ ඇතැම් ඛාණ්ඩ භාවිතය නතර කිරීමට ඔස්ට්‍රියාව ඇතුළු අනෙකුත් රටවල් පියවර ගෙන තිබේ.
කෙසේවුවද තමන් තවදුරටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දෙන බව බෙල්ජියම, පෝලන්තය, චෙක් ජනරජය සහ යුක්‍රේනය පැවසූහ.
මේ අතර තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕචා, ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගත් එරට පළමු පුද්ගලයා විය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දා පැවසුවේ එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් අවම වශයෙන් දෙදෙනෙකු එන්නත ලබාගෙන දින කිහිපයකට පසු මියගියබවට වාර්තාවුවත් එම මරණ සහ එන්නතත් අතර සම්බන්ධයක් තහවුරු කරගත නොහැකි බවය.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අඟහරුවාදා කියා සිටියේ, “යුරෝපයේ රටවල් කිහිපයක මතුවී ඇති තත්ත්වයක් උඩ එම එන්නත ලබාදීම රටවල් කිහිපයක් තාවකාලිකව අත්හිටවා තිබෙනවා. එම ගැටලුව පිළිබඳව සඳහන්වන එක එන්නත් කාණ්ඩයක් පමණයි එම රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටවලා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිදු එන්නතක් ලංකාවට ලබාදීලා නෑ එම නිසා ලංකාවේ ජනතාව මෙම එන්නත ලබාගැනීම පිළිබඳව කිසිදු විදිහට බිය විය යුතු නැති බව කියා සිටිනවා. එමනිසා මෙම එන්නත් කිරීමේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක වනවා.” යනුවෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ කුමක් ද?
රුධිරය කැටිගැසීම් පිළිබඳ සිදුවීම් විමර්ශනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. එම සිදුවීම් හා එන්නත අතර සම්බන්ධයක් ඇති බවට “සාක්ෂි නැහැ” යි, එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳුදා පැවසීය.
“මේ සිදුවීම් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සම්පූර්ණ අවබෝධයක් ලබාගත් වහා එම තොරතුරු මෙන්ම දැනට ඇති නිර්දේශවලට බොහෝදුරට නොවිය හැකි වෙනස්කමක් වේ නම් මහජනයාට වහාම දැනුම් දෙනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් සඳහන් කළේය.
එන්නත දිගටම ලබාදීම සිදුවිය හැකි බව, රුධිර කැටිගැසීමේ සිදුවීම් සමාලෝචනයක යෙදෙන යුරෝපීය ඖෂධ ඒජන්සිය ද පැවසීය.
එන්නත ලබාගැනීමෙන් අත්වන වාසිය, කවර හෝ අතුරු ඵලයක් ලැබීමේ අවදානමට වඩා වැඩි බව ද එම ඒජන්සිය කියා සිටියේය.
ඇස්ට්‍රා සෙනෙකා කියානේ මොනවා ද?
එන්නත හේතුවෙන් රුධිරය කැටිගැසීමේ අවදානම ඉහළයාමක් සම්බන්ධයෙන් සාක්ෂි නැති බව ඇස්ට්‍රා සෙනෙකා සමාගම කියා සිටී.
එය සඳහන් කළේ, යුරෝපය හා එක්සත් රාජධානිය තුළ එන්නත ලැබූවන් අතරින් නහරයක රුධිර කැටියක් ඇතිවීමේ (deep-vein thrombosis – DVT) තත්ත්ව 15 ක් වාර්තා වී තිබූ අතර පෙනහළු තුළට රුධිර කැටියක් ඇතුළුවීමේ (pulmonary embolism) සිදුවීම් 22ක් වාර්තා වූ බව ය.
මෙම සංඛ්‍යා “මෙවැනි ප්‍රමාණයක ජනගහනයක් අතරේ සාමාන්‍යයෙන් ඇතිවේ යැයි අපේක්ෂා කළ හැකි ප්‍රමාණයට වඩා අඩු වන අතර බලත්‍රලාභී අනෙකුත් කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනි ම තත්ත්වයක්” බව ද පැවසීය.
“මෙතෙක් යුරෝපය තුළ වැඩිම මාත්‍රා ගණන දී ඇති එක්සත් රාජධානිය තුළ රුධිර කැටිගැසීමේ සංසිද්ධිය ඉහළ යාමක් නැති බවට අතිශයින්ම යළි තහවුරු කෙරෙන සාක්ෂි ඇත” යි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත නිපැයූ ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඇන්ඩෲ පොලාර්ඩ් සඳුදා බීබීසී සමග සඳහන් කළේය.
ෆින්ලන්තය ද “ඉතා සුපරීක්ෂාකාරී අධ්‍යයනයක්” කර ඇති අතර ඉහළ යන අවදානමක් ඉන් හඳුනාගෙන නැති බව කී ඔහු,
“මිනිසුන්ට එන්නත් නොකිරීමේ ගැටලුවක් අපට නොමැති වීම අතිශයින්ම තීරණාත්මක” යැයි ඔහු පැවසීය.
BBC