Category: සුපිරි Talks & Jokes

  • අපේ ආණ්ඩුව මැතිවරණවලට බය ආණ්ඩුවක් නෙමේ – ඇමති ප්‍රසන්න

    අපේ ආණ්ඩුව මැතිවරණවලට බය ආණ්ඩුවක් නෙමේ – ඇමති ප්‍රසන්න

    කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා රෝගීන් හදුනාගැනීමේ මධස්ථානයක් බවට පත් කර ඇති මිනුවන්ගොඩ රෝහල නවීකරණ කටයුතු පරීක්ෂා කිරීම සදහා ඊයේ (20) එම රෝහල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ඇමතිවරයා මේ බව සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    “ අද මේ  රජය මේ රෝගය පැතිර යාම වැලක්වීම සදහා කටයුතු කරන්නේ විශේෂඥ මතය අනුවයි. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් රෝග ව්‍යාප්තිය වැලැක්වීමට අප සෑම පියවරක්ම ගන්නවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. බැරිවෙලාවත් මේ වසංගතවය ලංකාවට එනකොට රනිල් – මෛත්‍රී ජෝඩුව බලයේ හිටියානම් අපේ රටට දෙවියන්ගේ පිහිට තමයි. එහෙම උනානම් රට විශාලා මහනුවර බවට පත් වෙනවා. එහෙනම් මේ වසංගතයෙන් අද ඇමරිකාවට අත්වෙලා තියෙන ඉරණම අත්වෙන්නේ අපිට .

    දැන් සමහරු ආණුඩුවට චෝදනා කරනවා ඇදිරි නීතිය ලිහිල් කිරීම ගැන. ආණ්ඩුව ඇදිරි නීතිය ක්‍රමක් ක්‍රමයෙන් ලිහිල් කරන්න ගත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මතය විමසීමෙන් පසුවයි. මොකද අපිට හැමදාම රට වහලා තියන්න බෑ. මාසයකට ආසන්න කාලයක් අප රට තුල ඇදිරි නීතිය පනවලා රෝග වසංගතය පාලනය කලා.

    දැන් අපිට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හෝ රජය විසින් වසා දමා ඇති ප්‍රදේශ වලින් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ වන විට කොරෝනා හදුනා ගැනීම සදහා පරීක්ෂණ ප්‍රමාණය වැඩි කර තිබෙනවා. ඇදිරි නීතිය නොමැති ප්‍රදේශ වල රාජ්‍ය හා පෞද්ගලික අංශ කටයුතු කල යුතු ආකාරය රජය දක්වලා තියෙනවා. රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අප ක්‍රමානූකූලව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

    අපේ ආණ්ඩුව මැතිවරණ වලට බය ආණ්ඩුවක් නෙමේ. මැතිවරණ වලට බය අය තමයි අද ඔය විවිධ හේතු දක්වමින් මැතිවරණ කල් දාන්න නාහෙන් අඩන්නේ. 88-89 භීෂණය කාලේ මළ මීනි මතින් බලයට ආවේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා. 88-89 මළ මිනී  දේශපාලනය කළේ ජනතා විමුක්ති පෙරමුණ. මැතිවරණය කියන්නේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක්. අපි හැමවිටම ඒ අයිතිය ජනතාවට ලබා දෙන්න සූදානම්.   ”

  • ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට

    ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට

    කුසල් පෙරේරා 

    මහ මැතිවරණය ආණ්ඩුවේ නායකත්වය විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලබන මස අග වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දැඩි තීන්දුවක ඇති බව, රට පුරා ඇඳිරි නීති ලිහිල් කිරීමෙන් කදිමට පෙන්වන්නකි.

    චීනයේ වූහාන් නගරය මාස 02 ට වැඩි කාලයක් පූර්ණ ලෙස වසා තැබුවාක් මෙන් මේ රට වසා තැබීමට මේ ආණ්ඩුවේ ප්‍රබලයින් එකඟ නොවූයේම ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිස්සියක් තිබුණු හෙයිනි. එබැවින් දිස්ත්‍රික් මට්ටමින් ඇඳිරි නීතිය පනවා සමාජ ආර්ථික ජීවිතය සීමා කෙරුනු පාලනයක් පවත්වා ගැනීමට පමණක් ආණ්ඩුව පියවර ගත්තේය.

    දැන් ක්‍රියාත්මක යැයි නිවේදනය කෙරෙන්නේ කෝවිඞ්-19 වසංගත පාලනයෙන් “ඉවත්වීමේ මූලෝපායක්” නොවේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ආණ්ඩුවේ “ඉවත්වීමේ මූලෝපායක්” ගැන කතා කළද, එවැනි යෙදුම් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කෙරුණු නිවේදන සතුව නැත. නිවේදනය කරනු ලැබූයේ ඇඳිරි නීතිය කලමනාකරණය කිරීමේ පිළිවෙතකි.    

    ඕනෑම සමාජයක ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ අණපනත් වලංගු වන්නේ ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටින තාක් කල් පමණි. ජනතාව අනුමත කරන්නේත් පෙනී සිටින්නේත්, අවනත වන්නේත් කවර නියෝග හා විධානයන්ටද, එය හැර වෙනත් නීතියක් රටක වලංගු වන්නේ නැත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන ආරක්ෂක පනත ආදිය උපුටා දක්වමින් ඇඳිරි නීතියෙහි නිත්‍යානුකූල හා වලංගු බව ගැන තර්ක කළද, සමස්ථ සමාජය ඇඳිරි නීතියට අනුගතවන හෙයින් තර්ක කරනවුන්ට පවා ඇඳිරි නීතියට අවනත වන්නට සිදුව ඇත. එවිට එහි නිත්‍යානුකූල බව හා වලංගු බව ඔවුන් විසින්ම සකසා හමාර කරනු ලැබේ. අද ඇඳිරි නීතිය පැනවීම හා ඉවත් කිරීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදන ගැන විමසීමකින් තොරව ජනතාව විසින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදන මගින් කෙරෙන නියෝග හා විධාන පිළිපදිනු ලබන්නේ ඒ අනුවය.  

    පාර්ලිමේන්තුවක් නැතිව, හදිසි නීති නැතිව, හමුදාව පාරට ගෙනැවිත් ඇඳිරි නීති ජනාධිපති මාධ්‍ය ඒකකය ඔස්සේ ක්‍රියාත්මක කළ වැඩ බලන තාවකාලික ආණ්ඩුවේ මැදිහත්වීම් සමාජය හමුවේ සුජාත මැදිහත්වීම්ය. එබැවින් ඇමති නියෝගය මත ආඥා පනත් සංශෝධනය කර, මෘත ශරීර ආදාහනය කිරීමට බලය අතට ගත් ආණ්ඩුවකට අභියෝග කරන්නට තරම් මේ සමාජයේ විපක්ෂයක් නොසිටි බව අමතක නොකළ යුත්තකි. මැතිවරණය පැවැත්වෙන්නේද නැද්ද යන්න තීන්දු වනු ඇත්තේද එළෙසින්ම යැයි මම විශ්වාස කරමි. අවසන් වශයෙන් මැතිවරණය තීන්දු වනු ඇත්තේ කොරෝනා වයිරසයේ පැතිරීම අනුව හා ඒ මත ආණ්ඩුවේ දේශපාලන නායකයින් කරන මැන බැලීම් අනුවය. 

    එහෙත් ඒවාට එකඟවන නොවන හැමට ඉතිරිවන ප්‍රශ්නය වනුයේ බලයක් සහිත සුපරීක්ෂණ හා නියාමන යාන්ත්‍රණයක් ප්‍රාදේශීය මට්ටම දක්වා ස්ථාපිත නොවුනු පසුබිමක මෙලෙසින් සමාජ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සමාජ අවකාශයන් ලබාදීමෙන් දෙවන කොරෝනා රැල්ලකට පාර කැපීමේ බරපතල අවදානමය. එය වඩාත් භයානක විය හැක්කේ මැතිවරණ කටයුතුද ඊට එකතු වුවහොතින්ය. 

    වයිරසයකොරෝනා වයිරසය තුරන් කළ හැක්කේ ඊට එරෙහි එන්නතක් මගින් පමණක් යැයි දැන් වෛද්‍ය හා විද්‍යා ලෝකයේ ඇති පිළිගැනුම ය. ලොව සියල්ලන්ට ලබා ගත හැකි ලෙස එවැනි සක්‍රීය එන්නතක් වාණිජමය මට්ටමින් නිෂ්පාදනය කරන්නට තව සැළකිය යුතු කාලයක් ගතවන බවද ඔවුන්ගේ නිගමනය වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ එතෙක් ප්‍රජා ව්‍යාප්තියකින් තොර, අවම මට්ටමකින් කොරෝනාව පාලනය කර ගැනීමේ පිළිවෙත් අනුගමනය කිරීම ය.   එබැවින් දැන් කතා කළ යුත්තේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සමග ඇතිවිය හැකි තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නය.

    කොරෝනා වයිරසය පැතිරීම පුද්ගල මට්ටමින් නතරකර තබා ගන්නේ කෙසේදැයි කතා කිරීමය. ඇත්තම කතාව නම්, ඇඳිරි නීතිය යටතේ මෙන් නොව, ඇඳිරි නීතිය ඉවත් කළ පසු සැළකිය යුතු සමාජ හා ආර්ථික ක්‍රියාකාරිත්වයක් තුල කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම ඉතාම අසීරු කරුණකි. ඒ සඳහා ඉල්ලා සිටින සමාජ සංයමයක් අපට නැත.   

    ඉවත්වීම ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම ගැන පැහැදිලි නිශ්චිත සැළසුමක් ආණ්ඩුවද ඉදිරිපත්කර නැත. නිවේදනයට අනුව ඇඳිරි නීතිය අප්‍රේල් 22 වන දින වනවිට සියලු දිස්ත්‍රික්කවල ලිහිල් කරනු ලැබේ. එහෙත් කොරෝනාව පැතිර ඇති රටාව අනුව ඇතැම් දිස්ත්‍රික්කයන්හි පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

    ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයට අනුව, දිස්ත්‍රික්ක 25 න් 18 ක මුළු දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේය. අනෙක් දිස්ත්‍රික්ක 07 න් 03 ක එක් පොලිස් බල ප්‍රදේශය බැගින් ඇඳිරි නීතියට යටත්කර ඇත. ඉතිරි දිස්ත්‍රික්ක 04 හි පොලිස් බල ප්‍රදේශ 21 ක ඇඳිරි නීතිය පැවැත්වෙන්නේය. ඉන් පොලිස් බල ප්‍රදේශ 11 ක් කොළඹ දිස්ත්‍රික්කයේ ය. කෙටියෙන් කිවහොත් රට පුරා පොලිස් බල ප්‍රදේශ 432 කින් 24 ක නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය අඛණ්ඩව පැවැත්වෙනු ඇත.  

    මෙය කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේදී තරමක බරපතල තත්ත්වයකි. මෙතැනින් එහාට බොහෝ දේ සිදුවනු ඇත්තේ සමාජයේ පුද්ගල වගකීම් හා හැසිරීම් අනුවය. එතෙක් පවත්වා ගත් දැඩි පාලනයෙන් ඉවත්වීමේ මූලෝපායන් සමග සාමාන්‍ය තත්ත්වයට යළි පිවිසීමේ පියවර ගත් රටවල පවා දෙවන රැල්ලක් මතුව ඇත. සිංගප්පූරුව, තායිවානය, හොංකොං ඉතා මැනවින් කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කරගත් රටවල් ලෙස සඳහන් වුනි.

    චීනය, දකුණු කොරියාව සහ ජපානය පළමු රැල්ලෙන් පසු සාර්ථකව කොරෝනා වයිරසය පාලනය කර ගත්තේ යැයි වාර්තා විය. ඒ හැම රටක්ම දැන් දෙවන රැල්ලකට හසුව ඇත. නැවත නිරෝධායන පිළිවෙත් හා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ දැඩි පියවර ගැනීමට ඔවුහු තීන්දු කරති. 

    එබැවින් අපද ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ මේ තීන්දුව සමග මැතිවරණ ක්‍රියාකාරිත්වයක්ද අමුණා ගතහොත් දෙවන කොරෝනා රැල්ලකට ගොදුරු විය හැක. එසේ නොවනු ඇතැයි කිසිවකුට සහතික දිය හැක්කේද නොවේ. එබැවින් අනෙක් රටවල අත් දැකීම් සමග ඇඳිරි නීතිය සමග පනවා ඇති ඉතාම සීමිත පාලනය වඩා විධිමත්, කාර්යක්ෂම සහ තියුණු ක්‍රියාකාරිත්වයක් සහිත සුපරීක්ෂණ හා නියාමන ප්‍රාදේශීය පාලනයකට මාරුකර ගැනීමේ අත්‍යාවශ්‍ය ඉල්ලුමක් ඇත.   

    ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංවිධානය විසින් පසුගිය සතියේ “කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමෙන් ඉවත්වීමේ මූලෝපාය” ලෙස ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ජනාධිපතිට හා සෙසු ප්‍රධානීන්ට ලබා දී තිබුණි. ඒ යෝජනාවල වැදගත් අදහස් අඩංගුව තිබිණ. වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කෙරුණු යෝජනා මාලාව එතරම්ම ප්‍රයෝජනයක් නොවනවාට අමතරව, ඔවුන්ගේ සුපුරුදු මුස්ලිම් විරෝධයත් ඊට මුහුකර තිබීමෙන් එය ඉවත දැමිය යුතුව ඇත.
    වගකීම ජනාධිපති සහ ආණ්ඩුව විසින් මේ යෝජනා දෙකම ඉවත දැමූ බවක් දැකිය හැකිය.

    එහෙත් ඒවා යෝජනා කෙරුණු පසුබිම සමග ආණ්ඩු පාලනයට හා සමාජයට පැවරෙන ප්‍රධානම හා ඉවත දැමිය නොහැකි වගකීම වනුයේ කොරෝනා දෙවන රැල්ලකට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කිරීමේ වගකීමය. ඒ සඳහාවන මූලික පියවර ගණනාවක් මෙසේ මෙහි සඳහන් කරමි. ඒවා මා දිගින් දිගටම යෝජනා කළ සහ පසුගිය මාර්තු 28 වන දින “ඬේලි මිර” පුවත් පතට ලියූ යෝජනා යළි අලුත් කර මෙහි සටහන් කිරීමකි. 

    සුපරීක්ෂණ හා නියාමන පියවර රටපුරා ක්‍රියාත්මක කිරීමේදී, 

    1. ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන පොලිස් බල ප්‍රදේශ 24 අදාල දිස්ත්‍රික්කයන්හි සමාජ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්කර වසා තැබීම එළෙසින්ම පවත්වා ගැනීම

    2. දිස්ත්‍රික් අතර ගමනා ගමනය අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවම මට්ටමින් පවත්වා ගැනීම

    3. සියලු පාසල් හා විශ්ව විද්‍යාල මැයි මස අවසානය දක්වා විවෘත නොකිරීම සහ නැවත විවෘත කිරීම මැයි මස දෙවන සතියෙන් පසු සළකා බැලීම 

    4. සිනමා ශාලා, මහජන පුස්තකාල. නෘත්‍යාගාර හා සම්මන්ත්‍රණ ශාලා මැයි අවසානය තෙක් වසා තැබීම

    5. ආගමික කටයුතු පෞද්ගලික වතාවන් ලෙස පමණක් තබා ගැනීම

    6. සියලු උත්සව සහ රැස්වීම්. මංගල සහ අවමංගල්‍ය කටයුතුද ඇතුලුව උපරිම 10 කුට සීමා කිරීම

    7. ප්‍රසිද්ධ දේශපාලන රැස්වීම් තහනම් කිරීම 

    8. රාජ්‍ය හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවා දිස්ත්‍රික්ක වලට සීමා කෙරුණු සේවා ලෙස පමණක් පවත්වා ගැනීම 

    9. රජයේ හා පෞද්ගලික සේවා ආයතන පවත්වා ගැනීම. ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අංක 62 දරණ 2020 අප්‍රේල් 18 වන දින ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව පවත්වා ගැනීම 

    10. පෞද්ගලික අංශයේ නිෂ්පාදන කම්හල් යළි ආරම්භ කිරීම. වෘත්තීය සමිති. හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශය අතර සාකච්ඡාකර එළැඹෙන එකඟතා මත පමණක් ආරම්භ කිරීම  

    ඉහත පියවර කොරෝනාව පැතිරීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිත්වය සීමා කර ගැනීමේ හා පාලනය කර ගැනීමේ පියවර වන අතර. කොරෝනාව පැතිරීම ප්‍රාදේශීය මට්ටමින් නියාමනය කිරීම හා ජනතාව නිරන්තරව දැනුවත් කිරීමේ කාර්යන් සඳහා ජාතික මට්ටමින් ජාලගත කෙරෙන යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේය.

    එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවිය යුතු යැයි මම කලෙක සිට අවධාරණය කෙරුවකි. එවැනි කාර්යාල රට පුරා 350 ට වැඩිය ඇත. ඒවායේ සේව කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2.700 ක් පමණද. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 4.300 ක් පමණද ඇත. ඔවුන් සැවොම ප්‍රජා සෞඛ්‍ය සේවා පිළිබඳව පුහුණුවක් ලැබූ නිලධාරීන්ය.   

    ඒ අනුව

    .01. කොරෝනා වයිරසය පාලනය කිරීමේ හා නියාමනය කිරීමේ ප්‍රධාන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල යැයි නිල වශයෙන් නම් කළ යුතුය. ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට විශේෂ අංකයක් සහිත දුරකතන පහසුකමක් වහා ලබාදිය යුතු අතර ඒ වෙනුවෙන් විශේෂ තොරතුරු නිලධාරියකු හෝ නිලධාරිනියක යෙදවිය යුතුය. 

    02. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුලු ඒවායේ සේවය කරන සියලු දෙනට කොරෝනා වයිරසය සම්බන්ධවත් එය පාලනය කර ගැනීම සම්බන්ධවත් විධිමත් හා කඩිනම් දින 02 ක දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත් විය යුතුය. ඒ සඳහා විවෘත නොකර ඇති වෛද්‍ය පීඨ ඇදුරන් යොදා ගත හැකිය.

    03. ග්‍රාම සේවා නිලධාරීන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා සම්බන්ධ කාර්යන්ට නිල වශයෙන් අන්‍යුක්ත කළ යුතු අතර, ඔවුන්ද ඉහත පුහුණු වැඩ සටහනට ඇතුලු කළ යුතුය.

    04. සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කොරෝනා වයිරස තොරතුරු හා දත්ත ඒකකයක් පිහිටුවිය යුතුය.

    05. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රධානීන් සියලු දෙන වෛද්‍යවරුන් වන හෙයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ ආසාදනයවීම් පරීක්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරිය යුතු අතර, සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා අවශ්‍ය පහසුකම් නොඅඩුව, නොපමාව ලබාදිය යුතුය. 

    06. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආසාදිතයින් ස්වයං නිරෝධායනට යටත් කිරීමෙන් පසු ඔවුන්ව හා ඔවුන්ගේ නිවසේ සෙසු සාමාජිකයින් දෛනිකව නිරීක්ෂණය කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකට හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට පැවරෙන වගකීමක් වන්නේය. ඒ පිළිබඳ දෛනික කෙටි වාර්තාවක් ඔවුන් තොරතුරු හා දත්ත ඒකකයට ලබා දිය යුතුය. 

    07. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තොරතුරු හා දත්ත ඒකක සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු හා දත්ත ඒකකය හා ජාලගත කළ යුතුය. ඒ අනුව ඔවුන් දෛනිකව ජාතික මට්ටමින් තත්ත්ව වාර්තාවක් නිකුත් කළ යුතුය

    08. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශයෙන් බැහැර කටයුත්තක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය විටෙක, ඒ සඳහා එම දිස්ත්‍රික්කයට සීමා කෙරුණු සහ අවශ්‍ය කාරණාවට අදාලව එක් දිනකට වලංගු විශේෂ අවසර පතක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නිවසේ එක් අයෙකුට පමණක් ලබා දිය යුතුය.    

    09. දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ද, දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරිවරයාද, රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සහ පොලිස් අධිකාරිවරයා, සෑම සතියකම නිශ්චිත එක් දිනක් දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කොරෝනා වයිරස නියාමන කමිටුව ලෙස රැස්විය යුතුය.

    ඔවුන්ගේ වගකීම වනුයේ, 

    අ.  දිස්ත්‍රික්කයේ පොදු සේවා සහ පහසුකම් පවත්වා ගැනීම සහ ඒවායේ සෞඛ්‍ය ප්‍රමිතීන් රැක ගැනීම

    ආ. ආර්ථික ක්‍රියාවලියෙහි තත්ත්වය මැන බැලීම හා වර්ධනය සඳහා ගත යුතු පියවර තීන්දු කිරීම

    ඇ. දිස්ත්‍රික්කයේ පූර්ණ ලෙස ආවරණය කෙරුණු පොලිස් බල ප්‍රදේශ ඇතොත් ඒවායේ සති පතා තත්ත්ව වාර්තාවක් ලබා ගැනීම හා එම බල ප්‍රදේශ සම්බන්ධයෙන් ගත යුතු ඊළග පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කිරීම

    ඇ. දිස්ත්‍රික් මායිම් නිසියාකාරව පාලනය කිරීම  10. මැතිවරණය පැවැත්වීමට අවශ්‍යම නම්, ආසන්න දින දෙකක් නියම කර ග්‍රාම සේවා නිලධාරි මගින් තැපැල් ඡන්ද පැවැත්විය හැකිය.

    ග්‍රා.සේ.නි කාර්යාලයට ඇතුළු වන්නට පෙර අවශ්‍ය සමාජ දුරස්ථභාවය රකිමින් ඡන්ද නියාමනය සඳහා පක්ෂ මැතිවරණ නියෝජිතයින්ට ඉඩ දිය හැකිය.   

    මෙය තව වර්ධනය කළ හැකි යැයි සිතමි. ඒ වෙනුවෙන් මෙය සමාජ මාධ්‍ය ජාලියන්හි පළ කිරීමට අදහස් කරනු ලැබූයේ මේ විරාමය ඉතා ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කලමනාකරණය කර නොගතහොත් අප දෙවැනි රැල්ලකට ගොදුරු විය හැකි හෙයින් සහ එවැන්නක් පළමු ව්‍යාප්තියට වඩා බරපතල් විය හැකි හෙයිනි.

    කුසල් පෙරේරා     

  • තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද? – අලුත් මානයක කියවීමක්

    තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද? – අලුත් මානයක කියවීමක්

    කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැකිය.

    නව යොවුන් වියෙන් (එනම් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයේම මල්වර වීමේ වයසේ සිට) ආරම්භ වන තාරුණ්‍ය නොහොත් යෞවනය වැඩිහිටියෙකු බවට පත්වනතෙක් වූ කාල පරාසය තෙක් ලෙස දැක්විය හැක. එය හැඟීම් බර ශක්තියෙන් යුත් ආශාවන් හා අපේක්ෂාවන්ගෙන් පිරිපුන් බලය හා ධාවකත්වයෙන් යුත් කාල පරිච්ඡේදයක් ලෙස ද දැක්විය හැක.

    ඉස්ලාමය තාරුණ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට ඇත. උම්මතයේ අනාගත නායකත්වය ඔවුන් තුළින් සැකසෙන අතර ධාර්මිෂ්ඨත්වය තුල රැඳී සිටීමට විශේෂ  ප්‍රයත්නයක නියැලෙන පිරිසක් ලෙස ඔවුන් ව ඉස්ලාමය දකියි. ඔවුන්ව විවිධ මාර්ගයන් වෙත ආකර්ෂණය කරන දෑ බොහොමයක් සමාජය තුල ඇති අතර ඒවායින් වැළකී සාරධර්ම සපිරි සදාචාරාත්මක පිළිවෙතක් තුල රැඳී සිටින්නට ඔවුන්ට විශාල චෛතසික අරගලයක නියැලෙන්නට සිදුව ඇත.

    තාරුණ්‍යයේ වැදගත්කම

    තාරුණ්‍යයේ වයසින් අඩුකමත් සමග අත්දැකීම් ඌන තාවක් තිබුන ද මිනිසෙකු ජීවිතයේ අත් විඳින  බොහෝ පරීක්ෂණ හා පෙළඹවීම් ආදියට මුහුණ දෙන කාලයක් ලෙස මෙය නම් කළ හැක. එය එසේ වුවද ජීවිතයේ ධෛර්යවන්ත කම, ශක්ති වන්ත කම, වැනි ගුණාංග ඇතිව කටයුතු කරමින් තම ප්‍රජාව වෙත ධනාත්මක හා ගුණාත්මක වෙනස්කම් ස්ථාපනය කිරීමට  කටයුතු කරන්නා බවට තාරුණ්‍යය පත්වෙයි. වඩාත්ම වැදගත් කාරණය වන්නේ නව යෞවනය වෙත ට පිවිසීමත් සමග ඔහු හෝ ඇය මහා කාරුණික අල්ලාහ් ඉදිරියේ තම ක්‍රියාවන් වෙනුවෙන් වගකීම් දරන්නෙකු බවට පත් වීමයි.

    විභාගයකට ඉදිරිපත් වන ශිෂ්‍යයෙකු පිලිබඳ ව මොහොතක් සිතන්න. ඔහුගේ ප්‍රශ්න පත්තරයත් සමග එයට පිලිතුරුත් ඔහුට සපයා තිබේනම් ඔහු හෝ ඇය විභාගයෙන් අසමත් විය නොහැක. තම ජීවිත විභාගය නොහොත් පරීක්ෂණය මහා කාරුණික දෙවිඳුන් විසින් මෙලෙසින් සකස් කොට දී තිබිය දීත් යමෙක් එම විභාගය අසමත් වන්නේ නම් ඔහු තරම් අවාසනාවන්ත හා බුද්ධි හීන අයෙකු තවත් සිටිය නොහැක. ඔහුගේ ජීවිත පරීක්ෂණයත් එයින් ජය ලබා ගන්නා මාර්ගයත් ඉස්ලාමය විසින් ඉතා අලංකාර අයුරින් සැමට සපයා දී ඇත.

    සැබැවින් ම මහාකාරුණික අල්ලාහ් විසින් මරණින් මතු ජීවිතයේ අසනු ලබන ප්‍රශ්න පත්තරයත් සමග පිළිතුරු ද ලබා දී ඇත. මේවා ඉතා හොඳින් දැන දැනත් ඇතැමුන් අසමත් වීම සිතා බැලිය නොහැකි තරම් අවාසනාවන්ත කමකි. මෙම ප්‍රශ්න හා පිළිතුරු පිලිබඳ ව අවධියෙන් කටයුතු කිරීමට වඩාත්ම සුදුසු කාලය තාරුන්‍යයි. එය ඔහුගේ හෝ ඇයගේ මහා කාරුණික අල්ලාහ් වෙත වූ වගකීමේ ආරම්භක කාලය හේතුවෙන්ම එය වඩාත් වැදගත් වෙයි. අවාසනාවන්තයින්ගේ ලැයිස්තුවේ සාමාජිකයෙකු නොවී ජයග්‍රහණය වෙත යොමු වුවෙකු ලෙස කටයුතු කිරීමේ ආරම්භය තාරුණ්‍යයත් සමග ඇරඹේ.

    තාරුණ්‍යය හා ඉස්ලාම්

    තාරුණ්‍යය ආශාවන්ගෙන් පිරී ඉතිරෙන කාල පරිච්ඡේදයක් යැයි පැවසීම බොහෝ දුරට නිවැරදිය. මෙම ආශාවන් විවිධ අංශ මත ගොඩනැගී තිබිය හැක. මෙම ආශාවන්ගෙන් බොහොමයක් මහාකාරුණික අල්ලාහ්ගේ මග පෙන්වීමට පටහැනි ඒවා විය හැක. තම චෛතසිකය සමග අරගලයක නියැලෙමින් මෙවන් ආශාවන් පාලනය කර ගනිමින් බියබැතියෙන් යුත් සාරධර්ම සපිරි මාවතක තම ජීවිතය සකසා ගන්නට ගන්නා වූ ප්‍රයත්නය උදෙසා මෙම ජීවිතයේදීත් මතු ජීවිතයේදීත් අති විශාල යහ විපාක මහා කාරුණික අල්ලාහ් විසින් ලබා දෙන බවට සහතික වී ඇත.

    මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) විසින් පැවසු බවට අබු හුරෛරා තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය අත්වේවා) වාර්තා කරන පරිදි, මරණින් මතු විනිශ්චය දිනයේදී මහා කාරුණික අල්ලාහ්ගේ සෙවන හැර අන් සෙවනක් නොමැති අවස්ථාවේ හත්දෙනෙකුට අල්ලාහ්ගේ සෙවන ලබාදෙන බව දක්වා ඇත.

    ඔවුන් නම්: 1. සාධාරණ හා යුක්ති සහගත පාලකයෙක් 2. මහා කාරුණික අල්ලාහ්ගේ මග පෙන්වීම් අනුව නැමදුමෙහි නියැලී වැඩුණු තරුණයෙක් 3. මස්ජිදය වෙත බැන්දියාවකින් කටයුතු කළ අයෙකු 4. මහා කාරුණික අල්ලාහ් වෙනුවෙන් එකට හමුවී වෙන්වුණු  දෙදෙනෙකු 5. උසස් තරාතිරමක අලංකාර ස්ත්‍රියක් විසින් තමන් ව වැරදි (ලිංගික) සබඳතාවක් වෙනුවෙන් ආරාධනා කළ අවස්ථාවේ “මම අල්ලාහ්ට බිය වෙමි”යි පවසා එය ප්‍රතික්ෂේප කළ තරුණයෙක් 6. ඉතා රහසිගත අයුරින් දන් දෙන තැනැත්තා. එය කෙතරම් රහසිගත දන්දීමක් ද යත් තම එක් අතකට නොදැන අනිත් අතින් දන් දීමයි. 7. අප්‍රසිද්ධ ව දෙවිඳුන් සිහිපත් කොට තම දෑසින් කඳුළු වැගිරූ තැනැත්තා.” (සහිහ් මුස්ලිම් 5:2248)   

    තවත් නබි වදනක් අනුව ආදම්ගේ දරුවන්ට ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන තෙක් විනිශ්චය දිනයේදී තම පය ඔසවන්නට නොහැකි වනු ඇතැයි මුහම්මද් තුමාණන් විසින් පවසා ඇත. මින් එක් ප්‍රශ්නයක් නම් තම තාරුණ්‍ය කෙසේ ගත කළේද යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ සෑම මිනිසෙකුම තම තාරුණ්‍ය පිළිබඳ ව කෙතරම් වගකීමකින් හා අවධානයෙන් කටයුතු කළ යුතුද යන්න නොවේද?

    මුස්ලිම් පවුලක් (දෙමව්පියන්) විසින් පහත සඳහන් කරුණු තරුණයින් වෙත ඉටුකළ යුතුව ඇත.

    1. යහපත් ආගමික ඇතිදැඩි කිරීමක් හා නිවැරදි මග පෙන්වීමක්
    2. නුතන ලෝකයේ අභියෝගයන්ට සරිලන පරිදි යහපත් අධ්‍යාපනයක් ලබා දීම
    3. යහපත් මානසික වර්ධනයක් සඳහා සුදුසු වූ ධනාත්මක නිවෙස් පරිසරයක්   
    4. ශක්තිමත් ශාරීරික වර්ධනයක් සඳහා වූ යහපත් සෞඛ්‍යමය ජීවන රටාවක්
    5. ශක්තිමත් ආධ්‍යාත්මික වර්ධනයක් සඳහා වූ කුර්ආන් හා සුන්නා පදනම් වූ දැනුම හා අධ්‍යාපන කටයුතු
    6. මුහම්මද් තුමාණන්ගේ හා සහාබාවරුන්ගේ ජීවන චරිතයෙන් දැකගත හැකි අලංකාර පුර්වාදර්ශී දැනුම ලබාදීම

    තාරුණ්‍ය වෙත පැවරෙන වගකීම්

    1. තම අධ්‍යාපන කටයුතු ඉතාමත් ම යහපත් අයුරින් කරගෙන යෑම. මෙයට පාසල් අධ්‍යාපනයත් ආගමික අධ්‍යාපනයත් අඩංගු වෙයි.
    2. තමා වෙත පැවරෙන සියළු කටයුතු ඉතාමත්ම උසස් අන්ධමින් ඉටු කිරීම හා සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රමුකයා වීමට හැකි සෑම උත්සාහයක් ම දැරීම .
    3. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව තම ජීවිතය සකස් කර ගැනීම, ඉතා උසස් සාරධර්මයන්ගෙන් හෙබි අයුරින් හා සදාචාර සම්පන්න අයුරු සියළු කටයුතු කිරීම.
    4. තම පවුලට හා සමාජයට උපරිම අයුරින් දායකත්වය ලබා දෙමින් කටයුතු කිරීම. වැඩිහිටියන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ව සොයා හැකි සියල්ල ඉටුකර දීම. කුඩා දරුවන් සම්බන්ධයෙන් ඉතා ආදරයෙන් හා සෙනෙහසින් කටයුතු කිරීම.
    5. තමන්ගේ යහළු පිරිස තෝරා ගැනීමේදී ඉතා ප්‍රවේසමින් කටයුතු කිරීම. වැරදි අයෙකු ව මිතුරෙකු ලෙස එකතු කර ගත්තා නම් ඔහුගේ වැරදි ක්‍රියාකාරකම් වෙත නැඹුරු වීමට ඇති සම්භාවිතාව ඉතා වැඩි බව අවබෝධ කර ගැනීම.
    6. තම දෙමව්පියන් හා පවුලේ සාමාජිකයින් සම්බන්ධව ඉතා ආදරයෙන් හා වගකීම් සහිත අයුරින් කටයුතු කිරීම.

    “ඔහු(අල්ලාහ්) හැර වෙනත් කිසිවෙක් නුඹලා නොනමදිය යුතු යැයි ද දෙමාපියන් සමග ඉතා යහ අයුරින් කටයුතු කළ යුතු යැයි’ද නුඹගේ පරමාධිපති (නුඹලාට) නියම කොට ඇත. නුඹ(ගේ භාරකාරත්වය යටතේ නුඹ) අබියස ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම මහළු වියට පත්වුයේ නම් එවිට ඔවුන් දෙදෙනාට ‘උෆ්’ (නම් අගෞරවයෙන් හෝ කෝපයෙන් ‘චිහ්’) යන්නෙන් (පවා) නුඹ නොපවසවූ. තවද ඔවුන් දෙදෙනාට නුඹ බැන නොවදිවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ ගෞරවනීය වදන් පවසවූ”. (අල් කුර්ආන් 17:23)   

    “අහෝ! රසුල්වරයා(ගේ පිළිවෙත) සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ මාගේ විනාශය! අහවලාව මිත්‍රයෙකු ලෙස නොගන්නට තිබුනා නොවේ ද? (අල් කුර්ආනයෙන් වූ) උපදෙස් මා වෙත පැමිණි පසු ව පවා සැබැවින් ම මොහු මා එයින් නොමග යවා ඇත යැ’යි (තම පාපතර මිතුරා අඟවා)  පවසමින් තම දෑත් සපා ගන්නා (එම විනිශ්චය) දිනය (සිහිපත් කරවූ). තවද ෂෛතාන් මිනිසාට දැඩි ද්‍රෝහියෙකු වන්නේය” (අල් කුර්ආන් 25:27-29)

    නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”. (සුනාන් තිර්මිදී) 

    ජයග්‍රාහි උම්මතයක් ගොඩ නැගීම වෙනුවෙන් ධාර්මිෂ්ට, සාරධර්මයන්ගෙන් සපිරි සදාචාර සම්පන්න තාරුණ්‍යයක් සඳහා කැපවී කටයුතු කරමු

  • කොරෝනා ගැන රජයේ ප්‍රතිපත්තිය ප්‍රසන්න පැහැදිලිකරයි

    කොරෝනා ගැන රජයේ ප්‍රතිපත්තිය ප්‍රසන්න පැහැදිලිකරයි

    කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආණ්ඩුව ඇදිරි නීතිය පනවා රටම ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ එම අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) දින පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    “ කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය කටයුතු කරන්නේ විශේෂඥ උපදෙස් අනුව මිස දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නොවේ. මේ මොහොතේ ආණ්ඩුවට වැදගත් වන්නේ වසංගතය පැතිරයාම පාලනයයි.

    ඒ සදහා ගතයුතු ගතහැකි සියලුම පියවර ගනිද්දී ජනතාව රැක බලා ගැනීමද රජයේ ප්‍රමුඛ කාර්යයක් වෙනවා. ඒ නිසයි මේ වන විට පවතින තත්වය හමුවේ ආර්ථික අපහුතාවයට පත්ව ඇති ජනතාවට රුපියල් 5000ක දීමනාවක් දෙන්න රජය කටයුතු කරන්නේ. ලක්ෂ 60 වැඩි පිරිසකට මෙම මුදල ලබා දීමට රජය කටයුතු යොදා තිබේ.

    වැඩිහිටි, ආබාධ සහිත වූවන්ට ලබා දුන් රජයේ දීමනාව මෙවර අප වැඩි කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුල මෙවර රුපියල් 5000 දීමනාවක් ගෙවීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.

    ඒ එක්කම රජයේ අරමුණ ඇදිරි නීතය හේතුවෙන් නිවෙස් වලට වී සිටින ජනතාවට හොද සැපයුම් ජාලයක් ක්‍රියාත්මක කිරීම. මේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටළු මතුවෙනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපි ඒ ගැටළු වලටද විසදුම් ලබා දෙමින් හැකි උපරිමයෙන් මේ වසංගතය පරාජය කරන්නටත් ජනතාව රැක බලා ගන්නටත් කටයුතු කරමින් සිටිනවා.

    මේක රජයේ වගකීම. අපට කොපමණ අවලාද නැගුවත් අප ඒ වගකිම නිසි ලෙස ඉටු කරනවා. මේක අපේ රට පමණක් මුහුණ දෙන තත්තවයක් නොවේ. මෙය ලෝක අර්බුධයක්. මේ මොහොතේ අප කල යුත්තේ රජයේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ උපදෙස් වලට අනුව කටයුතු කිරීමයි. එම උපදෙස් නිසි ලෙස පිළිපැද්දොත් අපට මේ වසංගතය පරාජය කල හැකියි.

    ඉදිරි සති 02 ක කාලය ඉතා තීරණාත්මක බවයි සෞඛ්‍ය අංශ මතය. මේ සති 02 තුළ අපට මේ වසංගතය මේ ආකාරයෙන් පාලනය කර ගත හැකි වුවොත් ඉදිරිය යහපත් වනු ඇති බවයි ඔවුන් කියන්නේ. මෙය රජයට පමණක් තනිව කල නොහැකියි. ජනතාවගේ සහයෝගය සියයට සීයයක්ම රජයට අවශ්‍යයි. ඒ නිසා ඉදිරි සති 02ක කාලයත් ඉවසීමෙන් කටයුතු කරන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා.”

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාද මෙහිදී කථා කලේය.

  • Covid-19 බිහි කරන දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත

    Covid-19 බිහි කරන දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත

     සුමිත් චාමින්ද

    වත්මන් අර්බුදය ගෝලීය එකකි. අනතුරට මුහුණ පා සිටින්නේ සමස්ත මානව වර්ගයාය. දුෂ්ට කොරෝනා වෛරසය මිනිසුන් විසින් ගොඩ නගන සීමා මායිම් නොතකයි; සමාජ විෂමතා නොතකයි; දේශ සීමා නොතකයි. ඒ අනුව දැන් මිනිස් වර්ගයාට තම පැවැත්ම පොදුවේ අනතුරට හෙළන ‘ගෝලීය සතුරෙකු’ අභිමුඛ වී සිටී.

    ‘ගෝලීය දේශප්‍රේමයක්’

    ඒ කොතෙක්ද යත්, තම රට අඩුවෙන් අනතුරට නිරාවරණය වී ඇතැයි පෙනුණු විට කොරෝනා වෛරසය ‘වූහාන් වෛරසය’ නැතහෙත් ‘චීන වෛරසය’ ලෙස හැඳින්වූ එක්සත් ජනපද ජනාධිපතිවරයාහට පසුව ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිමල්ලවයා වන චීන ජනාධිපති ෂී ජින් පින් සමග දුරකතන සංවාදයක නිරත වන්නට සිදුවිය.

    සාක් නායකයන්ද, යුරෝපා සංගමයේ නායකයන්ද, ජී – 07 නායකයන්ද කොරෝනා වෛරසයට එරෙහි පොදු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළහ. පණිවුඩය ඉතා පැහැදිලිය. මේ අභියෝගයට ජාතික – රාජ්‍යමය විසඳුම් හෝ ඊනියා ස්වදේශිකවාදී විසඳුම් නොමැත. ඇත්තේ ගෝලීය සහයෝගීතාවන් ඔස්සේ ගොඩ නගා ගන්නා වූත් විසඳුම්ය. ඒ අනුව, අද අවශ්‍යව ඇත්තේ ප්‍රදේශමය, ජාතිකමය, කලාපීය සහ ජාත්‍යන්තර යනාදී තලයන් ගණනාවකින් යුතුව සංවිධානය කෙරෙන ගෝලීය සාමූහික අධිෂ්ඨානයකි. අවශ්‍ය නම් එයට ‘ගෝලීය දේශප්‍රේමයක්’ කියාද කිව හැකිය.

    දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ කොරෝනා විරෝධී කාර්ය සාධක බලකාය මෙම ගෝලීය යථාර්ථය ප්‍රායෝගිකව පිළිගෙන ඇත. මේ අනුව, රටවල ගුවන් තොටුපොළවල්, වරායවල් වසා දැමීමෙන්වත් රටවල් ‘ලොක් ඩවුන්’ කිරීමෙන්වත් කිසිසේත්ම ගෝලීය සහයෝගීතාවයෙන් බැහැරවීමක් අදහස්වන්නේ නැත.

    විසඳුම ඇත්තේ තම තමන්ගේ ස්වදේශික හුදකලාවාදයන් තුළ යැයි අදහස් වන්නේද නැත. හරියට පුද්ගලයන් අතර මීටරයක දුර පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ අන්‍යොන්‍ය සහයෝගීතාව අහෝසිවීමක් අදහස් නොවන්නාක් සේ මය.

    මෙම ‘දුරස්තභාවයේ සහයෝගීතාව’ පිළිබඳ ආචාර ධර්මය පිළිනොගන්නා සියලුම ආකාරයේ ආගමිකවාදී, අරාජකවාදී සහ රොමාන්තිකවාදී ප්‍රවණතා විසින් අපව මෙහෙයවනු ලබන්නේ වඩාත් විනාශකාරී අන්තයකටය.

    සමාජ සහයෝගීතාව පවත්වා ගැනීමට නම් සමාජ දුරස්තභාවය පවත්වා ගත යුතුය

    ස්වොයි ශිෂෙක් පවසන පරිදි මේ යුගයේ සමාජ සහයෝගීතාව පවත්වා ගැනීමට නම් සමාජ දුරස්තභාවය පවත්වා ගත යුතුය. මන්දයත් අප අපගේ අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් අසල්වැසියා වෙත මෙම දුෂ්ට වෛරසය රැගෙන යාමෙන් වැළකිය යුතුය. මෙම ‘දුරස්තභාවයේ සහයෝගීතාව’ පිළිබඳ ආචාර ධර්මය පිළිනොගන්නා සියලුම ආකාරයේ ආගමිකවාදී, අරාජකවාදී සහ රොමාන්තිකවාදී ප්‍රවණතා විසින් අපව මෙහෙයවනු ලබන්නේ වඩාත් විනාශකාරී අන්තයකටය.

    ගෝලීය වශයෙන් ගත්තද තත්ත්වය එබඳුය. ඇතැම්විට ජාතිකමය වශයෙන් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා විදේශිකයන් රට තුළට පැමිණීම පාලනය කරන්නට සිදුවේ; අධීක්ෂණය කරන්නට සිදුවේ. නමුත් එය කිසිසේත්ම ස්වදේශිකත්වයේ හුදෙකලා දෘෂ්ටිවාදී ගුහාවලට රිංගීමක් ලෙස නොගත යුතුය.

    දෘෂ්‍යමානයට පෙනෙන්නට දෙය සැබෑවක් නොවේය යන්නට මෙය කදිම නිදර්ශනයකි. කෙසේ වුවත්, කොරෝනා අර්බුදය පිළිබඳ වඩා පුළුල් ප්‍රවේශයක් ගොඩ නගා ගන්නට නම්, අප පළමුවෙන් මේ දිනවල නව ජනප්‍රියත්වයක් අත්පත් කරගනිමින් තිබෙන ස්වදේශිකවාදී සහ ජාතිකවාදී අගතීන් බැහැර කළ යුතුව තිබේ. එම අගතීන් යුක්තිසහගත කෙරෙමින් පවතින්නේ තවත් මූලික දුර්මතයකිනි. එනම් ගෝලීයකරණය පිළිබඳ දුර්මතයයි. අපි ප්‍රථමයෙන් එහි ව්‍යාජත්වය පරීක්ෂා කර බලමු.

    මෙහිදී පළමුවෙන් කිවයුත්තක් නම් අර්බුදය ගෝලීය එකක් යැයි කීමෙන් එය ගෝලීයකරණය විසින් නිර්මාණය කරන ලද්දක් යැයි කිසිසේත්ම අදහස් නොවන බවයි. ගෝලීයකරණය නමැති සමකාලීන සංසිද්ධියට බොහෝ පෙර පටන් අතිශයින් දරුණු හා විනාශකාරී වසංගත ලොව පුරා ව්‍යාප්ත වී ගොස් තිබේ.

    ගෝලීයකරණ පිළිබඳ දුර්මත

    මෙහිදී පළමුවෙන් කිවයුත්තක් නම් අර්බුදය ගෝලීය එකක් යැයි කීමෙන් එය ගෝලීයකරණය විසින් නිර්මාණය කරන ලද්දක් යැයි කිසිසේත්ම අදහස් නොවන බවයි. ගෝලීයකරණය නමැති සමකාලීන සංසිද්ධියට බොහෝ පෙර පටන් අතිශයින් දරුණු හා විනාශකාරී වසංගත ලොව පුරා ව්‍යාප්ත වී ගොස් තිබේ. ක්‍රි.ව. 1346 සිට 1353 කාලපරිච්ඡේදය තුළ පැතිර ගිය ‘කළු මරණ’ (Black Death) වසංගතයෙන් චීනය, පර්සියාව, උතුරු අප්‍රිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු ලොව බොහෝ ප්‍රදේශවල ජනයා පීඩාවට පත් විය. එය කොතරම් විනාශකාරී වූයේද කිවහොත් යුරෝපීය ජනගහනයෙන් තුනෙන් එකක් පමණ මරුමුවට පත් කරන්නට සමත් විය. එම වසංගතයද ආරම්භ වූයේ යැයි සැලකෙන්නේ වත්මන් චීනය පිහිටි ප්‍රදේශයෙනි. එයින් ද බරපතළම ව්‍යසනයකට ලක්වූයේ වත්මන් ඉතාලිය සහ ස්පාඤ්ඤය පිහිටි ප්‍රදේශවල ජනයාය.

    පළමු ලෝක යුද්ධයේ නිමාවත් සමග පැතිර ගිය ඉන්ෆ්ලුවැන්සා වසංගතය නොහොත් ඊනියා ස්පාඤ්ඤ උණ රෝගයෙන් මිලියන 500ක පමණ ජනයා මරුමුවට පත්වී යැයි සැලකේ. ඉහත කී වසංගත ලොව පුරා ව්‍යාප්තවීමට අන්තර්-මහාද්වීපික වෙළෙඳාම, සේද මාවත සහ ජාතීන් අතර යුද්ධය යනාදිය බලපෑ බව සත්‍යයකි. නමුත්, ඒවා ඇතිවී, ලෝකය පුරා පැතිරී ඉමහත් විනාශයක් ඇති කළේ අප සමකාලීනව ගෝලීයකරණය යනුවෙන් හඳුන්වන සංසිද්ධියට බොහෝ පෙර බව අමුතුවෙන් කිව යුතු නැත.

    කළු මරණ වසංගතයට වගකිවයුත්තේ යුදෙව්වන්ය යන මතය ව්‍යාප්ත කොට යුරෝපය තුළ යුදෙව් සංහාරයක් ක්‍රියාත්මක කෙරුණු බව සත්‍යයකි. (මෙවන් අර්බුද ඉදිරියේ වේගයෙන් පෙරට එන ස්වදේශිකවාදී, ජාතිවාදී සහ ආගමිකවාදී ප්‍රවණතා දිවෙන්නේ එවන් අන්තයක් කරාය.) නමුත්, කළු මරණ වසංගතයෙන් පසු යුරෝපය වඩාත් විවෘත වූයේ විවෘතභාවය වෙතටය.

    දේශිකවාදී සංවෘතභාවයේ කළු කුහරවලට රිංගා යාම වෙනුවට

    වඩා වැදගත් කාරණය වන්නේ එම වසංගතවලට මුහුණ දුන් සමාජ ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස වඩ වඩාත් ස්වදේශිකවාදී සංවෘතභාවයේ කළු කුහරවලට රිංගා යාම වෙනුවට සැබැවින්ම එම ගතානුගතිකවාදී ආකෘතිවලින් පිටතට පැමිණියේය යන්නයි.

    කළු මරණ වසංගතයට වගකිවයුත්තේ යුදෙව්වන්ය යන මතය ව්‍යාප්ත කොට යුරෝපය තුළ යුදෙව් සංහාරයක් ක්‍රියාත්මක කෙරුණු බව සත්‍යයකි. (මෙවන් අර්බුද ඉදිරියේ වේගයෙන් පෙරට එන ස්වදේශිකවාදී, ජාතිවාදී සහ ආගමිකවාදී ප්‍රවණතා දිවෙන්නේ එවන් අන්තයක් කරාය.) නමුත්, කළු මරණ වසංගතයෙන් පසු යුරෝපය වඩාත් විවෘත වූයේ විවෘතභාවය වෙතටය. නිදසුනක් ලෙස ප්‍රවේණිදාසයන්ගේ තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය. ප්‍රභූ ආධිපත්‍යයේ සහ පල්ලියේ ආධිපත්‍ය දුර්වල විය. ඉන්පසුව උදාවූ දෙවන සියවස තුළ අන්තර් මහාද්වීපික වෙළෙඳාම සහ යටත්විජිතකරණය වේගයෙන් වර්ධනය විය. අර්බුදයෙන් පිටතට ආ සමාජයන් හැරුණේ ඇතුළතට වඩා පිටතටය.

    ස්පාඤ්ඤ උණ වසංගතයෙන් පසුව, පළමුව යුරෝපීය රටවල්ද පසුව (සැබැවින්ම දෙවන ලෝක යුද්ධයෙන්ද පසුව) ලොව සියලු මහාද්වීපවල රටවල්ද නව ජාත්‍යන්තර පර්යායකට ඇතුල් විය. කොරෝනා වසංගතය ඉහත කී පැරණි වසංගත තරම් විශාල එකක් නොවූව ද එයින් සමකාලීන ජාත්‍යන්තර පර්යයා විශාල සෙලවීමකට ලක් කරනු ලැබ තිබේ.

    යානීස් වරුෆතීස් ප්‍රකාශ කරන පරිදි දැනටමත් එයින් ගෝලීය ධනවාදී පර්යායට සිදු කොට තිබෙන බලපෑම අති විශාලය. නිසැකවම එය 2006 යුරෝපීය සහ එක්සත් ජනපද මූල්‍ය අර්බුදයට වඩා ප්‍රබලය. එය බොහෝ විට 1929 මහා ආර්ථික අවපාතයටද වඩා සුවිශාල අර්බුදයක් ජනිත කරන්නටද ඉඩ ඇත.

    1929 මහා අවපාතයට පසුව නාසිවාදය හිස එසවූයේ යම් සේද, 2008 අර්බුදයෙන් පසුව අන්ත – දක්ෂිණාංශික ජාතිකවාදය හිස එසවීය. (මේ ක්‍රියාවලියේ සාධනීය පාර්ශ්වය වූයේ 1929න් පසුව ස්කැන්ඩිනේවියානු රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හිසඑසවීමත්, 2008න් පසු යුරෝපා සංගමයේ පරිවාරයේ පිහිටි රටවල වාමාංශික ජනතාවාදය හිස එසවීමත්ය.) පවත්නා දේශපාලන-ආර්ථික පර්යාය සුවිශාල අර්බුදයකට ලක් කෙරෙන තත්ත්වයකදී දේශපාලන අවකාශය ග්‍රහණයට ගන්නට මාන බලන ආගමිකවාදී, ජාතිකවාදී සහ ස්වදේශිකවාදී ප්‍රවණතා ගැන අප සැලකිලිමත්ව සිටිය යුත්තේ මේ නිසාය.

    ස්වොයි ශීෂෙක් පෙන්වා දෙන පරිදි, කොරෝනා වසංගතයට පසුව ආපසු ඊනියා සාමාන්‍ය තත්ත්වයට ගමන් කිරීමක් ගැන සිතිය නොහැකිය. බොහෝවිට අප ගමන් කරනු ඇත්තේ නව තත්ත්වයක් කරාය.

    ‘විකල්ප – ගෝලීයකරණයක්’ කරා


    ස්වොයි ශීෂෙක් පෙන්වා දෙන පරිදි, කොරෝනා වසංගතයට පසුව ආපසු ඊනියා සාමාන්‍ය තත්ත්වයට ගමන් කිරීමක් ගැන සිතිය නොහැකිය. බොහෝවිට අප ගමන් කරනු ඇත්තේ නව තත්ත්වයක් කරාය. නමුත්, එම තත්ත්වය ගෝලීය සහයෝගීතාව අන්තර් සම්බන්ධය සහ සාමූහික – අධිෂ්ඨානය සහිත ‘විකල්ප – ගෝලීයකරණයක්’ කරා දිශානත වූවක් බවට පත් කරන්නේ කෙසේද? මේ මොහොතේ ලොව පුරා කොමියුනිස්ට්වාදීන්ගේ අරගලය දිශානත විය යුතු එක් නිෂ්ඨාවක් වන්නේ එයයි.

    මෙම විකල්ප ගෝලීයකරණයන් පිළිබඳ අදහස ක්‍රම ක්‍රමයෙන් වැඩී වර්ධනය වූයේ පසුගිය දශක කිහිපය තුළදී හිස එසවූ නව – ලිබරල් ගෝලීයකරණයට එරෙහි ගෝලීය සමාජ ව්‍යාපාර තුළින්මය. ධනවාදී ගෝලීයකරණයේ ප්‍රමුඛ විවේචකයකු වන සමීර් අමීන් 2019 පෙබරවාරි 15 වැනිදා “‘Socialist Economist” සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ වත්මනෙහි වාමාංශය ‘නව – ජාත්‍යන්තරවාදයක්’ කරා ගමන් කළ යුතුව ඇති බවයි.

    තමන් ධනවාදී ගෝලීයකරණයෙන් විසන්ධි වීම (de-link) පිළිබඳ අදහස ඉදිරිපත් කළේ සටන් පාඨයක් ලෙසින් බවද, ප්‍රායෝගික විකල්පය ඇත්තේ ජාත්‍යන්තරවාදය තුළ බවද ඔහු ඉතාම පැහැදිලිව අවධාරණය කරයි. විකල්ප ගෝලීයකරණයක් නොහොත් ගෝලීය විකල්පයක් හඟවමින් ශිෂෙක් පවසන්නේ කොරෝනා අර්බුදය හමුවේ ගෝලීය මහජන සෞඛ්‍යය උදෙසා වූ යාන්ත්‍රණයක් ගොඩ නැගිය යුතුව ඇති බවයි.

    අර්බුදයට මුහුණදීමේදී මෙම සියලු ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කරන සාකල්‍යවාදී ප්‍රවේශයක් වුවමනා වේ. එසේ නොවුවහොත්, සිදුවිය හැක්කේ එක් ක්ෂේත්‍රයක ගැටලු සඳහා ඉදිරිපත් කෙරෙන හදිසි විසඳුමකින් සෙසු සියලු ක්ෂේත්‍ර අර්බුදයේ කරවටක් ගිලී යාමය.

    සාකල්‍ය ප්‍රවේශ්‍ය සහ මහජන සහභාගිත්වය

    කොරෝනා අර්බුදය ගෝලීය එකක් වන තරමටම සාකල්‍ය (holistic) වූවක් ද වේ. එහි අදහස එය හුදෙක් මහජන සෞඛ්‍ය පිළිබඳ සුවිශේෂී ක්ෂේත්‍රයට පමණක් සීමා වී නොපවතින බවයි. එය ආර්ථිකමය-සමාජමය, දේශපාලනික සහ සංස්කෘතිකමය මෙන්ම සමාජ මනෝ විද්‍යාත්මක යනාදී පැතිමාන ගණනාවකින් යුක්ත අර්බුදයකි.

    එහෙයින්, එම අර්බුදයට මුහුණදීමේදී මෙම සියලු ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කරන සාකල්‍යවාදී ප්‍රවේශයක් වුවමනා වේ. එසේ නොවුවහොත්, සිදුවිය හැක්කේ එක් ක්ෂේත්‍රයක ගැටලු සඳහා ඉදිරිපත් කෙරෙන හදිසි විසඳුමකින් සෙසු සියලු ක්ෂේත්‍ර අර්බුදයේ කරවටක් ගිලී යාමය.

    මීට සති දෙකකට පමණ පෙර මා ලියූ ‘කොරෝනා වෛරසය සහ කොමියුනිස්ට්වාදය’ නමැති ලිපියෙන් වෙනත් වචනවලින් අවධාරණය කරනු ලැබුවේද එවන් සාකල්‍යවාදී ප්‍රවේශයක අවශ්‍යතාවයි. එහිදී මගේ ප්‍රධාන අවධාරණයක් වූයේ වසංගතයට පිළියමක් ලෙස ‘ලොක් ඩවුන්’ කිරීමක් ඉල්ලා සිටි බොහෝ දෙනකු එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුතු ජනයාගේ ගැටලු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවයි.

    වසංගතය පාලනය කිරීමට ඇතැම්විට දැඩි පියවර ගන්නට සිදුවිය හැකිය. නමුත් ඒ කවරක් වුවද අවිධිමත් අංශයේ සිටින සහ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනයා සඳහා ඉදිරිපත් කරන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සමග අතිනත ගෙන යා යුතුය. කෙසේ වුවත්, මෙරට පාලනාධිකාරය ගත්තේ වෙනස් මගකි. එනම්, පළමුව ඇඳිරි නීතියේ ආවරණය යටතේ ‘ලොක් ඩවුන්’ ප්‍රතිපත්තියක් අප්‍රකාශිතව ක්‍රියාත්මක කිරීමත් ඉන්පසුව නොවැළැක්විය හැකි ලෙසම උදාවූ සමාජ ආර්ථික අර්බුදය සඳහා තරමක් ප්‍රමාද වී විසඳුම් ඉදිරිපත් කිරීමත්ය.

    අර්බුදයක් ඇතිවන්නට ඉඩදී එයට විසඳුම් සෙවීම එතරම් ප්‍රඥාගෝචර ප්‍රවේශයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත්, මොඩිගේ ඉන්දියාවට වඩා නම් මේ කාරණයේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකින් තොර ‘ලොක් ඩවුන්’ ප්‍රතිපත්තියක් සඳහා හොඳම නිදසුන ඉන්දියාව විය යුතුය.

    මා පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ මහජනයා සහමුලින්ම නිවෙස්වලට කොටු කර තැබීම වෙනුවට මෙම සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක් ගොඩනගා ගන්නා ක්‍රම සෙවිය යුතුය යන්නයි. සැබැවින්ම නිරෝධායනය සඳහා යම් සැලකිය යුතු පිරිසක් නිවෙස්වලට සහ තම ගම් පළාත්වලට කොටු කර තබන්නට සිදුවේ. ඒ ගැන විවාදයක් නැත.

    සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක්

    මා පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ මහජනයා සහමුලින්ම නිවෙස්වලට කොටු කර තැබීම වෙනුවට මෙම සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක් ගොඩනගා ගන්නා ක්‍රම සෙවිය යුතුය යන්නයි. සැබැවින්ම නිරෝධායනය සඳහා යම් සැලකිය යුතු පිරිසක් නිවෙස්වලට සහ තම ගම් පළාත්වලට කොටු කර තබන්නට සිදුවේ. ඒ ගැන විවාදයක් නැත. නමුත්, ජනතාවට අවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සැපයීම, අසරණභාවයට පත් පිරිස්වලට සහාය ලබාදීම යනාදී නොයෙකුත් කටයුතු සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන පොහොසත් සමාජ ක්‍රියාකාරී ස්ථරයක් මෙරට සිටී.

    අනෙකාගේ දුකේදී පිහිට වන උසස් ‘ජාතික සම්ප්‍රදායක්’ අප සමාජය සතුය. මේ දිනවලද විවිධ දුෂ්කරතා මධ්‍යයේ එවන් කටයුතුවල යෙදෙන විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් සිටී. ජවිපෙ හා රතු තරුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, සර්වෝදය, දේශෝදය යනාදී කණ්ඩායම් ඒ අතුරින් ප්‍රමුඛය. නමුත්, ආණ්ඩුවේ ප්‍රවේශය වී ඇති බව පෙනෙන්නේ සමාජ ආරක්ෂණය පිළිබඳ ක්ෂේත්‍රය සහමුලින්ම තම ආධිපත්‍යය යටතේ තබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම බව පෙනේ.

    සන්නද්ධ හමුදා සිවිල් සේවයට කැඳවූ තත්ත්වයක් තුළ ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය එවන් ප්‍රවේශයකට වාසිසහගත වාතාවරණය සකසයි. මගේ අදහස නම් ආණ්ඩුව මහජන සහභාගිත්ව ප්‍රවේශය පෙරට ගත්තේ නම්, තත්ත්වය වඩා සාර්ථකව පාලනය කරගන්නටද හැකියාව තිබුණේය යන්නයි. නිදසුනක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ගොවි සංගම්, කුඩා වෙළෙඳුන්ගේ සංගම් සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් ඒකාබද්ධ කළ වඩා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කළ නොහැකිද? එවිට එම ක්ෂේත්‍රවල පිරිස්වලට යම් ආදායම් මාර්ගයක් ලැබේ. ඔවුන් රජයේ සහනාධාර මත යැපෙන තත්ත්වයකට වඩා එය ආර්ථිකමය ලෙස ඵලදායකය.

    පසුගියදා වාර්තා වූ පරිදි දැන් දඹුල්ලේ එළවළු අලෙවි කරගත නොහැකිව ඒවායෙහි මිල විශාල වශයෙන් පහත වැටෙමින් තිබේ. එසේ වන්නේ රට පුරාම එළවළු සඳහා විශාල ඉල්ලුමක් පැවතියදීමය. වෙළෙඳපොළ ක්‍රියාවලිය සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේදී නාගරික එළවළු අවශ්‍යතාවක් ග්‍රාමීය නිෂ්පාදනයත් අතර සම්බන්ධය ගොඩ නගන යාන්ත්‍රණය නැවත සකස් කරන්නේ කෙසේද? මේ සියල්ල තම පක්ෂ යාන්ත්‍රණය යටතටත්, රාජ්‍ය යාන්ත්‍රණය යටතටත් නතුකර ගන්නට ප්‍රයත්න දැරීමෙන් සිදුවන්නේ සමාජ-ආර්ථික අර්බුදය ඔඩුදිවීමය.

    අප මේ දැන් ගත කරන නිරෝධායන කාලපරිච්ඡේදය වනාහී එම අනාගත අර්බුදයට මුහුණදීමට අවශ්‍ය ජනතා ශක්‍යතා සහ ශක්තීන් ගොඩ නගා ගන්නා අවධියක් විය යුතු නොවේද? ආණ්ඩුව මහජනයා මත ‘ආරක්ෂක පියෙකු’ගේ භූමිකාව රඟදක්වන තාක් කල් එම ඉදිරි බරපතළ වගකීම පිළිබඳ මහජන විඥානයක් ගොඩ නැගීම අසීරු වනු ඇත.

    දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත

    අනෙක් අතින් මහජන සහභාගිත්වය පිළිබඳ කාරණය නොතකා හැරීමෙන් ඇතිවිය හැකි දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත. ඉදිරියේදී අප කරා එන්නේ දිගුකාලීන අර්බුදයකි. එසේම එය ඔහු බහුවිධ අර්බුදයකි. අප මේ දැන් ගත කරන නිරෝධායන කාලපරිච්ඡේදය වනාහී එම අනාගත අර්බුදයට මුහුණදීමට අවශ්‍ය ජනතා ශක්‍යතා සහ ශක්තීන් ගොඩ නගා ගන්නා අවධියක් විය යුතු නොවේද? ආණ්ඩුව මහජනයා මත ‘ආරක්ෂක පියෙකු’ගේ භූමිකාව රඟදක්වන තාක් කල් එම ඉදිරි බරපතළ වගකීම පිළිබඳ මහජන විඥානයක් ගොඩ නැගීම අසීරු වනු ඇත.

    නිදසුනක් ලෙස මේ දිනවල මුහුණු පොතේ පළවන ජනප්‍රිය විහිළුවක් නම් ‘ගෙදරට වී නිකම් සිටීම දැන් ජාතික මෙහෙවරක් බවට පත්ව ඇති” බවය. කෙසේ වුවත්, සැබෑ තතු ඉන් බොහෝ වෙනස්ය. ඉදිරියේදී පැමිණිය හැකි ආර්ථික අර්බුදයක ප්‍රධාන අංගයක් විය හැක්කේ ආහාර අර්බුදයයි. මේ දිනවල උග්‍රවී ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ ඉල්ලුමත්, එයට පරස්පරව පවතින නාස්තියක් විසින් මේ අර්බුදය තීව්‍ර කෙරෙන්නට ඉඩ තිබේ.

    දැනටම ආණ්ඩුව මෙම අභියෝගය හඳුනාගෙන ඇති බව පෙනුණද ඒ වෙනුවෙන් ප්‍රබල අවධාරණයක් කරන බවක් නොපෙනේ. දැන් උදාවෙමින් තිබෙන්නේ ඔබ සැබෑ දේශප්‍රේමියකු නම් අඩු තරමින් මල්පෝච්චියක එළවළු පැළයක් හෝ සිටුවිය යුතු යැයි කියන කාලයකි. එසේම මෙම අර්බුදයේ පෘථුලත්වය දෙස බැලූ විට මෙය බුද්ධිමතුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, සමාජ සහ දේශපාලන ක්‍රියාකාරීන් යනාදී සියලුම සක්‍රීය මහජන අවකාශයේ සාමාජිකයන්ට ඉතාම කාර්ය බහුල සති කිහිපයක් විය යුතු බව මගේ හැඟීමයි.

    නිදසුනක් ලෙස ආර්ථික විද්‍යාඥයන් සහ ආර්ථික විද්‍යා සිසුන් කොරෝනා අර්බුදයේ ගෝලීය සහ ජාතිකමය ආර්ථික බලපෑම ගැන මේ මොහොතේදීත් කඩිසරව අධ්‍යයනය කරමින් සිටිය යුතු නොවේද? අප වැනි දේශපාලන විද්‍යා සිසුන් මෙම අර්බුදයේ දේශපාලන ගම්‍යතා සමීපවත්, තියුණු ලෙසත්, ගැඹුරු ලෙසත් අධ්‍යයනය කරමින් සිටිය යුතු නොවේද? මෙය අප මුහුණු පොතේ උදාසීන ක්‍රීඩාවල නිරතවෙමින් සිටිය යුතු කාලපරිච්ඡේදයක් නොව (විනෝදයට එසේ කළාට කම් නැත) අපගේ අධ්‍යයන මේස මත වෙහෙසවෙමින් සිටිය යුතු කාල පරිච්ඡේදයකි.

    අවසන් වශයෙන්, වත්මන් පාලනය කොරෝනා අර්බුදයට මුහුණ දෙන සුවිශේෂී ආකාරයත්, එහි දේශපාලන ගම්‍යාතාත් පිළිබඳව මා ලියන්නට සිතා සිටියද දැනටමත් මේ ලිපිය දීර්ඝ වී ඇති බැවින් එය පසුවට ඉතිරි කර තබමි. දැනට කීමට ඇත්තේ නව පාලනාධිකාරය නමැති ෆ්රැන්කන්ස්ටයින් ඉතාම වේගයෙන් සහ කඩිසරව නිර්මාණය වෙමින් පවතින බවයි. ශීෂෙක් පැවසූ ලෙස කොරෝනා අර්බුදයෙන් පසුව අප අවදි වනු ඇත්තේ නව යථාර්ථයකටය. එම යථාර්ථය දැන් (එහිම ආවේණික ප්‍රතිවිරෝධතාද සහිතව) අපගේ දෑස් ඉදිරිපිටම නිර්මාණය වෙමින් පවතී.

    සුමිත් චාමින්ද, දේශපාලන විද්‍යා අධ්‍යනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

  • පාරිභෝගිකයින් ගසාකන වෙළෙදුන්ට එරෙහිව කඩිනම් පියවර ගන්න – ප්‍රසන්න

    පාරිභෝගිකයින් ගසාකන වෙළෙදුන්ට එරෙහිව කඩිනම් පියවර ගන්න – ප්‍රසන්න

    ඇදිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙලදුන්ගේ ඇදිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට යයි. එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය (04) පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් වරුන්ට උපදෙස් දුන්නේය.

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය සදහා පනවා ඇති ඇදිරි නීතිය අතරතුර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණ.

    අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් රජයේ උපරිම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් පිළිබදව තොරතුරු රැසක් වාර්තවා වී ඇතැයි මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි. මේ නිසා මෙවැනි වෙළදුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයිද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අත්‍යවශ්‍ය සේවා බල පත්‍රලාභීන් රජයේ උපදෙස් අනුව නියමිත මිලට හා නියමිත ප්‍රමිතියට අනුව භාණ්ඩ අලෙවි කරන්නේ දැයි පරීක්ෂා කරන ලෙසද ඇමතිවරයා  ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

    ඇදිරි නීතිය පවතින කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ සටහන 80% ක් පමණ සාර්ථක බවත් ඒ සදහා ප්‍රාදේශිය ලේකම්වරු, පළාත් පාලන නියෝජිතයන්, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් ඇතුළු සියළු ක්ෂේත්‍ර වල නිළධාරීන්ට සිය ප්‍රසාදය පල කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි සති දෙක තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින කිසිවෙකු ඉන් පිටතට නොයැවීමටත් දිස්ත්‍රික්කයෙන් පිටත සිටින කිසිවෙකු දිස්ත්‍රික්කය තුලට පැමිණීම  සීමා කිරීමටත් රජය තීරණය කර ඇති බවද කීවේය. සමූපකාරය මගින් ප්‍රාදේශිය ලේකම්වරු හරහා බල පත්‍ර ලබා දී ඇති වෙළදුන්ට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිහිටි, ආබාධ සහිත ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන් වෙත රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්, බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධ්‍ය වේදීන්, වැනි, පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති සියලුම දෙනාට මෙම දීමනාව ලබා දිය යුතු බවයි. එමෙන්ම පිට පලාත්වලින් පැමිණ මේ වන විට සිය ගම් බිම් වලට යාමට නොහැකිව කිසියම් අයෙකු ඇත්නම් ඔවුන්ටද මෙම දීමනාව ලබා දිය යුතු බව ඇමතිවරයා කීවේය. ඒ අනුව මේ සියළුම දෙනා වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමටද මෙහිදී තීරණය කෙරිණ. මෙහිදී අනාවරණය වූයේ මෙම දීමනාව ලබා දීම සදහා රුපියල් මිලියන 300 ක මුදලක් දැනටමත් ඒ සදහා වෙන් කර ඇති බවයි. එම මුදල් අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත මුදා හැර ඇති බවද දිස්ත්‍රික් සුනිල් ජයලත් මහතා මෙහිදී කියා සිටියේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් 19 වසංගතයෙන් මෙන්ම පානීය ජල ගැටලුවලටද මුහුණ දෙමින් සිටින බවයි. දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන මගින් දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රශ්ණයට මුහුණපා ඇති ජනතාවට අවශ්‍ය ජලය ලබා දීමේ වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

  • කිසිදු භේදයකින් තොරව රට බේරා ගැනීමට එක්විය යුතුයි – අගමැති

    කිසිදු භේදයකින් තොරව රට බේරා ගැනීමට එක්විය යුතුයි – අගමැති

    කොරෝන වෛරසයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සදහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදි කිසිදු භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (2) අරලියගහ මන්දිරයේ පැවැති සර්ව පක්ෂ සහ නියෝජිත සමුළුවට එක් වෙමිනි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

  • Covid 19: ලෝක නායකයින් ඇලන් ජොන්සන්ගේ අත්දැකීම්වලට කන් දෙන්න

    Covid 19: ලෝක නායකයින් ඇලන් ජොන්සන්ගේ අත්දැකීම්වලට කන් දෙන්න

    ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි.

    එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත ලයිබීරියාවේ පමණක් ‘ඉබෝලා’ වසංගතයෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පන්දහසකට ආසන්න විය.

    ලයිබිරීයාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිනිය මෙන් ම පසුව නොබෙල් සම්මානයෙන් පවා පුදනු ලැබූ එලන් ජොන්සන් සර්ලීෆ්, ඉබෝලා වසංගතය මැඩලීමේදී තමන් ලද ජයග්‍රහණ මෙන් ම තමන්ට වැරදුණ තැන් ද විස්තර කරමින්, අද එවැනි තවත් බිහිසුණු වෛරසයකින් (Covid 19) දහස් ගණනින් මහජන ජීවිත වැනසෙමින් ඇති මොහොතක මෙසේ ලෝකය අමතන්නීය.

    ලෝකවාසී මගේ ආදරණීය පුරවැසියනි!

    2014 අවුරුද්දේ ඔක්තෝබර්19 වන දා වන විට බටහිර අප්‍රිකාව මාරක ඉබෝලා වසංගතයේ දරුණු ම මොහොත කරා ගමන් ගනිමින් තිබිණි. මගේ රටේ පුරවැසියන් දෙදාහක පමණ ජීවිත ඒ වන විටත් ඉබෝලා රකුසාට ගොදුරුව අවසන්ය. ආසාදිත ජන සංඛ්‍යා දර්ශකය එකට තුනක වේගයකින් දිනපතා තවත් ඉහළ යමින් තිබිණි. අපට උදව්වීම සඳහා පුහුණු කණ්ඩායම්වල සහ ද්‍රව්‍යමය සහයෝගය දෙන ලෙස ඉල්ලමින් ලෝකය අමතා ලිපියක් ලියන්නට එදාත් මට සිදුවිය.

    එදා මම ඉල්ලා සිටියේ, ලෝකය පුරා පැතිර යාමේ අවදානමක් සහිත වසංගතයක් මගහැර ගැනීම සඳහා සමස්ත ලෝකයේ එක්සත්භාවය ප්‍රදර්ශනය කරන ලෙසය.

    අද මම මේ අවස්ථාව උපයෝගීකර ගන්නේ, අප සියලුදෙනා දරුණු උවදුරකට මුහුණ දී සිටින මේ මොහොතේ ‘එකමුතුභාවයේ වැදගත්භාවය’ (a message of solidarity) පිළිබඳ පණිවුඩය වෙනුවෙන් මගේ හඬ අවදි කිරීම සඳහාය.

    අභ්‍යන්තර අර්බුද රාශියකින් පසුව ලයිබීරියාවේ එවක පැවැති දුර්වල ආර්ථික තත්ත්වය සහ අසීරු අඩියක වූ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳව හරියට ම මෙයින් වසර හයකට ආසන්න අවස්ථාවක මගෙන් පැහැදිලි කිරීමක් සිදුවිය. ව්‍යාධිය පැතිරයාම අතින් පැවති අනතුරුදායක පසුබිම සහ බටහිර අප්‍රිකාවට සීමා කරන ලද අර්බුදය සම්බන්ධයෙන් ලෝකය ප්‍රතිචාරය පළකළ යුත්තේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් මම එදා තර්ක කිරීමක නිරත වුණෙමි.

    ම විසින් එදා පෙන්වා දෙන ලද්දේ සෞඛ්‍ය සංරක්‍ෂණය සම්බන්ධයෙන් අපට පැවරෙන සාමූහික වගකීමය.

    පාලනය කරගත නොහැකි බෝවෙන වසංගතයක්, එය පවතින ස්ථානය හෝ එය සීමා වූ කලාපය හෝ නොතකා හරිමින් එය පොදු මානව වර්ගයාට එල්ල වූ තර්ජනයක් ලෙස සැකිල්ලට ගන්නා ලෙස මම තර්ක කළෙමි.

    එදා අප මුහුණ දුන් එම ඉබෝලා වසංගතයේදී ලෝකයෙන් ශුභවාදී ප්‍රතිචාරයක් ලැබුණ අතර, අපි නිර්භීතව වසංගත සතුරාට මුහුණ දුන්නෙමු.

    එලන් ජොන්සන් සර්ලීෆ් ධවල මන්දිරයේදී (2015)
    එලන් ජොන්සන් සර්ලීෆ් ධවල මන්දිරයේදී (2015)

    මගේ ඉහත කී ඉල්ලීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ පසුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් විශාල සම්පත් තොග අපට ලැබෙන්නට විය. අපි ඉබෝලා වසංගත සතුරා එකමුතුව පරාජය කළෙමු.

    එම එකමුතු ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් වශයෙන් ඉබෝලා වෛරසය සුවපත් කළ හැකි, සාර්ථකව අත්හදා බලන ලද එන්නත් අද අප සතුව ඇත. එම ජයග්‍රහණය අත්පත් කර ගත හැකි වුණේ, ලොවපුරා විද්‍යාඥානය එකමුතු වීමේ සහයෝගී ක්‍රියාදාමයට පින් සිදු වෙන්නටය.

    එදා ම විසින් කරන ලද ආයාචනයට සමාන වූ ඉල්ලීමක් මෙම ‘කොරෝනා’ වෛරස් වසංගතයේදීත් මම මගේ සහෝදර ලෝකවාසී ප්‍රජාව වෙත අදත් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.අ

    අප ජීවත්වෙන අප්‍රිකාවේ ජාතීන් ‘කොරෝනා’ තර්ජනය අතින් එහි ඉතා නරක මොහොත කරා තවමත් පැමිණ නැති අවස්ථාවක, ම විසින් මෙවැනි ඉල්ලීමක් කරනු ලබන්නේ ඉතා ම දැඩි තේරුම් ගැනීමක් යටතේය. අප්‍රිකාවට මෙම කොරෝනා (Covid-19) වෛරසයේ ප්‍රහාරය එල්ල වීම කාලය පිළිබඳ කාරණයක් පමණි. ඊට එරෙහිව මුහුණ දීම අතින් අප්‍රිකාවේ තවමත් පවතින්නේ අඩු සූදානමකි.

    කොරෝනාවෛරසය පැතිරයමින් පවතින වේගය අවම කිරීමට, එම පැතිරයාමේ චක්‍රය අඩාළ කිරීමට සහ සහමුලින් ම උපුටා දැමීමට අප පියවර ගත යුතුව ඇත.

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් එහි පැතිරයාම ආරම්භයේදී ම අවශ්‍ය ප්‍රතිචාරය දැක්වීම අතින් අඩුපාඩු සිදුවූ බව ඉතා ම පැහැදිලිය. එම අඩුපාඩුව ආසියාවේ පටන් යුරෝපය දක්වාත්, එපමණක් නොව ඇමෙරිකාව දක්වාත් ප්‍රදර්ශනය වූ කාරණයකි.

    අනතුරේ ආරම්භක සංඥා සැලකිල්ලට නොගැනිණි. කාලය අපතේ හරිනු ලැබිණි. තොරතුරු සඟවනු ලැබිණි. අනතුරේ බිහිසුණුභාවය ලඝුකරනු ලැබිණි. ඒ සමග විශ්වාසය පළුදු විය.

    එදා මටත් වැරදුණා

    ඉබෝලා වෛරස් භීතිය, ආරම්භයේදී ඊට විසඳුමක් නොදුටු ජනතාව ස්වීය ජීවිත ආරක්ෂාව තකා පළා ගොස් සැඟවීමේ තැනකට තල්ලු කළේය. ඔවුන් රැඳී සිටියේ ප්‍රජාව අතරය.

    මම එය දනිමි. 2014 වසරේ මමත් එම සියලු ම වැරදි ක්‍රියාමාර්ග ගෙන ඇත. ලෝකයේ වෙනත් වගකිව යුත්තන් අතින් ද එම වරද සිදුවිය. එහෙත් අපි එය නිවැරදි කර ගත්තෙමු. එය අප විසින් නිවැරදි කර ගන්නා ලද්දේ සාමූහික ප්‍රයත්නයෙනි.

    කොරෝනාවෛරසය පැතිරයාමේ වේගය පාලනය කර ගැනීම සඳහා ලෝකය පුරා දේශසීමා වසා දමනු ලැබීමෙන්, අපි දැන් ඉතා තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටින්නෙමු.

    මොන්රෝවියා (Monrovia) නගරයේ මගේ නිවසේ සිට බලා හිඳින මට මේ මොහොතේ බෙහෙවින් ‘දිරිගැන්විය යුතු දේ ‘ ලෙස පෙනීයන්නේ පහත සඳහන් කරුණුය.

    එනම්, විශේෂඥතා ඥානයෙහි විවෘතභාවය සහ දැනුම, විද්‍යාත්මක සොයාගැනීම්, උපකරණ, ඖෂධ සහ පෞද්ගලික සහයෝගය ආදිය බෙදාහදා ගැනීමය.

    වෛරසය රටවල් අභ්‍යන්තරයේ පැතිරෙමින් පවතී. ජාත්‍යන්තර දේශසීමා ඔස්සේ පැතිරීමත් වැඩිවෙමින් ඇත. ප්‍රමාදය වෙනුවට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. සෑම පුද්ගලයෙකු ම, සෑම රටක් ම ඔවුන් විසින් ඉටුකරනු ලැබිය යුතු කාර්යභාරය ඉටුකළ යුතුව ඇත.

    අපි ගොඩ නැගුණේ කොහොම ද?

    ඉහත කී තේරුම් ගැනීම බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය පාලනය කර ගැනීම අතින් අපගේ සංධිස්ථානය විය.

    ලයිබීරියානු අපි ඉබෝලා වසංගතයෙන් ගොඩ ආවෙමු. සමාජයක් ලෙස ශක්තිමත් වීමු. එසේ ම Covid-19 වසංගතය වැනි වෛරස් පාලනය කර ගැනීමට ඉවහල් වෙන සෞඛ්‍ය වැඩපිළිවෙළකින් සන්නද්ධව සිටින්නෙමු.

    ලෝකවාසී අප සියලු දෙනාට ඇති මාවත එවැනි ක්‍රියාමාර්ගයක්ය යන්න මගේ දැඩි විශ්වාසය වේ.

    පුද්ගලයන් තුළ ඇති දැඩි ආත්ම ශක්තිය සම්බන්ධයෙන් මට සම්පූර්ණ විශ්වාසයක් ඇත. අර්බුදකාරී අවස්ථාවන්හි සමාජයේ සෑම ස්ථරයකින් ම නායකයන් බිහිවෙන බව මගේ විශ්වාසය ය. මෙවැනි අර්බුද කාලයන්හි අපගේ සාමූහික විශ්වාසයට සාපේක්ෂව සියලු ආකාරයේ සමාජමය සහ ආගමික බෙදීම් ද්විතීයික වේ.

    ඉදිරි සති කිහිපය තුළ ලෝකයේ අප සියලුදෙනාට වෙන්ව සිටීමට සිදුවුණත්, අප මිහිතලයේ සියලු පුරවැසියන්ගේ යහපත් ශරීර සෞඛ්‍යය වෙනුවෙන් මම යාච්ඤා කරමි.

    ”යහපත් ජීවිතයක් යනු අනුන් වෙනුවෙන් මෙහෙයක් ඉටුකරන ලද පරහිතකාමී ජීවිතයක්ය,” යන වැදගත් සත්‍යය මත අද අපේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම රැඳී පවතින බව සිහියට නගා ගන්නා ලෙස මම සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිමි.

    මෙම ලිපිය බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි. ඡායාරූප එක් කිරීම පමණක් අප විසින් කරන ලදි – සංස්කාරක

  • Covid 19: සටනේදී ලොකුම අඩුව මානව වර්ගයාට නිසි නායකත්වයක් නොමැතිකමයි

    Covid 19: සටනේදී ලොකුම අඩුව මානව වර්ගයාට නිසි නායකත්වයක් නොමැතිකමයි

    වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ණ පිළිවෙත රටවල් අතර සහයෝගීතාවයි

    නාලක ගුණවර්ධන 

    යුවාල් නොවා හරාරි (Yuval Noah Harari)

    යුවාල් නොවා හරාරි (Yuval Noah Harari) යනු අද ලෝකයේ කැපී පෙනෙන ඉතිහාසඥයෙක් මෙන්ම දාර්ශනිකයෙක්. ඊශ්‍රායලයේ හීබෲ සරසවියේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන ඔහු, ලෝක අවධානයට මුලින්ම පත්වූයේ Sapiens: A Brief History of Humankind නමින් 2014දී ලියූ විශිෂ්ට පොත නිසායි.

    සාම්ප්‍රදායික ඉතිහාසඥයන්ට වඩා බෙහෙවින් වෙනස් මානවලින් මානව ඉතිහාසය විග්‍රහ කරන ඔහු ඉන් පසු තවත් වැදගත් පොත් දෙකක් ලියා තිබෙනවා. පූර්ව ඉතිහාසයේ සහ ඉතිහාසයේ පුළුල් ආඛ්‍යානයක් ගැන ඔහු කරන විග්‍රහයන් ලොව පුරා බුද්ධි කලම්බනයන්ට තුඩු දී තිබෙනවා.

    තවමත් 44 හැවිරිදි මේ ලෝ ප්‍රකට බුද්ධිමතා, වත්මන් කොරෝනා වයිරස් අර්බුදය ගැන ලියූ අතිශයින් කාලීන ලිපියක් 2020 මාර්තු 15 වනදා TIME පුවත් සඟරාවේ පළ වුණා.

    කොරෝනා ගැන ජනප්රිය මතවාදයන් අභියෝගයට ලක් කරන සහ සමස්ත මානව සමාජයටම අලුතින් සිතන්නට ඉඩක් සපයා දෙන මේ වැදගත් ලිපිය මා සිංහලට අනුවාදය කළා. මෙය සෘජු පරිවර්තනයක් නොවන්නේ අපේ පාඨකයන්ට උදව්වන පසුබිම් තොරතුරු ඇතැම් තන්හි මා එකතු කොට ඇති නිසයි. එසේ වුවද මෙහි විග්රහ සියල්ල හරාරිගේම බව සලකන්න.

    කොරෝනා වෛරස් ආසාදනය මෙතරම් ඉක්මනට ලොව පුරා පැතිර ගියේ ගෝලීයකරණය නිසා යයි චෝදනා කරන ඇතැම් දෙනා, එයට හොඳම ප්‍රතිකර්මය ලෙස යෝජනා කරන්නේ ගෝලීයකරණය ආපසු හැරවීමයි. එනම් රටවල් අතර මානවයන් සංචරණය සීමා කිරීම, අන්තර්ජාතික වෙළඳාම අඩු කිරීම සහ හැකි නම් දේශසීමා තර කිරීම සඳහා ප්‍රාකාරයන් ගොඩ නැගීම ආදිය යෝජනා කැරෙන සැටි අප දකිනවා.

    කෙටි කාලීනව නිරෝධායනය වැනි පියවර වසංගත රෝග නිවාරණයට ප්‍රයෝජනවත් වුවත්, දිගු කාලීනව ලෝකයේ රාජ්‍යයන් එකිනෙකාගෙන් හුදකලා වුවහොත් එයින් සිදුවන්නේ ලෝක ව්‍යාප්ත ආර්ථික කඩා වැටීමක් පමණයි. රටවල් හුදකලා වූ පමණට සොබාදහමෙහි වෛරස් සහ වෙනත් විෂබීජ මර්දනය වන්නේ හෝ විනාශ වී යන්නේ නැහැ.

    කොරෝනා වෛරසය ඇතුළු අප දන්නා සහ නොදන්නා බෝවන රෝග වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ෂණ පිළිවෙත රටවල් එකිනෙකාගෙන් හුදකලා වීම නොව, රටවල් අතර සහයෝගීතාව වඩාත් පුළුල් කිරීමයි.

    ගෝලීයකරණය උත්සන්නවීමට බොහෝ කලකට පෙර පටන්ම වෛරස් රෝග වසංගත නිසා අතිවිශාල වශයෙන් මරණ සිදුවී තිබෙනවා. 14 වන සියවසේ ගුවන් යානා හෝ දැවැන්ත මගී ප්‍රවාහන නැව් නොතිබුනත්, මහමාරිය වසංගතය (Black Death) නැගෙනහිර ආසියාවේ සිට යුරෝපයට පැතිරෙන්නට ගතවූයේ දශකයක කාලයක් පමණයි.

    ගෝලීයකරණයක් සිහිනෙන් පවා නොසිතූ ලෝකයක – මහමාරිය වසංගතය (Black Death)

    එංගලන්තය මහාමාරිය වසංගතයට මුහුණ දී සිටි අයුරු.

    ගෝලීයකරණය උත්සන්නවීමට බොහෝ කලකට පෙර පටන්ම වෛරස් රෝග වසංගත නිසා අතිවිශාල වශයෙන් මරණ සිදුවී තිබෙනවා. 14 වන සියවසේ ගුවන් යානා හෝ දැවැන්ත මගී ප්‍රවාහන නැව් නොතිබුනත්, මහමාරිය වසංගතය (Black Death) නැගෙනහිර ආසියාවේ සිට යුරෝපයට පැතිරෙන්නට ගතවූයේ දශකයක කාලයක් පමණයි.

    මහමාරිය නිසා යුරෝපයේ සහ ආසියාවේ එවකට විසූ ජනයා මිලියන 75 සිට මිලියන 200 අතර සංඛ්‍යාවක් අකාලේ මියයන්නට ඇතැයි අනුමාන කරනවා. ඒ කාලේ නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගැනීම දුෂ්කරයි. එංගලන්තයේ පමණක් සෑම දස දෙනකුගෙන් සිවුදෙනකුම මහමාරියෙන් මියගියා.

    වසර 1520 වන තුරු උතුරු හා දකුණු අමෙරිකානු මහාද්වීපයන්හි වසූරිය රෝගය හමුවූයේ නැහැ. 1520 මාර්තු මාසයේ හර්නාන් කෝටෙස් නම් ස්පාඤ්ඤ ජාතික දේශ ගවේශකයා අද මෙක්සිකෝව ලෙස අප හඳුන්වන ප්‍රදේශයට මුල්වරට පැමිණියා. ඔහුගේ දූත පිරිසේ සිටි එක් අයකු හරහා නොදැනුවත්වම වසූරිය වෛරසය එහි සිටි ඇස්ටෙක්වරුන් අතර පැතිර ගියා.

    1520 දෙසැම්බර් වන විට වසංගතයක් ලෙස සමස්ත මධ්‍යම ඇමරිකාව හරහා පැතිර ගොස් එවකට සිටි ජනගහනයෙන් තුනෙන් එකක් එයින් මියගියා. ඒ යුගයේ දියුණු ප්‍රවාහන ක්‍රම කිසිවක් එහි පැවතියේ නෑ. අඩු තරමින් බක්කි කරත්තවත් නොතිබුණු මුත් වෛරසය කෙසේ හෝ ඉක්මනින් ව්‍යාප්ත වී බරපතළ හානි කළා.

    ස්පාඤ්ඤයෙන් පටන්ගෙන 1918 ජනවාරියේ සිට 1920 දෙසැම්බර් දක්වා කාලය තුළ ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය, මිලියන 500ක් දෙනා (එවකට සමස්ත ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවක්) රෝගාතුර කළ අතර, එයින් මියගිය සංඛ්‍යාව මිලියන 17 – 50 අතර සංඛ්‍යාවක් යයි අනුමාන කැරෙනවා.

    ස්පාඤ්ඤයෙන් පටන්ගෙන ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය

    H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය – 1918 දී රෝගීන්ට “නැවුම් වායු ප්‍රතිකාර” ලබා දුන් ඉන්ෆ්ලුවෙන්සා කඳවුරක්

    ස්පාඤ්ඤයෙන් පටන්ගෙන 1918 ජනවාරියේ සිට 1920 දෙසැම්බර් දක්වා කාලය තුළ ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය, මිලියන 500ක් දෙනා (එවකට සමස්ත ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවක්) රෝගාතුර කළ අතර, එයින් මියගිය සංඛ්‍යාව මිලියන 17 – 50 අතර සංඛ්‍යාවක් යයි අනුමාන කැරෙනවා.

    හරිහැටි සංඛ්‍යාලේඛන නොමැති නිසා මියගිය මුළු ගණන මිලියන 100 විය හැකි යයි සමහර පර්යේෂකයන් කියනවා. ලිඛිත ඉතිහාසයේ බිහිසුණුම වසංගතයක් ලෙස සැලකෙන මෙය, 1914-1918 අතර කාලයේ සිදු වූ පළමු වන ලෝක යුද්ධය නිසා මියගිය සංඛ්‍යාවට වැඩි ගණනකට මරු කැඳවූවා.

    ස්පාඤ්ඤ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ලෙස බහුලව හැඳින්වෙන එම ඛේදවාචකයෙන් පසු ගතවුණු සියවසක කාලය තුළ, බෝවන රෝගයක් රටවල් තුළ සහ රටින් රටට ඉක්මනට පැතිරෙන්නට ඇති හැකියාව බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. ප්‍රවාහන පහසුකම් දියුණුවීම මෙන්ම මානව ජනගහනය විශාල වශයෙන් වැඩිවීම නිසා යම් බෝවන රෝගයක් වසංගත මට්ටමට පත්වීමට ඇති හැකියාව ඉහළයි.

    මධ්‍යකාලීන යුරෝපයේ ෆ්ලොරන්ස් වැනි සශ්‍රීක නගරයක වසංගතයක් පැතිරීමට තිබූ විභවයට වඩා බෙහෙවින් වැඩි ඉඩක්, වර්තමානයේ තෝකියෝ නැතහොත් මෙක්සිකෝ නුවර වැනි මහ නගරවල (mega cities) හමුවනවා. මේ නිසා අප නිතර නිතර වසංගතවලට ගොදුරුවීමේ හැකියාවක් පවතින නමුත්, අපේ වත්මන් යථාර්ථය එය නොවෙයි. මෙයට හේතුව කුමක්ද?

    පසුගිය සියවස තුළ සැබැවින්ම සිදුව ඇත්තේ වසංගත රෝග හට ගැනීමේ ප්‍රවණතා මෙන්ම ඒවායේ බලපෑම් ද ප්‍රබල ලෙස අඩුවීමයි.

    21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත සැලකිය යුතු මරණ සංඛ්‍යාවකට හේතු වුවද, වර්තමානයේ ජීවත් වන සමස්ත මානව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස බලන විට වසංගත රෝග නිසා මියයන්නේ ඉතිහාසයේ පෙර කවරදාටත් වඩා අඩු ප්‍රතිශතයක්.

    21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත

    HIV ආසාදිතයෙක්

    21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත සැලකිය යුතු මරණ සංඛ්‍යාවකට හේතු වුවද, වර්තමානයේ ජීවත් වන සමස්ත මානව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස බලන විට වසංගත රෝග නිසා මියයන්නේ ඉතිහාසයේ පෙර කවරදාටත් වඩා අඩු ප්‍රතිශතයක්.

    විෂබීජ සහ මානව අප අතර දිගු කලක් තිස්සේ පවතින නොනවතින යුද්ධයේදී, මානව පාර්ශ්වය ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙනවා. වෛරස්වලට වඩා මානවයන් යම් ක්‍රියාවලට සමත්. මානව වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන් විද්‍යාත්මක ක්‍රමයට දත්ත එකතු කර විශ්ලේෂණය කරද්දී, වෛරස් ඇතුළු සෙසු විෂබීජවලට හැක්කේ ප්‍රජනනය හරහා තමන්ගෙ ජානමය ද්‍රව්‍ය වැඩි කිරීමට සහ ඉඳහිට ජාන වෙනස්වීම්වලට ලක්වීමට පමණක් නිසායි.
    14 වන සියවසේ මහමාරිය යුරෝපය පුරාම මහත් ව්‍යසන සිදුකරද්දී එයට හේතුව කුමක්දැයි කිසිවකුත් දැනසිටියේ නෑ. ප්‍රවේශම් වීමට කුමක් කළ හැකිද යන අවබෝධය තිබුණේද නෑ.

    මධ්‍යකාලීන යුරෝපයේ සියලුම චින්තකයන්ට බුද්ධිමතුන්ට සහ පූජකයන්ට මහමාරිය පැතිර යාමට හේතු සිතාගත නොහැකි වුවත්, අලුත්ම කොරෝනා වෛරසය චීනයේ හඳුනාගත් පසු ඒ ජානමය සංයුතිය විස්තරාත්මකව හදාරා එය ආසාදිත බව නිසැකව තහවුරු කරන්නට පරීක්ෂණයක් (testing) හදාගන්නට ගතවූයේ දෙසතියක කාලයක් පමණයි.

    මිත්‍යාව මත පදනම් වූ ලෝකයක් තුළ සිතූ දේ

    නුතන විද්‍යාත්මක දැනුම මෑත සියවස් තුන හතරක කාලය තුළ දියුණු වී ඒමට පෙර සියලුම ජන සමාජවල විශ්වාසය වූයේ රෝග ආබාධ ඇති කරන්නේ කෝපයට පත්වූ දෙවියන් විසින්, බිහිසුණු රකුසන් විසින් හෝ අයහපත් වාතය විසින් බවයි.

    ප්‍රකෘති ඇසට නොපෙනෙන අතිශයින් විවිධ වූ ක්ෂුද්‍ර ජීවී ලෝකයක් තිබෙන බව කිසිවකුත් දැන සිටියේ නැහැ. සුරංගනාවන් සහ දේවදූතයන් ගැන ප්‍රවාදයන් බොහෝ සමාජවල විශ්වාස කළත්, තනි වතුර බිංදුවක නොයෙක් ලෙඩ රෝග ඇති කළ හැකි විවිධාකාරයේ ක්ෂුද්‍ර ජීවීන් ඉමහත් සංඛ්‍යාවක් සිටින බවට ඉඟියක්වත් තිබුණේ ද නැහැ.

    එවැනි පසුබිමක මහමාරිය හෝ වසූරිය පැතිරෙන්නට ගත් විට එවකට සිටි පාලකයන්ට කළ හැකි එකම දෙය වූයේ ජනයා බේරන්නට දෙවියන්ට කන්නලව් කිරීම පමණයි. එහෙත් එය කිසි ලෙසකින් හෝ සාර්ථක උපක්‍රමයක් වූයේ නැහැ. සාමූහිකව යාඥා කරන්නට ජනයා ඒකරාශී වූ බොහෝවිට සිදුවූයේ රෝගකාරක විෂබීජ තවත් වැඩි වැඩියෙන් ජනයා අතර පැතිර යාමයි!

    පසුගිය සියවසක පමණ කාලය තුළ වෛද්‍ය විද්‍යාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙනවා. වසංගත රෝග මර්දනය සහ නිවාරණය ගැන දැනුම මෙන්ම ක්‍රමෝපායන්ද මානව ඉතිහාසයේ වෙන කිසි දිනකට වඩා අද දියුණු වී තිබෙනවා.

    පරිණාමය පිළිබඳ විද්‍යාත්මකව පිළිගත් සිද්ධාන්ත යොදා ගනිමින් නව රෝගකාරකයන් විටින් විට මතුව එන්නේ සහ පැතිරී යන්නේ ඇයි ද යන්න සාර්ථකව පහදා දීමට නවීන විද්‍යාවට හැකියි. ජාන විද්‍යාත්මක දැනුම හරහා ක්ෂුද්‍ර ජීවීන්ගේ චර්යා රටා සහ බෝවීමේ ප්‍රවණතා සියුම්ව තේරුම් ගන්නට විද්‍යාඥයන්ට පුළුවන්.

    මධ්‍යකාලීන යුරෝපයේ සියලුම චින්තකයන්ට බුද්ධිමතුන්ට සහ පූජකයන්ට මහමාරිය පැතිර යාමට හේතු සිතාගත නොහැකි වුවත්, අලුත්ම කොරෝනා වෛරසය චීනයේ හඳුනාගත් පසු ඒ ජානමය සංයුතිය විස්තරාත්මකව හදාරා එය ආසාදිත බව නිසැකව තහවුරු කරන්නට පරීක්ෂණයක් (testing) හදාගන්නට ගතවූයේ දෙසතියක කාලයක් පමණයි.

    බෝවන රෝග ඇති කරන්නේ නිශ්චිත ක්ෂුද්‍ර ජීවීන් විසින් බව දැන ගත් පසු

    බෝවන රෝග ඇති කරන්නේ නිශ්චිත ක්ෂුද්‍ර ජීවීන් විසින් බව දැන ගත් පසු, එම රෝග පාලනය සහ මර්දනය කිරීම වඩාත් ඉලක්කගතව කළ හැකි වුණා. ඉහළ ස්වස්ථතාව ( hygiene), ප්‍රතිශක්තිකරණ එන්නත්, ප්‍රතිජීවක ඖෂධ ( antibiotics) සහ දියුණු කරන ලද වෛද්‍ය සහ සෞඛ්‍ය විද්‍යාත්මක යටිතල පහසුකම් යොදා ගනිමින් අපේ ඇස් වලට නොපෙනෙන මේ රෝගකාරක සතුරන්ට එරෙහි අරගලය වඩාත් කාර්යක්ෂම ලෙස හසුරුවන්නට නූතන මානවයාට හැකිව තිබෙනවා.

    1967 තරම් මෑත කාලයේ වසූරිය රෝගය ලොව පුරා මිලියන 15 තරම් ජනකායකට වැළඳුණු අතර, එයින් මිලියන දෙකක් අකාලයේ මියගියා. එහෙත් එතැන් පටන් ගෙවුන දශකයක කාලය තුළ වසූරිය මර්දනයට ලෝකයේ රටවල් ගත් සමෝධානිත පරිශ්‍රමය නිසා සහශ්‍ර ගණනක් තිස්සේ මානව සංහතියට මහත් වධ දුන් ඒ බිහිසුණු වෛරස් රෝගය මිහිපිටින් තුරන් කිරීමට හැකි වුණා. 1979 ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කළේ වසුරිය වෛරසය තවදුරටත් ස්වභාවිකව හමුනොවන බවයි.

    ඉතිහාසයේ දෙවන පාඩම නම් වසංගතවලින් සැබෑ සුරක්ෂිත බව ලැබෙන්නේ විශ්වාස කළ හැකි අන්දමේ විද්‍යාත්මක තොරතුරු රටවල් එකිනෙකා සමග හුවමාරු කර ගැනීම සහ ඒ හරහා තහවුරු වන රටවල් අතර සහයෝගිතාව තුළින් බවයි.

    ඉතිහාසය කියා දෙන පාඩම් දෙක

    මෙම ඈත මෑත ඉතිහාසය මත පදනම් වී අලුත් කොරෝනා වෛරසය ගැන අපට කළ හැකි හොඳම බුද්ධිගෝචර විග්‍රහය කුමක්ද?

    ඉතිහාසයේ පළමුවන පාඩම් නම් තනි රටක දේශ සීමා වසා දැමීමෙන් එරට වැසියන් මෙම වෛරසයෙන් ආරක්ෂා කළ නොහැකි බවයි. ගෝලීයකරණය ව්‍යාප්ත වන්නට සියවස් ගණනකට පෙර පවා සාපේක්ෂව කෙටි කාලයක් තුළ අතිවිශාල බිම් පෙදෙසක පැතිර යාමට රෝගකාරකයන් සමත් වූ බව මධ්‍යකාලීන යුරෝපයේ ප්‍රබල අත්දැකීමයි. හුදකලාවීමෙන් රෝග කාරක පැතිරීම අවම කරගන්නට උත්සාහ කරනවා නම් මධ්‍යකාලීන යුරෝපයට නොව ගල් යුගය තරම් ඈත අතීතයට යන්නට සිදුවේවි. එය කිසිසේත්ම කළ හැකිද?

    ඉතිහාසයේ දෙවන පාඩම නම් වසංගතවලින් සැබෑ සුරක්ෂිත බව ලැබෙන්නේ විශ්වාස කළ හැකි අන්දමේ විද්‍යාත්මක තොරතුරු රටවල් එකිනෙකා සමග හුවමාරු කර ගැනීම සහ ඒ හරහා තහවුරු වන රටවල් අතර සහයෝගිතාව තුළින් බවයි.

    යම් රටක් නව රෝග වසංගතයකට එක්වරම මුහුණ දෙන විට ඒ පිළිබඳව සෞඛ්‍ය විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ඉක්මනින්ම සෙසු රටවලට හෙළි කිරීමට හැකිවිය යුතුයි. එසේ කරන රටට අහිතකර ආර්ථික ප්‍රතිවිපාක අවම විය යුතුයි. එසේ හෙළි කරනු ලබන විද්‍යාත්මක තොරතුරු සෙසු රටවලට විශ්වාස කළ හැකි විය යුතුයි. එම තොරතුරු මත පදනම් වී අදාළ රටට ඉක්මනින් සහ ඇති පමණින් ආධාර උපකාර කිරීමේ යහ සම්ප්‍රදායක් ගොඩනඟා ගත යුතුයි.

    රෝග නිවාරණ පියවර සාර්ථක වීම සඳහා එබඳුම අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අත්‍යවශ්‍යයි. දැඩි වසංගතයක් මෙල්ල කිරීමට නිරෝධායනය ( quarantine) මෙන්ම නීතියෙන් අනිවාර්ය මහා පරිමාණයේ වසා දැමීමක් හෙවත් lock-down ද අවශ්‍යයි.

    වත්මන් ලෝකය තේරුම් ගත යුතු වැදගත්ම යථාර්ථය

    චීනය නව කොරෝනා වෛරසය සමග පොර බැඳීමෙන් ලත් දැනුම සහ අත්දැකීම් සමුදාය ලොව සෙසු රටවල් සමඟ බෙදාගන්නට හැකි නම් කෙතරම් අපූරුද? මෙය සිදුවීමට නම් ඉහළ මට්ටමේ අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අවශ්‍ය වනවා.

    රෝග නිවාරණ පියවර සාර්ථක වීම සඳහා එබඳුම අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අත්‍යවශ්‍යයි. දැඩි වසංගතයක් මෙල්ල කිරීමට නිරෝධායනය ( quarantine) මෙන්ම නීතියෙන් අනිවාර්ය මහා පරිමාණයේ වසා දැමීමක් හෙවත් lock-down ද අවශ්‍යයි. එහෙත් රටවල් එකිනෙකා ඇති තරම් විශ්වාස නොකරන විට අන්තර්ජාතික වශයෙන් සමෝධානිත ලෙස මෙම රෝග නිවාරණ පියවර ගැනීම අපහසු වනවා.

    යම් රටකින් හෝ ප්‍රධාන නගරයකින් ආසාදිතයන් 100ක් හමුවූවා යයි සිතන්න. රෝගකාරකය තවත් පැතිර යාම වළක්වනු පිණිස lockdown කළ යුතු වුවත්, එසේ කළ පසු ටික දිනකින්ම බරපතළ ආර්ථික පසුබෑම ඇතිවනවා. ලෝකයේ සෙසු රටවල් තමන්ට උදව්වට එනු ඇතැයි ප්‍රබල විශ්වාසයක් තිබේ නම් මෙබඳු භාරදූර තීරණයක් නොබියව ගන්නට අදාළ ආණ්ඩුවට හැකි වනවා.

    එහෙත් ‘අපට ඇත්තේ අපේ සරණ පමණයි’ යන දුර්වල විශ්වාසය මත තීරණාත්මක රෝග නිවාරණ පියවර කල් දමමින් සිටියහොත්, කිසිවකුට පාලනය කළ නොහැකි ලෙස වසංගතය උත්සන්න වනවා.

    වසංගත රෝග පිළිබඳව වත්මන් ලෝකය තේරුම් ගත යුතු වැදගත්ම යථාර්ථය වන්නේ මෙයයි: කුමන හෝ රටක වසංගත පැතිරේ නම් එය සමස්ත මානව සංහතියටම තර්ජනයක්. මීට හේතුව වෛරස් දිගින් දිගටම පරිණාමය වෙමින් පැවතීමයි.

    සැම රටකම වෙසෙන සැම මානවයකුම වෛරස්වලින් රැකගත නොහැකි වන තාක් කල්, කිසිදු රටක කිසිදු මානවයකුට සැබෑ ආරක්ෂවක් නැති බව අප වටහා ගත යුතුයි.

    වෛරස්වලට එරෙහිව මානව අප ගෙන යන දිගුකාලීන අරගල

    COVID-19 රෝගකාරක කොරෝනා වෛරසය සලකා බලන්න. වවුලකු වැනි සත්වයෙකුගේ සිරුරෙහි මුලින්ම මේ වෛරසය බිහිවූවා යැයි දැනට පිළිගැනෙනවා. 2019 යම් අවස්ථාවක මේ නව වෛරසය මානවයකුගේ ශරීර ගතවුණා.

    මුලින් මානව දේහය එම වෛරසයට ආගන්තුක වුවත්, නොබෝ දිනකින්ම එය නව ධාරකයාගේ ( host) දේහ පරිසරයට අනුගත වනවා. මානව දේහ තුළ වෛරස් මහා පරිමාණයෙන් බෝවෙද්දි ඉඳහිට වෛරසය ජානමය විකෘති ( genetic mutations) හටගන්නවා. මේ සමහරක් නිසා වෛරසය වඩාත් ප්‍රබල ලෙසින් පැතිර යන්නටත් ඒ ආසාදිත ශරීරවලට දැඩි හානි කරන්නටත් හැකියි.

    ආසාදිත මානව දේහයන් තුළ වෛරස බිලියන සහ ටි්‍රලියන ගණනින් වැඩි වද්දී ඉඳහිට දරුණු බව වැඩි වෛරස මාදිලියක් බිහිවීමේ හැකියාව තිබෙනවා. ඔබ මේ කියවන මොහොතේත් එබඳු වූ ජාන විකෘතියක් චීනයේ, ඉරානයේ හෝ ඉතාලියේ ආසාදිත මානවයකුගේ සිරුරෙහි සිදුවෙමින් පවතිනවා පුළුවනි. එයින් වසංගතය වඩා දරුණු වුවහොත් එය බලපාන්නේ එකී රටට පමණක් නොව සමස්ත මානව සංහතියටමයි!

    සැම රටකම වෙසෙන සැම මානවයකුම වෛරස්වලින් රැකගත නොහැකි වන තාක් කල්, කිසිදු රටක කිසිදු මානවයකුට සැබෑ ආරක්ෂවක් නැති බව අප වටහා ගත යුතුයි.

    1970 දශකයේ වසූරිය මිහිමතින් තුරන් කිරීමට හැකිවූයේ සැම රටකම වෙසෙන සෑම මානවයකුම එයට එරෙහිව එන්නෙත් කොට ප්‍රතිශක්තිය ලබා දුන් නිසයි. එම ප්‍රයත්නයේදී එක් රටක් හෝ එයට සම්බන්ධ නොවුණා නම් සමස්ත මානව පවුලම තවදුරටත් වසූරියට කවදා හෝ ලක්වීමේ අවදානම සමග දිගටම ජීවත් වන්නට ඉඩ තිබුණා.

    අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකය (virus-sphere) හා අපේ මානව ලෝකය අතර සීමාවයි. මේ සීමාව ඇත්තේ බිලියන 7.8ක් පමණ වන මානව ජනගහනයේ හැම සාමාජිකයකුගේම ශරීර තුළයි.

    අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකයි

    වෛරස්වලට එරෙහිව මානව අප ගෙන යන දිගුකාලීන අරගලයේදී දේශ සීමා ආරක්ෂා කිරීම වැදගත්. එහෙත් මෙයට අදාළ හා වැදගත් වන්නේ රටවල් අතර දේශසීමා නොවෙයි. අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකය (virus-sphere) හා අපේ මානව ලෝකය අතර සීමාවයි. මේ සීමාව ඇත්තේ බිලියන 7.8ක් පමණ වන මානව ජනගහනයේ හැම සාමාජිකයකුගේම ශරීර තුළයි.

    අපේ ග්‍රහලොව හැම අස්සක මුල්ලකම වෛරස් ප්‍රභේද හා මාදිලි ඉතා විශාල ගණනක් හමුවනවා. ජානමය විකෘතිවීමෙන් නව වෛරස් නිතර බිහිවනවා. මානව-වෛරස් දේශ සීමාවේ එක් තැනෙක රැකවල් කිරීම අඩාල වුවහොත් එතැනින් මානව ලෝකයට පිවිසෙන වෛරස් සමස්ත මානව වර්ගයාටම තර්ජනයක්.

    පසුගිය සියවස පුරා විද්‍යාවේ දියුණුවත් සමග මෙම මානව-වෛරස් දේශ සීමාවේ රැකවල් ප්‍රබල ලෙස තර කිරීමට අපට හැකිව තිබෙනවා. මේ දේශසීමාවේ මහා ප්‍රාකාරය නම් හැම රටකම මහජන සෞඛ්‍ය සේවාවයි. දිවා රැයේ එය මුර කරන්නේ වෛද්‍යවරුන්, සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා වෛද්‍ය පර්යේෂකයන් විසින්.

    එහෙත් මේ වෛරස්-මානව දේශසීමාවේ දිගු කොටස් අනාරක්ෂිතයි. අවම සෞඛ්‍ය සේවාවන් හෝ නොලබන මානවයන් මිලියන සිය ගණනක් ලොව පුරා විහිද සිටිනවා. මෙසේ දේශසීමාවේ කොටස් නිරාවරණය වීම අප සියලුදෙනාම අන්තරායට පත් කරනවා.

    වසංගතයක් මර්දනය කිරීමට මහජනයා විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් පවසන දේ විශ්වාස කිරීම අවශ්‍යයි. එසේම රටවල් අතර අන්‍යොන්‍ය විශ්වාසය ද අවශ්‍යයි.

    අද ලෝකයම මහත් අර්බුදයකට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය නිසා පමණක් නොවෙයි

    අද ලෝකයම මහත් අර්බුදයකට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය නිසා පමණක් නොවෙයි. මානවයන් එකිනෙකා අතර විශ්වාසය හෝදාපාලු වී යාමේ අර්බුදයක්ද අද උග්‍රව තිබෙනවා.

    වසංගතයක් මර්දනය කිරීමට මහජනයා විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් පවසන දේ විශ්වාස කිරීම අවශ්‍යයි. එසේම රටවල් අතර අන්‍යොන්‍ය විශ්වාසය ද අවශ්‍යයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ විවිධ රටවල දේශපාලකයන් රැසක් වගකීම් විරහිතව කළ ප්‍රකාශ සහ ගත් තීරණ නිසා විද්‍යාත්මක ක්‍රමවේදය, පොදු ආයතන සහ අන්තර්ජාතික සහයෝගීතාව යන අතිශයින් වැදගත් ප්‍රපංචයන් පිළිබඳව තිස්සේ ගොඩ නැගී තිබුණු මහජන විශ්වාසය පළුදු වී තිබෙනවා.

    එහි ප්‍රතිඵලයක් ලෙස මේ අතිශයින් තීරණාත්මක මොහොතේ අර්බුද කළමනාකරණයට යොමුවීමට මානව වර්ගයාට සිදුව ඇත්තේ තම රටවැසියන්ගේ විශ්වාසය අඩු, විද්‍යාත්මකව විසඳුම් සෙවීමට අසමත් සහ සෙසු රටාල් සමග සහයෝගයෙන් වැඩ කිරීමට නොකැමති දේශපාලන නායකයන් බහුතරයක් සමගයි.

    2014 ඉබෝලා වසංගතය අවස්ථාවේ සහ 2008 ගෝලීය ආර්ථික අර්බුදය අවස්ථාවේ දේශපාලන මතවාදයන් පසෙකලා අන්තර්ජාතික සහයෝගිතාව සහ විද්‍යාත්මක දැනුම මත පදනම් වූ විසඳුම් සෙවීමට ඇමරිකා එක්සත් ජනපදය නායකත්වය ලබා දුන්නා. එහෙත් මෑත වසරවල ඇමරිකාව මෙබඳු ගෝලීය නායකත්වයක් ලබාදීමට පෙරට එන්නේ නැහැ. වර්තමානයේ ඇමරිකානු රජය ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) වැනි ඉතා වැදගත් අන්තර්ජාතික සහයෝගිතාවයන්ට ලබාදෙන අරමුදල් අඩු කොට තිබෙනවා.

    කොරෝනා වෛරස අර්බුදය මුලින් මතු වූ විට වත්මන් ඇමෙරිකානු රජය ඒ ගැන තැකීමක් නොකර පසෙකින් බලා සිටියා. මේ දක්වා ද (2020 මාර්තු 15) ගෝලීය වසංගතයට යන්න කීව ගෝලීය නායකත්වයක් සපයන්න සූදානමක් නැති පාටයි. පමා වී හෝ එබඳු උත්සාහයක් කළ ද එය ලෝකයේ සෙසු රටවල් කීයක් විශ්වාස කරයිද?

    ඇමරිකාව විසින් අතහැර දමනු ලැබූ ගෝලීය බුද්ධිමය නායකත්වයේ හිඩස පුරවන්නට වෙන කිසිදු රටක් මේ දක්වා සමත් වී ද නැහැ. විදේශිකයින් නුරුස්නා බව, අන්තර්ජාතික සහයෝගිතාවෙන් දුරස්වීම සහ අන්තවාදී ජාතිකවාදය වැනි ප්‍රවණතා පෙරමුණට පැමිණ තිබෙන අද දවසේ තනි රටවල් මට්ටමෙන් ආත්මාර්ථකාමීව සිතා ක්‍රියා කිරීම වෙනුවට මානව සංහතිය වෙනුවෙන් පොදුවේ ක්‍රියාකරන්නට නායකත්වයක් මතු වී නැහැ.

    මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය වෛරසය මර්දනය කිරීම නොව, මානව අප එකිනෙකා අතර විශ්වාසය හා සහයෝගිතාව වැඩිකර ගැනීමයි.

    මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දන ලොකුම අභියෝගය

    උදාහරණයකට යුරෝපා සංගමයේ (EU) සාමාජික රටවල් මේ අවස්ථාවේදී වසංගත රෝග මර්දනයට ඇති තරම් සූදානම් වූ බවක් හෝ සංගමයේ වඩා ඉසුරුබර රටවල් යුරෝපයේම වඩා අගහිඟකම් ඇති රටවලට ඇති තරම් උදව් කරන බවක් මේ දක්වා දැකිය නොහැකියි. දුෂ්කර අවස්ථාවක එකිනෙකාගේ පිහිටට නොඑන අන්තර්-රාජ්‍ය හවුලක ඇති ඵලය කුමක්ද?

    මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය වෛරසය මර්දනය කිරීම නොව, මානව අප එකිනෙකා අතර විශ්වාසය හා සහයෝගිතාව වැඩිකර ගැනීමයි. මානව සමාජ හා රාජ්‍යයන් එකිනෙකා සමග අසමගිව කුළල් කා ගන්නා සෑම දිනයක් පාසාම එය වෛරසයට ජයක් අත්කර දෙනවා.

    එහෙත් විවිධ මතවාදී වෙනස්කම් හා පසුගිය එදිරිවාදිකම් නොතකා, අන්තර්ජාතික සහයෝගයෙන් කොරෝනා වෛරස් අභියෝගය ජය ගන්නට ලෝකයේ ආණ්ඩුවලට දේශපාලන නායකයන්ට හැකි වුවොත්, එය මේ ආසාදනයට පමණක් නොව ඉදිරි වසංගතවලටත් එරෙහිව ආරක්ෂාව සපයන රැකවරණයක් වනු ඇති.

  • Covid 19: ධනවාදයේ සහ ගෝලීයකරණයේ සියලු මිත්‍යා ප්‍රවාද බිද වැටුණු පසු …

    Covid 19: ධනවාදයේ සහ ගෝලීයකරණයේ සියලු මිත්‍යා ප්‍රවාද බිද වැටුණු පසු …

    දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය.

    ජේෂ්ඨ කථිකාචාර්ය – ධම්ම දිසානායක

    කොරෝනා ඛේදවාචකය ට මුහුණ දී සිටින ලක්වාසී සහ ලෝක වාසී සියලු දෙනාම  සුවපත් වේවා.  ගෙදරින් එලියට යන්න එපා, කෙනෙකු ළඟ ඉන්න එපා, තම මුහුණ අල්ලන්න එපා, මට මගේ නොවන මගේම මුහුණක් ? මේ වනාහි මහා ලෝක බලවතුන් සියවස් දෙකයි තුන්කාලක් තිස්සේ වගාදිගාකරගත් අස්වැන්නය. අනෙකා තබා තමාට තම මුහුණ පවා අහිමිකොට ඇත.

    ලෝකයට වැරදුණේ කොතැනද? අපට වැරදුනේ කොතනද? ව්‍යසනය විසින් පෙන්වා දෙන නිවැරදි යහ මග කුමක්ද? ඒ මග අප පිළිපැදීමට සුදානම් නම් එවැනි ගමනක මුල කුමක්ද? එවැනි ගමනක් සඳහා ඇති කරගත යුතු හෘදසාක්ෂිය කුමක්ද? යන කරුණු   මැදි කරගෙන මෙවර ලිපිය ලියමි.

    එසේම මේ මොහොතේ මෙරට රාජ්‍යය මැදිහත් වීම සිදුවන ආකාරය පිළිබඳව ද ප්‍රශංසා කරමි. එය ප්‍රශස්තය, විධිමත් ය. ජනතා සහය ද වඩවඩාත් වර්ධනීය මට්ටමක පැවතීම අගය කළ යුතුය.   

    කුඩා කළ අප අම්මාගෙන් අසා ඇති කිසිදා අමතක නොවන “පොල් අත්ත දහ අට දේසේ කැරකුනත් වැටෙන්නේ ගහ මුලට” යන උපමාව ක්‍ෂුද්‍ර මට්ටමේ දී පවුලටත් සාර්ව මට්ටමේ දී රටටත් මේ තරමටම ගැලපෙන බව මට පසක් වුණේ, රට අලුයම ලූ කෙළ පිඩක් සේ පිළිකුල් කරන රට හැරගොස් සිටින බොහෝ ජනයා මෙන්ම වීඅයිපී සහ වීවීඅයිපී දරුවෝ පවා විශේෂ ගුවන් යානා මගින් රැකවරණ පතා අපේ රටට සැපත් වූ පුවත් දකින විට ය.

    පුදුමය කියන්නේ මේ දරුවෝ බලා සිටියේ පොල් අත්තක් සේ ඔහේ වැටෙන්නට නොවේ. මතු දිනක, හේ බා ගිය පොල් අතු වැනි මෙරට පීඩිත සහ ‘අනුවණ’ ජනයාගේ නගර ගම් නියංගම් මත හෙණයක් සේ පතිත වන්නටය. පතිත වී තම මා පිය උරුමයෙන් එන පාලක කරුමයෙන් ඒ ජනතාව පෙලන්නට ය. හැබැයි දැන් ඒ හැමෝට ම වැඩ වැරදී ගහ මුලටම  වැටී ඇත. ඒ කොරෝනා නිසා ය. 

    මෙරට අධ්‍යාපන, සෞඛ්‍යය, සහ ප්‍රවාහනය යන තීරණාත්මක අමාත්‍යංශවල වයස අවුරුදු අසූ නවයකි. නමුත් මෙරට සාමාන්‍ය ජනයාගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සහ ප්‍රවාහනයට අදාළ යටිතළ සහ සේවා පහසුකම් තවමත් නිසි ලෙස සහ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කොට නැත, පරිපූර්ණ කොට නැත.

    මා මේ උත්සාහ කරන්නේ මේ මොහොතේ ඉහළ මට්ටමක පවතින රාජ්‍ය මැදිහත්වීම අවතක්සේරු කිරීමට නොව පාඩමක් කියා දීමට ය.  

    මෙරට ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාලකයින්ගෙන් සියයට අනුවකගේ පමණ දරුවන් අධ්‍යාපනය ලැබූයේ සහ ලබන්නේ විදේශීය අධ්‍යාපන ආයතනවල හෝ විදේශවල බවට පසු ගිය දිනවල ලංකාවට ආ වීවීඅයිපී සහ වීඅයිපී දරුවෝ උදාහරණ ය. ඉතින් මේ රටේ අධ්‍යාපනය අසූ නව අවුරුදු පාලකයින්ට ඇමතිකම් සහ නිලධාරීකම් නඩත්තු කරන පාලන කලාපයක් හෝ වැයික්කියක් මිස වඩා දියුණු ස්වදේශික මානුෂීය කලාපයක් කිරීමට අවැසි ජාතික හෘදසාක්ෂියක් ලැබීමට ඔවුන්ගේ යටිහිත සහ පවුල ඉඩ දෙන්නේ නැත.

    ඉහළ පාලක-නිලධාරී-ව්‍යාපාරික පැලැන්තිය තම සෞඛ්‍ය පහසුකම් සලසා ගත්තේ සහ සලසා ගන්නේ ද මෙරට මිළ අධික වාණිජ රෝහල්වලින් හෝ විදේශවල ඇති මවුන්ට් එලිසබෙත් වර්ගයේ රෝහල්වලින් ය. ඉතින් එහෙව් අසූ නව අවුරුදු පාලකයින්ට මෙරට ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික සෞඛ්‍යයට අදාළ රෝහල් සහ අනෙකුත් අදාළ පහසුකම් දියුණු කිරීමට හිත දෙන ජාතික හෘදසාක්ෂියක් ඇති නොවීම ඔවුනගේ පැත්තෙන් බලන විට ඉතාම සාධාරණ ය.  

    මෙරට පාලකයින් ව්‍යාපාරිකයින් සහ බලවත් නිලධාරීන් අන් සියල්ලට ම වඩා ප්‍රවර්ධනය කලේ සහ කරන්නේ මහාචාර්ය සුමනසිරි ලියනගේ කියනාකාරයේ “ බොරු ෂෝක් පරිභෝජනවාදය” ය. මා දකින ආකාරයට ගෝලීයකරණය පසු පස්සේ යන ‘ලෝකයම යන දිහාවට සහ කියන දිහාවට ම අපිත් ගමනේ යා’ ආකාරයේ ආර්ථික-සමාජ ක්‍රමයක්ය.

    ඇත්තටම අප වැනි රටවල ආර්ථික ක්‍රමයක් නැත. ඇත්තේ ගෝලීය ධනවාදයට ගැට ගැසූ ගැති ආර්ථික ක්‍රියාවලියක් සහ ගෝලීය වෙළඳපොලට ගැටගැසූ, ඊට ගැති, සතිපොලක් වැනි තැරව්කාර වෙළඳපොළ ක්‍රියාවලියක් ය. එවැනි පසුබිමක මෙරට ‘ශ්‍රී ලාංකික මහා ධනපතීන්’ ලෙස නම් දරා සිටින මුදලාලිවරු, බලවත් ‘රාජ්‍ය නිලධාරීන්’ සහ ‘ප්‍රජාතාන්ත්‍රීය පාලකයින්’ වනාහි අර ගෝලීය ආර්ථිකයේ සහ වෙළඳපොළේ තැරැව්කරුවන් ය, බ්‍රෝකර්ලා ය.

    මේක මේ රටේ විතරක් නොව අප වැනි හැම රටකටම අදාළ තත්ත්වයක් ය. මේ තත්ත්වය, එනම් නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පොදු ජනයා නො සලකා හැරීම ඇමරිකා එක්සත් ජනපදයටත් අදාළය. ලෝකයේ ස්වභාවික සම්පත්, තාක්ෂනය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත අති දැවැන්ත ඒකාධිකාරයක් බලපවත්වන ඇමරිකා බලවතුන් ඒ කිසිවකින් පොදු මහ ජනයා ආවරණය කොට නැත. ඇමරිකාවේ කොරෝනා හැසිරීම ඊට අත ළඟ උදාහරණය ය.

    ලෝකය ක්ෂණයකින් විනාශ කළ හැකි සුනුවිසුණු කළ හැකි අවිආයුධ ඇති, ඉතා ඉහළ යුධමය ධාරිතාවක් ඇති ලෝක බලවතුන්, කෙළ බිඳිත්තක රැඳුණු වයිරසයකට උත්තරයක් සොයාගත නොහැකිව ප්‍රමාණවත් සෞඛ්‍ය ධාරිතාවක් නොමැතිව ලතවෙන හැටි, බිය වන සැටි කියා දෙන්නේ ලෝකයේ ධන-බල පෙරේතයින් ලෝකයම දක්කාගෙන ගිය වැරදි ගමනක් පිලිබඳ පාඩමය.         

    ගෝලීයකරණය පිළිබඳව වූ සුබ සිහින ප්‍රශ්න කිරීමේ කාලය එළඹ ඇති බව මා ගියවර අවධාරණය කළ කරුණකි. ‘‘මේ ගෝලීයකරණය පොදු ජනයාගේ එකක් නොව එහි දී වන්නේ ධනේශ්වර ආර්ථිකය සහ වෙළඳපොළ ක්‍රමය ලෝකය පුරා දිවීමක්‘‘ ය කියා කියූ කියුබාවේ හිටපු විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ ගේ අදහසත් ගෝලීයකරණය වන්නේ මානවහිතවාදීකම නොව ධනපති ක්‍රමයේ ධන-බල පෙරේතකම ය යනුවෙන් කියූ වන්දනා ශිවා ගේ අදහසත් එහි දී අවධාරණය කෙරිණි.

    එසේම ‘‘ගෝලීයකරණයේ දී සිදුවන්නේ ස්වභාවික සම්පත්, තාක්ෂණය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත බලවතුන් කීප දෙනෙකුගේ හෝ බලවත් කණ්ඩායම් කීපයකගේ ඒකාධිකාරී බලහත්කාරය ක්‍රියාත්මක වීමය‘‘ යනුවෙන් කියූ  ඊජිප්තු-ප්‍රංශ ආර්ථික සහ දේශපාලන විද්‍යාඥයෙකු වූ සමීර් අමීන් ගේ අදහසද ඒ අතර විය.

    කොරෝනා යනු ඒ ඒකාධිකාරය සඳහා වූ ධන-බලවතුන්ගේ තරඟය හෝ පොරකෑම නිසා එලියට වීසි වුණ පාලනය කිරීමට අසීරු භුමරංගයක් ය, කට්ටඬියාගෙන් මිදුන යකෙක් ය, යනුවෙන් මා කියූ අදහසට තවත් දෑ එකතු කළ යුතුමය. 

    1760 ගණවල සිට යුරෝ-කේන්ද්‍රීයව වර්ධනය වී ව්‍යාප්ත වූ කාර්මීකරණය, නාගරීකරණය, වෙළඳපොළකරණය, තොරතුරුකරණය සහිතව මේ වන විට ගොඩනැගී ඇති ඒකාධිකාරී සහචර ධනපති ක්‍රමය සහ එහි වෙළඳපොළ ක්‍රමය විසින් උත්කර්ෂයට නැංවූ සියල්ල බියෙන් සලිත වී අසරණ වී ඇති සැටි.

    තවදුරටත් මෙවැනි ලෝක ක්‍රමයක් අවශ්‍ය ද?  මගේ ගුරුවරයා වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන ආකාරයට ජනවාරියට පෙර ලෝකය හෝ ලෝක ක්‍රමය තව දුරටත් අවශ්‍ය ද?  

    ඒ ලෝක ක්‍රමය තුළ රැව් පිලි රැව් දුන් කාර්මික දියුණුව, සංවර්ධන රාමුව, විද්‍යාවේ දියුණුව, ගෝලීයකරණය, සෑම ක්ෂේත්‍රයකටම අදාළ වෙළඳපොළ නියාමනය, බොරු ෂෝක් පරිභෝජන චර්යාව, කේන්ද්‍රීය පරිභෝජනයේ ලෝකකරණය සහ වෙළඳපොළකරණය, ගෝලීය ආර්ථික ක්‍රමය සහ ගෝලීය වෙළඳපොළ ක්‍රමය, රාජ්‍ය හකුළුවා වෙළඳපොළ ප්‍රසාරණය කිරීම, ප්‍රජාවේ ලෝකකරණය, ඒ සියල්ලට සහය දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන, සහ සහචර ධනේශ්වරයට ආයු වඩන, තර්ක තනන බුද්ධිමය ශ්‍රේණි සහිත පූර්ව ජනවාරි ලෝක ක්‍රමය මුළුමනින්ම ඇද වැටී ඇත. අතාර්කික වී ඇත.

    සොබා දහම හමුවේ ‘ධනේශ්වර සොබා දහම’ පරාජය වී ඇත.   එවැනි පසුබිමක පශ්චාත් ජනවාරි හෝ පශ්චාත් කොරෝනා ලෝක ක්‍රමය ජනවාරියට පෙර ලෝක ක්‍රමයෙන් සපුරා ම වෙනස් විය යුතු ම ය. නමුත් පූර්ව ජනවාරි (එනම් ජනවාරියට පෙර) ලෝක ක්‍රමයේ හාම්පුතුන්ට සහ ඔවුන්ගේ පරිධියේ තැරව්කරුවන්ට/කාරියන්ට මානව-සොබාදම් කේන්ද්‍රීය සහ ස්වයං පෝෂිත-ස්වදේශික කේන්ද්‍රීය නව ලෝක පර්යායක් ගොඩ නැගීමට අවැසි හෘදසාක්ෂියක්, වුවමනාවක්, දැනුමක් ඇත්තේම නැති තත්ත්වයක ඇතිවන හිඩැස පිරවිය හැක්කේ කාටද?

    හිඩැස පුරවන්නට නොහැකි වුවහොත් අර පරණ ක්‍රමයම ඒ පරණ අය විසින් ම ප්‍රතිෂ්ඨාපනය කොට මානව වර්ගයා සහ සොබාදහම මීටත් වඩා මහා ව්‍යසනයකට ඇද ගෙන යනු නො අනුමානය.  

    ලෝකය, ගම් සංවිධානය නොකොට ඒවා සූරාකන නගර ශක්තිමත් කළේ නුතන නගර යනු විනාශයේ සංකේත බව නොදැනය. අප වැනි රටවල පාලක බලවතුන් ගෝලීය කේන්ද්‍රීය ආර්ථිකයේ සහ වෙළඳපොළේ තැරව්කරුවන් ම පමණක් ය. එනිසා එහි අනුහසින් තම සුඛ විහරණය සලසා ගත හැකිය යන අපේක්ෂාව කරණකොට ගෙන තම යටත් රටවල ජන සමාජයට අවැසි මුලික එනම් අත්‍යවශ්‍ය සේවා සහ යටිතළ පහසුකම් ප්‍රශස්ත මට්ටමින් නඩත්තු කිරීම තවමත් අතහැර දමා ඇත. යමක් කළේ නම් ඒ බලය අරමුණු කරගෙනම මිස මහා සමාජ හෘදසාක්ෂියකින් නොවේය.

    මේ මොහොතේ රටේ ඇමතිවරු තම තමන්ගේ ඡන්ද බල ප්‍රදේශවල ‘ඡන්ද ප්‍රචාරක බඩුමලු’ බෙදීමෙන් ස්වකීය ජාතික වගකීම අමතක කොට ඇති හැටි නිරීක්ෂණය කරන්න. වසමකට ඍජුව 6 ක් සහ වක්‍රව 50 කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් සිටින 14021 ක් වන මෙරට ග්‍රාම වසම් ප්‍රමාණය නිසි ලෙස අභ්‍යන්තරිකව එකාබද්ධව සංවිධානය කොට නො තිබීමෙන් පෙනී යන්නේ අප අනුගමනය කරන ආර්ථික-දේශපාලන-සමාජ-සංවර්ධන ක්‍රමයේ සහ රාමුවේ වැරද්ද ය. බොරු ෂෝක් පරිභෝජනවාදය සහ ලෝකය සමඟ ඉදිරියට යෑම යන රැවටීම ඔස්සේ පොදු ජනයා මුලාවේ දමා ඇති ආකාරය ය.  

    1970 සිරිමාවෝ බණ්ඩාරනායකත් 2010 දී බැසිල් රාජපක්ෂත් ගම සංවිධානය කිරීමට ගත් උත්සාහය ලත් තැනම ලොප් විය. නිලධාරිවාදය බලවත් විය. ගම ස්වයංපෝෂිත නොකොට, සංවිධානය නොකොට දිස්ත්‍රික්ක සීමා හුදු පාලන උපක්‍රම සහ සීමා ලෙස යොදා ගැනීම තාර්කික නැත.

    කොන්ෆියුසියස් රාමුවේ තර්කයකට ගියොත් ස්වයං පෝෂිත ක්‍රියාවලිය, පුද්ගලයා, පවුල, ගම, ප්‍රදේශය, දිස්ත්‍රික්කය, පළාත, රට සහ ලෝකය යන පියවර අනුගමනය කළ යුතුය.

    අපේ පාලකයින් සහ බලවතුන් අනුගමනය කළේ ලෝකය පමණක් ය. නමුත් ඉන් ඔවුන් පමණක් හෝ රැකෙනු ඇත යන විශ්වාසය ‘පොල්වල්ල ගලේ ගැසුවා සේ’ සී සී කඩ විසිර ගොස් ඇත. දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය. ඊට අවශ්‍ය කැඩපත දැනට කියුබානු ජනරජය ය. හැබැයි ඊට මඟ පෙන්වීම, නිකම්ම නිකම් පාර්ලිමේන්තුකාරයින්ට සහ කාරියන්ට කළ හැකිද යන්න මට නම් සැක සහිතය.

    ජේෂ්ඨ කථිකාචාර්ය – ධම්ම දිසානායක

  • චීනයේ මාධ්‍ය නිදහස තිබුණි නම් නව කොරානා රෝගය ගෝලීය වසංගතයක් නොවන්නට ඉඩ තිබුණි – දේශසීමා රහිත වාර්තාකරුවෝ්

    චීනයේ මාධ්‍ය නිදහස තිබුණි නම් නව කොරානා රෝගය ගෝලීය වසංගතයක් නොවන්නට ඉඩ තිබුණි – දේශසීමා රහිත වාර්තාකරුවෝ්

    චීනයෙහි බලධාරීන් විසින් පනවා ඇති වාරණය සහ පාලනය නොතිබුනි නම් චීන ජනමාධ්‍ය විසින් කොරොන වෛරස් වසංගතයේ බරපතලකම පිළිබඳව කල්තියා මහජනතාවට දැනුම් දෙන්නට තිබූ බවත් එමගින් ජීවිත දස දහස් ගණනාවක් බේරාගෙන වර්තමාන ගෝලීය වසංගතයෙන් වැළකීමට ඉඩ තිබූ බවත් “දේශසීමා රහිත වාර්තාකරුවෝ්” සංවිධානය (ආර්එස්එෆ්) පෙන්වා දෙයි.

    මාර්තු 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයක් මගින්, සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් යෝජනා කරන්නේ චීන බලධාරීන් ජනවාරි 20 වන දින ගනු ලැබූ පළමු පියවර ඊට සති දෙකකට පෙර ක්‍රියාත්මක කළේ නම් චීනයේ කොරොන වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 86% කින් අඩු කළ හැකිව තිබූ බවයි.

    චීනයේ තොරතුරු සහ ජනමාධ්‍ය නිදහස තිබුණි නම් මෙසේ සිදුවිය හැකිව තිබුණි.

    දෙසැම්බර් 20: වුහාන් නගර බලධාරීන්ට වෛරසය පිළිබඳව මාධ්‍යවේදීන්ට දැනුම් දීමට අයිතිය තිබෙන්නට ඉඩ තිබුණි.

    පළමු ලේඛනගත රෝගියාගෙන් මසකට පසු, වුහාන් නගරයේ ඒ වනවිටත් නොදන්නා සාර්ස් වැනි නියුමෝනියාව සහිත රෝගීන් 60 ක් සිටි අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙක්ම හුවාන් මත්ස්‍ය වෙළඳපොළට නිතර පැමිණි අයවලුන් වූහ. තත්වය එසේ තිබියදීත්, බලධාරීන් මෙම තොරතුරු මාධ්‍යයට දැනුම් දීමට තීරණය කළේ නැත.

    ඉතා ජනප්‍රිය වෙළඳපලකට සම්බන්ධ වසංගත රෝගයක් පවතින බවට බලධාරීන් මාධ්‍යයෙන් සඟවා නොතිබුණි නම්, ජනවාරි 1 වන දින නිල වශයෙන් නගරය වසා දැමීමට කලකට පෙර මහජනතාව මෙම ස්ථානයට පැමිණීම නතර කරන්නට ඉඩ තිබුණි. නමුත් ජනයා දිගටම එහි ගියෝ ය. එමගින් රෝගය දසත පැතුරුණි.

    දෙසැම්බර් 25: වෛද්‍ය ලූ ෂියාහෝං මාධ්‍යයට මෙම රෝගයෙහි බියජනක තත්වය ප්‍රකාශ කරන්නට ඉඩ තිබුණි.

    අංක 5 වුහාන් සිටි රෝහලේ ආමාශ ආශ්‍රිත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය ලු ෂියාහෝං දෙසැම්බර් 25 වන දින වෛද්‍ය කාර්ය මණ්ඩලයට බලපාන නව ආසාදනය පිළිබඳ රෝගීන් විභාග කිරීම ආරම්භ කරන ලද අතර එය ජනවාරි පළමු සතියේ සිට මිනිසුන් අතර සම්ප්‍රේෂණය වෙමින් ඇති බවට බවට සැක කළේ ය.

    චීනයේ ජනමාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදෙන මූලාශ්‍රවලට වෘත්තීයමය දඩුවම් පැමිණවීමේ සිට දැඩි සිර දඩුවම් දක්වා දඩුවම් පැණවීමක් නොතිබුණි නම්, මාධ්‍යට නව කොරොන වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීමේ වගකීම වෛද්‍ය ලූ ෂියාහෝං විසින් භාරගන්නට තිබුණි. එසේ වී නම් මාධ්‍ය විසින් මේ තත්වය හෙළිදරව්කරන්නටත් එමගින් පියවර ගැනීමට ආණ්ඩුවට බලපෑම් කරන්නටත් ඉඩ තිබුණි. නමුත් ආණ්ඩුව අවශ්‍ය පියවර ගත්තේ ඉන් සති තුනකට පසු ය.

    දෙසැම්බර් 30: රහස් හෙළි කරන්නන්ගේ පූර්ව අනතුරු ඇඟවීම මාධ්‍ය වෙත ලැබෙන්නනට තිබුණි.

    වුහාන් මධ්‍යම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ අධ්‍යක්ෂ අයි ෆෙන් ඇතුලු වෛද්‍යවරුන් කණ්ඩායමක් සාර්ස් වැනි කෙරොන වෛරසයක්” පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේ ය. පසුව එම අසනීපයෙන්ම මියගිය වෛද්‍ය ලී වෙන්ලියන්ග් ඇතුළු අට දෙනෙකු “බොරු කටකතා” ප්‍රචාරය කරන්නේ යැයි කියා නිසා වුහාන් පොලිසිය විසින් ජනවාරි 3 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

    රහස් තොරතුරු හෙළි කරන්නන් විසින් ලබා දෙන ලද තොරතුරු දෙසැම්බර් 30 වන දින නිදහසේ බෙදා හැරීමට කිරීමට පුවත්පත් සහ සමාජ මාධ්‍යවලට හැකි වූයේ නම්, මහජනතාවට අනතුර අවබෝධ වී වෛරසය ව්‍යාප්ත වීම සීමා කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට බලපෑම් කරනන්නට තිබුණි.

    දෙසැම්බර් 31: සමාජ මාධ්‍ය විසින් චීනයේ නිල අනතුරු ඇඟවීම ප්‍රසිද්ධ කරන්නට ඉඩ තිබුණි.

    චීනය දෙසැම්බර් 31 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නිල වශයෙන් අනතුරු මෙම වෛරසය ගැන අනතුරු ඇඟවීය. නමුත් ඒ සමඟම වසංගතය ගැන සඳහන් කැරෙන වචන විශාල සංඛ්‍යාවක් වාරණය කිරීමට WeChat නම් චීන අන්තර් ජාල සාකච්ජා වේදිකාවට බල කළේ ය.

    වාරණයක් නොතිබුණි නම් චීනයේ බිලියනයක් ක්‍රියාකාරී පරිශීලකයින් සිටින සමාජ ජාලයක් වන WeChat හරහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන නීතිරීති වඩා හොඳින් පිළිපැදීමට හැකිවනසේ උපදෙස් සහිත වාර්තා සහ පූර්වාරක්‍ෂක උපදෙස් විකාශනය කිරීමට මාධ්‍යවේදීන්ට හැකි වන්නට තිබුණි.

    ජනවාරි 5: විද්‍යා ජනමාධ්‍ය කල්තියා කොරෝනා වයිරස් ජෙනෝමය බෙදා හරින්නට ඉඩ තිබුණි.

    ෂැංහයි මහජන සෞඛ්‍ය සායනික මධ්‍යස්ථානයේ මහාචාර්ය ෂැං යොංෂෙන්ගේ කණ්ඩායම ජනවාරි 5 වන දින වෛරසයේ ජානමය අනුක්‍රමය සොයා ගත්තේ ය. නමුත් බලධාරීන් එම ජානමය ප්‍රසිද්ධියට පත් කිරීමට මැලිකමක් විය. චීනයෙහි වෛරසයෙන් පළමු වරට අයකු මියගිය බව සනාථ වූ ජනවාරි 11 වන දින පර්යේෂකයන් විසින් විවෘත අන්තර්ඩජාල මූලාශ්‍ර වේදිකාවට ජානමය අනුක්‍රමය පිළිබඳ තොරතුරු මුදා හැරියේ ය. ඊට දඩුවමක් වශයෙන් බලධාරීන් විසින් ඔවුන්ගේ රසායනාගාරය වසා දමන ලදී.

    චීන බලධාරීන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළේ නම්, වහාම කොරොන වයිරස් ජානමය අනුපිළිවෙල එරට විද්‍යා මාධ්‍ය වෙත සන්නිවේදනය කරන්නටත් එය ලොව පුරා බෙදා හැරීම මගින් එමගින් එන්නතක් සංවර්ධනය කිරීම සඳහා කරන ලද පර්යේෂණ වලදී ජාත්‍යන්තර ප්‍රජාවගේ වටිනා කාලය ඉතිරි කර ගන්නට තිබුණි.

    ජනවාරි 13: වසංගතයක් ඇතිවීමේ අවදානම ජාත්‍යන්තර ප්‍රජාවතේරුම් ගන්නට ඉඩ තිබුණි.

    වුහාන්හි සිට පැමිණි සංචාරකයෙකු චීනයෙන් පිටත නව කොරොන වයිරස් ආසාදනය වී තිබීමේ පළමු සිද්ධිය තායිලන්තයේ වාර්තා වුයේ එදින ය.

    ජනවාරි 13 වන දිනට පෙර චීන බලධාරීන් විසින් දැන සිටි වසංගතයේ පරිමාණය පිළිබඳ තොරතුරු කරා ප්‍රවේශවීමට ජාත්‍යන්තර මාධ්‍යවලට හැකියාවක් තිබුනේ නම්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම අර්බුදය පිළිබඳ කල්තියා තොරතුරු ලබාගෙන රෝගයේ පැතිරීම දැනුවත්ව ආරක්ෂාකාරීව අපේක්‍ෂා කරමින් වසංගතයේ අවදානම අඩු කරන්නට තිබුණි. සමහර විට එය චීනයෙන් පිටතට පැතිරීම බාල කොට ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වීම වළක්වා ගන්නට ද ඉඩ තිබුණි.

    2019 ආර්එස්එෆ් ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ චීනය සිටින්නේ 180 න් 177 වන ස්ථානයේ ය.

    (දළ පරිවර්ථනය  ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.)
    කාලීන අවශ්‍යතාව සලකා මෙම ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගෙන අප විසින් ද පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක)

  • කැකිරි – එළබටු ආදි අපේ දේවල්වල වටිනාකම යළි මතක් කළ කොරෝනා

    කැකිරි – එළබටු ආදි අපේ දේවල්වල වටිනාකම යළි මතක් කළ කොරෝනා

    වෛරසයක් සතුව පවතින සීඝ්‍ර ගුණන හැකියාව සහ එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ මාදිලි කෙටි කලක් තුළ ඇතිකර ගැනීමේ හැකියාව හේතූවෙන් වෛරස් රෝගයක් සඳහා ඖෂධයක් සොයා ගැනීම තරමක් අපහසු ය.

    මේ අතර එවැනි වෛරසයක් ගුණනය සඳහා කෙල බිඳිති, ශ්ලේෂ්මල යනාදිය මාධ්‍යයක් වූ විට කෙනෙකුගෙන් තව කෙනෙකුට ඉතාමත් සීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වේ. ජීවිත රැසක් බිලි ගනිමින් මුළු ලෝ පුරා ව්‍යාප්තව ගොස් ඇති  ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය වර්තමානය වනවිට  සෑම සමාජ තලයකම බොහෝ දෙනෙකු භීතියට පත්කිරීමට ඉහත කාරණා ඍජුවම හේතු වී ඇත.

    මෙතෙකින් නොනැවතී, ‘කොරෝනා’ අභිභවමින් යන දරුණු වසංගතයන් බොහෝමයකට ද අනාගත ලෝ වැසියනට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, මේ සඳහා මීට වසර 15,000කට පමණ පෙර අහිතකර පරිසර සාධක මගහරවා ගැන්මට සුප්ත කාලයක් ගත කරමින් ග්ලැසියර තුළට වී සිටින ඉතාමත් අහිතකර බැක්ටීරියා හේතුවිය හැකි බවත් වසංගත රෝග සම්බන්ධයෙන් පර්යේෂණ වල නියැලෙමින් සිටින වර්තමාන ලෝකයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයන් ගේ මතයයි. මෙහිදී, ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩවම වැඩිවීමේ ප්‍රථිපලයක් ලෙස ග්ලැසියර දියව, ඉහත කී බැක්ටීරියා නිදහස්ව ඇතිවනු ලබන බලපෑමෙන් මිනිසුන් බොහෝමයක් මිහිපිටින් තුරන්ව යා හැකි බව ඔවුන් අනතුරු අඟවයි.

    මෙවන් පසුබිමක් තුළ මිනිසුන්ට යම්තාක් දුරකට හෝ සුරක්ෂිතව ජීවත්වීමට හැකි යැයි හඳුනා ගත් රටවල් 20ක් පමණක් මුළු ලොවටම ඉතිරිවන බවත් ඒ අතර අප මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව ද ඉහලින්ම පවතින බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දෙනු ලබයි. මෙය ‘කොරෝනා’ වලින් භීතියට පත්ව ඇති අප ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු නොදන්නා, එහෙත් මෙරටට බැල්ම හෙළන ලොව ඇතැම් බලවතුන් දන්නා වූ පරම සත්‍යයකි.

    රෝගයක් පැතිර යාමේදී ඒ පිළිබඳව දැනුවත් වීම මෙන්ම ආරක්ෂක විධි විධාන අනුගමනය කිරීම අත්‍යවශයෙන්ම කළ යුත්තක් වුව ද අනවශ්‍යය භීතියක් ඇතිකර නොගත යුතු ය. කෙසේ වුව ද, කොරෝනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු මේ වනවිට  කලබලයට පත්ව ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය ද බොහෝ දුරට අඩාල ව ඇත. සැවොම පාහේ වෙර දරනුයේ මෙම රෝගයට තමන් මෙන්ම තමන්ගේ සමීපතයන් ගොදුරු වීමෙන් වලකා ගන්නේ කෙසේද යන්න සොයා බලා කටයුතු කිරීමට යි.

    චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මෙම වසංගතය පිළිවෙලින් ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව හා යුරෝපයේ රට වලට පැතිරීමට පටන් ගත්  කළ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතය වූයේ, මෙරට පවතින දේශගුණික තත්ත්වයන් හේතුවෙන් එම වෛරසය මෙරටට බලපෑම් නොකරාවි යන්න යි. අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් විපතක් හමුවේ වෙනත් කිසිදු රටකට, ජාතියකට, පුද්ගලයෙකුට අයහපතක් පැතු ජාතියක් නොවීම නිසාදෝ, ලොව අන් රට වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ස්වභාවික විපත්, වසංගත හා ඒ හේතුවෙන් සිදු වූ ජීවිත හා දේපල හානීන් ඉතා අවම අගයක පවතින බව ද අතීතය විමසන කළ මොනවට පැහැදිලි වේ.

    කෙසේ වුව ද, ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ සිතෙහි පැවති ඒ සුරක්ෂිතභාවය යම් දුරකට පළුදු කරමින් ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය මේ මොහොත වන විට ශ්‍රී ලාංකිකයන් 100ක් ඉක්මවා අසාදනය කරමින් පවතී. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ සියලුම ආසාදන තත්ත්වයනට මූලිකම හේතුව නම් ඉතාලිය ඇතුළු යුරෝපීය රට වල සීඝ්‍රයෙන් පැතිර පවතින කොරෝනා වෛරසයෙන් බේරෙනු වස් එම රට වල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ කිසිදු නිරෝධායන කටයුත්තකට ලක් නොවී කල් ගත කිරීම යි. මෙයින් ගම්‍යය වනුයේ පෙර දවස අප තුල පැවති පරාර්ථකාමිත්වය යම් තරමකට හෝ බිඳ වැටී ඇති බව ය. එම අවස්ථාවේ වැඩි තැකීමක් නොකොට එසේ කටයුතු කළ ද, සිදු වීමට යන ව්‍යසනය තේරුම් ගෙන දැන් දැන් නැවත වතාවක් ශ්‍රී ලාංකිකයන් එකාවන්ව කටයුතු කිරීමට පටන් ගෙන ඇත.

    අප බොහෝ දෙනෙකුගේ සිතෙහි මැවි මැවී පෙනෙනුයේ ලොව බලවත් යැයි සැලකෙන රාජ්‍යයන් කොරෝනා ඉදිරිපිට කොරවුණි නම් මෙයට වැට නොබැඳුවහොත් ශ්‍රී ලංකාවට කුමකින් කුමක් වේවිද යන්න යි? මේ සිදුවන දෑ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් තැති ගනිමින් අවිනිශ්චිත පසුබිමක පසු වුණ ද ශ්‍රී ලංකාව සතුව පැවති වැළලී ගිය උරුමයන් සඳහා යලි ඉහළ වටිනාකමක් දීමට මේ සිදුවීම් මාලාව සමත්ව තිබීම සැබැවින්ම ප්‍රශංසනීය වේ.

    ඈත අතීතයේ පටන් බටහිර ජාතිකයන් අපගේ මෙම සිරිලක් මාතාවට බැල්ම හෙලු බව අපි හොඳින් දන්නා නමුත් ඒ මෙරට පැවති අග්‍රගණ්‍ය වූ සම්පත් මංකොල්ල කෑමට බැව් බොහෝ ශ්‍රී ලාංකිකයන් හරියාකාරව නොදත් කාරණයකි. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කී ශ්‍රී ලංකාව සතුව ලොව කිසිදු රටක් සතුව නොතිබි වෛද්‍ය ක්‍රමයන්, වාරිමාර්ග තාක්ෂණ ක්‍රමෝපායන්, තාරකා විද්‍යා තාක්ෂණයන්, සටන් ශිල්ප ක්‍රමයන්, ගොවිතැන් ක්‍රමයන්, යහපත් සිරිත් විරත්, නොපසු බස්නා විර්යය, මනා පෝෂණ ගුණයන්ගෙන් යුත් ආහාර වට්ටෝරු මෙන්ම ලෙඩ රෝග යනාදියට ඉතා ඉහළින් මුහුණ දිය හැකි ප්‍රතිශක්තිකරණ හැකියාවක් පැවති බව ඉතිහාස පොත පත සාක්ෂි දරණු ඇත.

    එසේම, ඉහත සම්පත් වලට පාදම වූ එකී ශාස්ත්‍රයන් ඇතුළත් අති විශාල පොත්පත් ප්‍රමාණයක් බටහිර ජාතිකයන් විසින් මෙරටින් රැගෙන ගොස් ඇති බවත් එම පොත් සියල්ලක්ම පාහේ ඒකී රාජ්‍යයන් සතුව වර්තමානය වන විට ද පවතින බවත් බටහිර ජාතිකයන් විසින්ම සාක්ෂ්‍යය දරයි. කෙසේ වුවද, අප ශ්‍රී ලංකාව සතුව ඒකී සෑම පොතකම පිටපතක් හෝ නොමැති වීම ජාතියේම අභාග්‍යයකි. මන්දයත් මුඛ පරම් පරාගතව එකී ශිල්පයන් මනා ලෙස ඉදිරියට රැගෙන යෑමට සිටි පිරිස් බොහොමයක්, බලයට කෑදර වූ සුළුතරයක් විසින් විදේශිකයනට එදවසම පාවා දී ඇති බව අතීතය ගෙනහැර පානු ලබයි.

    සෑම විටම කෘතීම ආහාර නොගන්නා පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අල්පේච්චයක් තරම් වූ හෙළ වෛද්‍ය පොත පත පෙන්නුම් කරයි. තවද හෙළ මාතාවක්, තමන්ගේ දරුවාට තන පුඩු අවලස්සන වේ යැයි නොසිතා සිත් සේ මව් කිරි ලබා දීම නිසාම ශ්‍රී ලාංකිකයන් ගේ මේකී ප්‍රතිශක්තිය වැඩි වීමට හේතූවක් වූවා ද විය හැකි ය.

    මේ සියලු දෑ සුක්ෂමව වෙනස් කරමින් අපගේ දැනුම සොරාගත් විදේශිකයන් අවසානයේදී ඉතිහාසයේ අප සතුව පැවති වටිනාකම් ද සොරාගෙන වැරදි ජීවන මෙන්ම කෘතීම ආහාර රටාවකට ද හෙළයාව පුරුදු කරවීමට තරම් දක්ෂ විය. මේ හේතුව නිසාම එදාට වඩා අද සමාජයේ අප බොහෝ දෙනෙකු ගේ ප්‍රතිශක්තියේ යම් අඩුවක් තිබුණ ද තවමත් බටහිර ජාතිකයනට සාපේක්ෂව අප සතුව ලෙඩ රෝග වලට හොඳාකාරව මුහුණ දීමේ ශක්තියක් පවතී. මන්දයත්, මුඛ පරම් පරාවෙන් පැවතෙමින් හෝ එදවස අපට උරුම වූ වටිනාකම් අදටත් අප සතුව පවතින හෙයින් ලෙඩ රෝගයන්ගෙන් ආරක්ෂා වී ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ගත යුතු අහර කවරේදැයි ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය  අපට කියා දී ඇත.

    මෙහිදී, යම්කිසි තැනැත්තෙකු කැකිරි, තිත්ත කැකිරි, පිපිඤ්ඤා, වම්බටු, තිබ්බටු, එලබටු,  ලබු, වට්ටක්කා, බතල, අළු කෙසෙල් බණ්ඩක්කා , කරවිල, තුඹ, මුරුංගා කොළ, මුරුංගා, මඤ්ඤොක්කා, මඤ්ඤොක්කා කොළ, ගොටුකොළ, මුකුණුවැන්න, අඟුණු කොළ, නිවිති, සාරන, පැණි තෝර, තැල් කොළ මෙන්ම තල් පිටි, කිතුල් පිටි, කුරහන්, පෙරුම්කායන් කුඩු ගිතෙල් හා සුවදැල් කෙසෙල් හෝ රත් කෙසෙල් සමග මිශ්‍ර කර ආහාරයට එක්කර ගැනීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි බව හෙළ වෙද සම්බන්ධ පොත පත පෙන්වා දෙයි.

    තවද, අතීතයේ අපගේ මිත්තනියන් ආහාර රස කර ගැන්මට භාවිත කළ සුදු ළූණු, රතු ළූණු, ඉඟුරු, කරපිංචා, කුරුඳු, උළුහාල්, ගොරකා, කහ, සූදුරු, මහදුරු, ගම් මිරිස් යනාදිය කෑමට එක්කරගත හැකිනම් බොහෝ ලෙඩ රෝගයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍යය ශක්තිය නැවතත් අපට ගොඩනගා ගත හැකි බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

    එතැකින් නොනැවතුණු, ‘කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය  අපගේ ජීවිතයන ට බොහෝ පාඩම් කියා දෙමින් සිටී. මේ නිසාම, මතක ඇති කලක කොත්තමල්ලි ටිකක, වෙනිවැල් ගැට ටිකක, පත්පාඩගම් ටිකක රස නොවිඳි අප සමාජයේ බොහෝ දෙනෙකු මුළු මහත් ශ්‍රී ලංකාවම උඩු යටිකුරු කරමින් ඒවා සොයා රස බලන්නට විය. එය කෙතරම්ද කිවහොත් ඇතැම් වෙළඳසැල් හි බොහෝ කාලයක් විකුණා ගැනීමට නොහැකි ව ගොඩ ගැසී තිබුණු කොත්තමල්ලි හා වෙනිවැල් ගැට හිස් වූයේ හිරු දුටු පිනි බිඳක් මෙනි.

    මෙහිදී, බොහොමයක් පාරිභෝගිකයන් ඉල්ලුම් කරන පරිදි සැපයුම් ලබාදීම ට වෙළඳසැල් හිමියාට හැකියාවක් නොලැබීම හේතුවෙන් එක් එක් පාරිභෝගිකයාට දෙනු ලබන කොත්තමල්ලි, වෙනිවැල් ගැට හා පත්පාඩගම් යනාදිය සීමා කිරීමට ද සිදු වුණි.  එසේම, ජීවිතය ‘කොරෝනා’ මගින් කොර නොවනුවස් බොහෝමයක් ශ්‍රී ලාංකිකයන් තම තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැන්මට කල හැකි සෑම හෙළ වෙදකමක්ම අත්හදා බලමින් සිටී. මේ අතර පෙරුම්කායන්, වද කහ යනාදිය ජීවිතයට දැක නොමැති අප සහෝදර ජනතාව මේවා සොයන්නට වූයේ කතරක අතරමං වූ පුද්ගලයෙකු ජීවිතය, ජීවත් කරවීමට දිය පොදක් සොයන්න සේය.

    එතකින් නොනැවතී, බොහෝමයක් ශ්‍රී ලාංකිකයන් කෘතීම ආහාර භාවිතයෙන් ඈත්ව, දේශීය ආහාර රටාවනට හුරු වෙමින් පවතී. තවද, මාංශ අනුභවයෙන් ද බොහෝමයක් දෙනා වැලකී ඇති අතර මේ හේතුවෙන් සත්ත්ව හිංසනය ද බොහෝ සෙයින් පහත ගොස්ව ඇත. එපමණක් නොව, පවතින තත්ත්වය හමුවේ බොහෝමයක් ජනතාව නිවෙස් වලටම වී සිටීම හේතුවෙන් වෙන කවරදාක හෝ නොවූ අයුරින් වායු දුෂණය ද බොහෝ සෙයින් පහත ගොස් ඇත. සොබාදහම යම් තරමකට සමතුලිතව ඇත.

    බොහෝ කලකට පසුව, පවුලේ සැවොම පාහේ නිවෙස්වල අඛණ්ඩවම දින කිහිපයක් සිටින හෙයින් අපට මග හැරුණු අප සතුව පැවති එකමුතුකම ගොඩනගා ගනිමින් පවතී. අප සතුව පැවති, නමුදු දැන් මිහිදන්ව පවතින වටිනාකම් යලි ගොඩ නගා ගැනීමට සැවොම අදිටන් කරමින් පවතී. වැළලී ගිය අපගේ ඉතිහාසයට නැවතත් පණ දිය යුතු යැයි බොහෝ දෙනෙකුට වැටහෙමින් පවතී.

    බුදු දහමෙන් ආශීර්වාදය ලැබූ මේ පින්වන්ත භූමියට ‘කොරෝනා’ මගින් විශාල හානියක් කළ නොහැකි බව ඒකාන්තය. නමුදු, අප වෙනස් විය යුතුය. ඒ මන්දයත් වර්තමානය වන විට අප බොහෝ දෙනෙකු විවිධ වූ මිරීගුන් පසු පස හඹා යමින් පවතී. සංවර්ධනය යනු අපට ජීවය දෙන, අපව ජීවත් කරවන කරවන මේ සොබාදම් මාතාව විනාශ වන ලෙස වන සංහාරයන් ඇති කරමින් මුදල් ඉපයීම නොවන බව අප සියලු දෙනා තේරුම් ගත යුතු පරම සත්‍යය වන අතර එය පහදාලීමට පැමිණි ‘කොරෝනා’ අනාගතයේ දී අපගේ ජීවිත වෙනස් කරගත යුතු අයුරු අපට කියා දෙමින් සිටී.

    සංගීත් ප්‍රසාද් ප්‍රනාන්දු පර්යේෂණ නිළධාරී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

  • Hot Plate: නාම යෝජනා අත්සන් කරන්න ආ දුමින්ද පෙනේ පුප්පයි

    Hot Plate: නාම යෝජනා අත්සන් කරන්න ආ දුමින්ද පෙනේ පුප්පයි

    සටහන – ගජබා නාගහවත්ත

    පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය.

    “ප්‍රසන්න කොහෙද ඉන්නේ….” මහින්ද ඇසුවේය.

    “සර් මම නෙළුම් මාවතට යන ගමන්….” ප්‍රසන්න උත්තර දුන්නේය.

    “මම මේ කථා කළෙත් ඒකට තමයි. ගම්පහ විතරක් නෙමෙයි අනිත් ඒවත් පොඩ්ඩක් බලන්න…” මහින්ද ප්‍රසන්නට කීවේය.

    “හරි සර්… මම ඒ ගැන බලන්නම්. බැසිල් සර්රුත් මට කථා කළා…” ප්‍රසන්න කීවේය.

    ඒ අනුව පහුගිය සදුදා සිට ප්‍රසන්න පැය 24 ම ගත කළේ නෙළුම් මාවතේය. ප්‍රසන්නගේ සහායට ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙක්ද  නෙළුම් මාවතේ කාර්යාලයේ සිටියහ. රට තුළ පැතිර යමින් තිබු කොරෝනා වසංගතය හේතුවෙන් මේ සියලු දෙනා වැඩ කළේ මාස්ක් පැළදගෙනය.

    ශ්‍රීලනිපය වෙනම තරග කිරීමේ සූදානමක් ගැන ආරංචි

    නෙළුම් මාවතේ පහළ කාර්යාලයක පක්ෂ ලේකම් සාගර කාරියවසම් නීතීඥවරු කීප දෙනෙකු සමග නාම යෝජනා පත්‍ර සැකසීමේ නිරතව සිටි අතර බැසිල් නෙළුම් මාවතේ උඩු මහළේ සිය කාමරයේ රැදී සිටිමින් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් නාම යෝජනා ලබා දීමේ දී මතුවන ගැටළු නිරාකරණය කළේය. ප්‍රසන්නට සිදුවුයේ මේ කාර්යාල දෙකටම නිතර යන්නටය. බැසිල් සමග විටෙක විවිධ දිස්ත්‍රික්ක වල නාම යෝජනා ගැටළු විසදීමට එක් වූ ප්‍රසන්න ඉන් අනතුරුව පහළ සාගර කාරියවසම් සමග නාම යෝජනා සැකසීමේ කටයුතු වලට ද දායක වෙමින් සිටියේය.

    ශ්‍රී ලනිපයේ සභාපති හිටපු ජනපති මෛත්‍රී නාමයෝජනා අත්සන් කර තිබුණ ද අනෙකුත් දිස්ත්‍රික්ක වල නාම යෝජනා අත්සන් තැබීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළු මතු ව තිබුණි. මේ නිසා ශ්‍රී ලනිපය වෙනම යාමේ සුදානමක් පිළිබද කථාබහක් ආවේ ඔය අතරය. අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්ක වල නාම යෝජනා පිළිබද ගැටළු මතු ව තිබුණි. එම දිස්ත්‍රික්කවලට ශ්‍රිලනිපය ඉල්ලු අපේක්ෂක සංඛ්‍යාව ලබා ගැනීම සදහා දයාසිරි හා දුමින්ද වෙනම සටනක් ආරම්භ කර තිබුණි. මේ අතර අපේක්ෂත්වය නොලැබුණු ජීවන් ඇතුළු පිරිසක් වෙන ම ඉල්ලීමේ සුදානමක් තිබුණි.

    දුමින්ද දිසානායක පෙනේ පුප්පයි

    මේ අතර පහුගිය අගහරුවාදා  දයාසිරි, දුමින්ද හා වීරකුමාර දිසානායක නෙළුම් මාවත කාර්යාලයට ආවේ නාමයෝජනා අත්සන් කීරිමටය. නව යෝජනා අත්සන් කීරිමට සාගරගේ කාර්යාලයට ගිය දයාසිරි ඇතුළු පිරිස නාම යෝජනා අත්සන් කීරීම පසෙක තබා සාගර කාරියවසම්ට දොස් කියන්නට පටන් ගත්හ.

    “මේක මහා පුදුම වැඩක්නේ. මොකද මේ අපේ එකගතාවය කඩන්නේ. අර ප්‍රසන්න තැන් තැන්වල අපිව විවේචනය කර කර යනවා. මිනිහගේ කට වහන්න කෙනෙක් නැද්ද? ප්‍රසන්න හිතගෙන ඉන්නේ එයා කවුරු කියලද? මේවා නවත්තන්න වෙයි. නැත්තම් අපි බලා ගන්නම්. ” දුමින්ද මහ හඩින් කීවේය.

    සාගර කොතරම් කරුණු කියුවත් එය දුමින්දලා එය පිළිගන්නේම නැත. මේ නිසා සාගරගේ කාර්යාලයේ පිටත සිටි අයට එය දැනුණේ මහා ඝෝෂාවක් ලෙසය.

    මේ අතර ඉහළ මාලයේ සිට බැසිල්ට ද මේ සද්දය ඇහුණි. ” ප්‍රසන්න අර මොකද්ද පහළ සද්දෙ කියලා බලන්න….” බැසිල් කීවේ ළග සිටි ප්‍රසන්නටය.

    ප්‍රසන්න දැක්ක ගමන් දුමින්ලදාට වුණ දේ

    ඒ අනුව ප්‍රසන්න සාගරගේ කාමරයට ආවේ දුමින්දලා බැණ වදින්නේ තමන්ට බව නොදැනය. එකවරම කාමරයට පැමිණි ප්‍රසන්න දුටු දුමින්දලා ද තුෂ්ණිම්භුත විය.

    “මොකෝ ඇමතිතුමාලා මේ සද්දේ? කියමින් දුමින්දලා අසළින් වාඩි වු ප්‍රසන්න ” මොකද අත්සන් කරන්නේ නැද්ද?” යැයි ඇහුවේය. දුමින්ද , දයාසිරි මුහුණට මුහුණ බලාගත්ත මිස කිසිවක් කීවේ නැත.

    “අත්සන් කරන්න. අත්සන් කරන්න. මේක ජාතික කර්තව්‍යයක්නේ. ප්‍රශ්නයක් තියනවනම් අන්න බැසිල් ඇමතිතුමා ඉන්නවා. එන්න යමු ගිහින් කථා කරමු.” ප්‍රසන්න කිවේය.

    දුමින්දලාට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඔවුන් පුටුවෙන් නැගිට්ටේය. “යමු. යමු ” ප්‍රසන්න ඉස්සර විය. දයාසිරි හා දුමින්ද බැසිල් සමග සාකච්ඡා කළේ තනිවමය. ප්‍රසන්න එතැනට ගියේ නැත. බැසිල් සමග සාකච්ඡාවෙන් පසු දුමින්දලා පිටව ගියේ නාමයෝජනා අත්සන් නොකරය.

    මහින්දට ගම්පහ ඉඩ දී ඉවත් වෙන්න ප්‍රසන්න සූදානම් වෙයි

    අගහරුවාදා සවස වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා ගැටළුව විසදාගැනීමට බැසිල්ට හැකි විය. ඒ එස්එම්, ෂෙහාන් සහ බැසිල් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. ඒ සාකච්ඡාවේ සිටි ප්‍රසන්න සිය හිතවතෙකු මගින් වීරකුමාරට පණිවිඩයක් දි පසුදින නාමයෝජනා අත්සන් කරන්නට එන්නයැ‘යි දැනුම් දුන්නේය. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ගැන ගැටළුවක් පැන නැගී තිබුණි. දයාසිරිලා කුරුණෑගලට ඉල්ලා තිබු  අපේක්ෂක සංඛ්‍යාව ලබා දීමට නම් පොහොට්ටුවෙන් කෙනෙකු ඉවත් විය යුතු විය. මෙය අගමැති මහින්දට දැනගන්නට ලැබුණි.

    “මම ජාතික ලැයිස්තුවෙන් එන්නම්. ඔන්න ඕක දීලා දාන්න.” මහින්ද බැසිල්ට කියා තිබුණි. මේ ආරංචිය ප්‍රසන්නට දැනගන්නට ලැබුණි. ඔහු වහා අගමැති මහින්ද ඇමතුවේය.

    “සර්… ඒ වැඩේ නම් කරන්න එපා. සර් මේ පාර ඡන්දය ඉල්ලලයි අගමැති වෙන්න ඕන. මිනිස්සු බලාගෙන ඉන්නේ සර්ට ඡන්දය දෙන්න. කුරුණෑගලින් ඉඩ නැත්නම් ගම්පහට එන්න. මම අයින් වෙලා සර්ට ඒ අවස්ථාව දෙන්නම්.” ප්‍රසන්න කීවේය.

    “නෑ. නෑ. එහෙම ඕන නෑ. ගම්පහ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔයාව පාර්ලිමේන්තු යවන්න. ” මහින්ද කීවේය.

    ගම්පහ ඇපයට තබා අනෙක් දිස්ත්‍රික්කවල අතේ ගැටලු විසදූ හැටි

    ප්‍රසන්න බදාදා ගම්පහ නාමයෝජනා භාරදීමට සියල්ල සුදානම් කර තිබුණ ද ඔහු වහා ම එය අවලංගු කළේය. ඒ ගම්පහ ඇපයට තබමින් අනෙකුත් දිස්ත්‍රික්ක වල ශ්‍රිලනිපයේ ගැටළු විසදීමට බැසිල් සමග ප්‍රසන්න එළඹි එකගතාවය නිසාය. කෙසේ වෙතත් බදාදා මධ්‍යම රාත්‍රිය වන විට නාම යෝජනා සියල්ල අවසන් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි විය.

    මුලින් විරෝධය පළ කල ද දයාසිරිලා බදාදා උදෑසන නෙළුම් මාවතට පැමිණ නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුහ.

    බදාදා මධ්‍යම රාත්‍රියේ ප්‍රසන්න උඩුගම්පළ සිය නිවසට ආවේ පසුදින නාමයෝජනා පත්‍ර භාරදීමට යාම සදහාය. නාම යෝජනා පත්‍රය කොපමණ පරික්ෂා කළත් ඔහුගේ හිතට එය මදි විය. නැවතත් සිය හිතවත් නීතිඥ මහත්වරු කීප දෙනෙක් සමග නාම යෝජනා පත්‍රය පරීක්ෂා කළ ප්‍රසන්න නින්දට ගියේ සුළු දෝෂයක් හෝ නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුවය.

    විජිත් විජිත මුණිට සිදු වුණ අවුල

    පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසන්න ගම්පහ නාමයෝජනා භාරදීමට ගියේ නිමල් ලාන්සා ඇතුළු පිරිස සමගය. නීතිඥ සරණ, සරල සොහොයුරෝ ද ඒ සමග වූහ. එක්සත් ජාතික පක්ෂය වෙනමත් සජිත්ගේ ජාතික සමගි බලවේගය වෙනමත් ගම්පහට නාමයෝජනා භාරදුන්හ.

    ජාතික සමගි බලවේගයේ විජිත් විජිතමුණි සොයිසා දුටු ලාන්සා ‘දැන් මොකද එකතු වෙන්නේ නැද්දයි ?“ යි ඇසුවේය.

    ‘අපෝ කලබල වෙන්නෙපා. අපේ ආරෝව දියේ ඇන්ද ඉරක් වගෙයි. අපි කට්ටියම වෙලාවට එකතු වෙනවා‘ විජිතමුණි කීවේය.

    ‘ඔය කිවුවට දෙගොල්ලෝ මුණට මුණවත් බලන්නේ නෑනේ‘ ප්‍රසන්න කියන විට විජිතමුණි හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

  • Hot Plate:රෝයල් – තෝමියන් බිග් මැච් එක දා මම ශිරන්තිත් දැක්කා – රනිල්

    Hot Plate:රෝයල් – තෝමියන් බිග් මැච් එක දා මම ශිරන්තිත් දැක්කා – රනිල්

    මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය වූ නිසාවෙනි.

    වෙනදා මෙන් මන්ත්‍රීවරුන් රැසක් ද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටි අතර කාර්යබහුල තත්ත්වය හමුවේ වුවද ඔවුන් හා සුහද පිළිසදරේ යෙදීමට නායක රනිල් වික්‍රමසිංහ අමතක නොකළේය.

    “කොරෝනා වසංගතය නිසා ඡන්දය කල් දාන්න කියා කව්රුත් කියනවා. නමුත් ආණ්ඩුව එය ගණන් ගන්නේ නැහැ. සර්ව පාක්ෂික සමුළුව කැදවන්න කියලා හැමෝම ඉල්ලුවා. අගමැති කියන්නේ නාමයෝජනා දුන්නට පසු හමුවෙමු කියලායි. මේකට විසදුමක් නැතිද?” නවීන් දිසානායක විමසා සිටියේ නායකයාගෙනි.

    “ආණ්ඩුව මුල ඉදළම මේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තේ නැහැ. ඡන්දය කියන්නේ ජනතාව සමග කරන කටයුත්තක්. එංගලන්තයේ නම් ඡන්ද රැස්වීමකට එන්නේ 50 ක් විතර ගානකුයි. අපේ එහෙම නොවෙයි අපේ රැස්වීමකට දාහක් විතර එනවා. ඒක නිසයි, අපි කිව්වේ ඡන්දය කල් දාලා පාර්ලිමේන්තුව රැස් කරලා අවශ්‍ය මුදල් වෙන් කරගෙන මුළින් ව්‍යසනය අවසන් කරලා ඉමු කියලා. නමුත් ආණ්ඩුවට ඔනෑ ඉක්මණින් ඡන්දය තියන්න.” නායකයා පැහැදිලි කළේය.

    “ඡන්දය දාන්න පෝලීමේ ඉන්න ඕනේ. එකම පැන්සලෙන් කතිරය ගහන්නේ. ගණන් කරන තැන නිලධාරිනුත් මෙතනදි අර්බුදයට යනවා. හොදම විසදුම ඡන්දය කල් දමා සර්ව පාක්ෂික සමුළුවෙන් ගැටළුවට විසදුම් සෙවීමයි” නායකයා තවත් විස්තර එක් කළේය.

    “ජනාධිපතිගේ ජාතිය ඇමතිමේ කතාව නිසා මිනිස්සු තවත් අසරණ වුනා. මීට වඩා දෙයක් කියයි කියා මිනිස්සු හිතුවා.” චම්පිකා ප්‍රේමදාස කීවේය.

    “ඔව් ඇත්තටම එතනදි ජනතාවට විශ්වාසය තහවුරු වන යමක් කියැවුනේ නැහැ. සියලු දෙනා එකට එක්වී වසංගතය පරදවමු කියන දේ මෙතනදි එළියට ආවේ නැහැ. ඉස්සරහට සිංහල අවුරුදු එනවා. පාස්කු, රාමසාන් කාල එනවා. ඒ කියන්නේ ජනතාව පාරට එන අවස්ථාවයි. මේ ගැනත් යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ.” නායකයාගේ කතාව සැවොම අනුමත කළහ.

    “සර් රෝයල් – තෝමියන් බිග් මැච් එක බලන්න ගියාලු නේද? එතනත් ආසාදිතයෙකු ඉදලා තිබෙනවා. ඒක නවත්වන්න කියපු එක ඇහුවේ නෑ කියලාද කියන්නේ.

    ” ඔව් මට එතනදි ශිරන්ති රාජපක්ෂවත් හමුවුනා. මම වැඩිවේලාවක් හිටියේ නැහැ. කොහොමවුනත් අපිත් කිව්වේ මැච් එක නවත්වන්න තිබුණා කියන කාරණයයි.” නායකයා කීවේය.

    “ජනාධිපතිතුමාත් ආනන්ද – නාලන්ද බිග් මැච් බලනවා අප දැක්කා. එතන වරෙන්තුකාරයෙකුත් හිටියා නේද? කොහොම වුනත් මෙහෙම නම් ඡන්දය කරන්න බැහැ.” කේ.කේ පියදාස මැසිවිල්ලි ඉදිරිපත් කළේය.

    “ඔව් ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම උපයෝගි කරගෙන තුනෙන් දෙක ගන්නයි. සෞඛ්‍ය ඇමති පවිත්‍රාත් එ්ක කියා තිබුණා. අප්‍රේල් 25 වැනි දායින් පස්සට යන්න යන්න ආණ්ඩුවට අවාසියි. ඒකයි මේ ඡන්දය කල් දාන්නේ නැත්තේ.” වජිර අබේවර්ධන පැහැදිළි කළේය.

    “නාම යෝජනා බාර ගත්තාට පසු මැතිවරණ කොමසාරිස්ට මැතිවරණය කල් දාන්න බලය ලැබෙනවා. ඔහු ඒ අනුව කටයුතු කරයි කියා අප හිතනවා.” නායකයා සදහන් කළේය.

    “මැතිවරණ කොමිසම ඡන්දය කල් දැම්මොත් මුදල් හොයා ගන්නේ කොහොමද?” චම්පිකා ප්‍රේමදාස විමසා සිටියේය.

    “මුදල් ගන්න නම් පාර්ලිමේන්තුව කැදවන්න ඕනෑ. මෙහෙම මුදල් ගන්න එක නීත්‍යානුකූල නෑ. පාර්ලිමේන්තුව කැදවීම තමයි, හොදම විසදුම. නමුත් ආණ්ඩුව එය කරන්නේ නැහැ. කැබිනට් එක තියාගෙන දුවන්න බලන්නේ.” නායකයා පැහැදිළි කළේය.

    “සමගි ජන බලවේගය ගැන ප්‍රශ්නයක් තිබෙනවා කියලා ඒ පක්ෂයේ කලින් හිටපු කෙනෙක් මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තිබෙන බව ආරංචියි.” වජිර අබේවර්ධන කීවේය.

    “ඔව්! එහි ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේක සන්ධානයට හදපු ව්‍යවස්ථාවක් නොවෙයි. අනෙක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකකමින් හිටපු විපක්ෂනායකතුමා අයින් වෙලාත් නෑ. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක කෙනෙක්ට ඒ පක්ෂයෙන් ඉල්ලන්න බෑ. මෙයාලා මැතිවරණ කොමිසමට ඔවුන්ගේ අලුත් ව්‍යවස්ථාව දී තිබෙන්නේ මැතිවරණ කොමසාරිස් දීපු දිනයටත් පසුව දිනයකයි. මේ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා.” පක්ෂ නීති නිලධාරියෙකු පෙන්වා දුන්නේය.

    “මේ කට්ටියට කරන්න තිබුණේ කාගෙත් යෝජනාව වෙච්ච කරුණාසේන කොඩිතුවක්කු ලේකම් කරලා ඡන්දයට යන්නයි. එහෙම නම් බය වෙන්න දෙයක් දෙපැත්තටම ඇතිවෙන්නේ නැහැනේ.” නවින් දිසානායක පෙන්වා දුන්නේය.

    “ආණ්ඩුවට මැතිවරණය කල් දාන්නවත් පාර්ලිමේන්තුව කැදවන්නවත් වුවමනාවක් නැහැ. සර් දැන් අපේ මැතිවරණ මෙහෙයුම් වැඩපිළිවෙල මොකක්ද?” කේ.කේ පියදාස මන්ත්‍රීවරයා විමසා සිටියේය.

    “අර්ජුන රණතුංග, නවීන් දිසානායක, දයා ගමගේ, රවි කරුණානායක, රුවන් විජයවර්ධන වගේ අලුත් මුහුණු ටිකක් මෙවර මැතිවරණය මෙහෙයවනවා. ඩි.එස් සේනානායක මැතිදුන් හදපු පක්ෂය අලුත් පරපුරක අලුත් ගමන මේ මැතිවරණයත් සමගම ඇති වෙනවා. නයකයා සදහන් කළේය.

    “ඔව් දැන් මංගල, රන්ජන්, ඉරාන්, රිෂාඩ්, හකිම්, මනෝ වගේ අය නැහැනේ? මම නම් හිතන්නේ නායකතුමා කිව්වා වගේ මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිදුන්ගේ සියලු ජාතීන්ට සෙවන වූ එක්සත් ජාතික පක්ෂය දැන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් පක්ෂය ලෙස අපට දැන් බෞද්ධයන්ට වගේම අන්‍ය ජාතීන්ටත් හොදින් ආමන්ත්‍රණය කරන්න පුළුවනි. අපට දිගින් දිගටම අහිමි වූ සිංහල බෞද්ධ ජන පදනම ගොඩ නගන්න හොදම අවස්ථාව මේකයි. එදා බෙදිලා තිබුණේ දේශපාලන දර්ශනයන් අනුවයි. නමුත් මෑත කාලයේදි බෙදුනේ ජාතිය හා ආගම අනුවයි. ජාතිය හා ආගම අනුව බෙදුණු පක්ෂ එක්සත් ජාතික පක්ෂය හා ගොනුවූ නිසා ඩි.එස් සේනානායක මැතිදුන් හැදු සිංහල බෞද්ධ පදනම එක්සත් ජාතික පක්ෂයට නැති වුනා. දැන් අපට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා සිංහල බෞද්ධ ඡන්ද පදනම පක්ෂයට දිනා ගන්න.” වජිර අබේවර්ධන දීර්ඝ විස්තරයක් කළේය.

    මේ අතර සමගි ජනබලවේගයේ නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු වෙනුවෙන් අපේක්ෂකයෝ බොහොමයක් පිටකෝට්ටේ පිහිටි විපක්ෂ නායක සජිත්ගේ කාර්යාලයට පැමිණ සිටියෝය. එහිදි මහ නුවර අපේක්ෂක ලැයිස්තු සකස් කිරිම පිළිබද කතාබහක් ඇතිවිය.

    එහිදි කළුතර හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතා ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ගැටළුව පිළිබදව විමසා සිටියේය.

    සිංහල තුනක් හා මුස්ලිම් දෙකක් දිනුවොත් අපෙක්ෂක ලැයිස්තුවේ අනෙක් දස දෙනාටම එක ධූරයකට තරග කරන්න සිදුවීම සම්බන්ධයෙන් වන ගැටළුව පිළිබදව ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.

    පසුව කිරිඇල්ල හා විතාන ගොස් හොදම විසදුම තිස්ස අත්තනායකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් දීම බවට කිරිඇල්ල කළ යෝජනාව සජිත් පිළිගැනීමත් සමග ප්‍රශ්නය අවසන් විය.

  • කොරෝනා වෛරසය සහ “ලොක් ඩවුන්” ව්‍යාපාරයේ අපරිණතකම

    කොරෝනා වෛරසය සහ “ලොක් ඩවුන්” ව්‍යාපාරයේ අපරිණතකම

    සමස්ත හෝ තාවකාලික “ලොක් ඩවුන්” කිරීමක සමාජයීය සහ ආර්ථිකමය පල විපාක පිළිබඳ මනා තක්සේරුවකින් තොරව හුදෙක් එය මන්ත්‍රයක් ලෙස ජප කිරීම අතිශය දේශපාලන වගකීම් විරහිතභාවයක්ද වේ. ඒ සියල්ල ආණ්ඩුව විසින් බලා ගත යුතුය යන ආකල්පය වනාහී යළිත් වරක් පරම බලැති අධිකාරීමය පාලකයෙකු පිළිබඳ ෆැන්ටසිය තුළින් ගලා එන්නකි.

    දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල් ෂ්මිට්ට අනුව, ව්‍යතිරේකීය තත්ත්වයකදී ස්වාධිපති පාලකයාට නීතියේ පාලනය ඉක්මවා යා හැකිය; ඒ මහජන සුබ සිද්ධිය ඇති කිරීමේ නාමයෙනි. විශේෂයෙන්ම අර්බුද සමයකදී මහජන සුබසෙත සලසනු පිණිස විධායකයට මූලික නීතිය සහ දේශපාලන ඇගයුම් නොතකා කටයුතු කළ හැකිය යන්න එහි අරුතයි.

    ෂ්මිට් පැවසූ ලෙස ස්වාධිපති බලයේ සාරය වන්නේ ව්‍යතිරේකීය තත්ත්වයක් තුළ තීරණ ගැනීමේ අධිකාරත්වය එය සතුව පැවතීමයි. අගම්බෙන්ගේ තර්කය වන්නේ මෙම ව්‍යතිරේකීය තර්කනය සමකාලීන ලෝකයේ ආණ්ඩුකරණයේ අධිපති මාදිලිය බවට පත්ව තිබේය යන්නයි. ඒ අනුව, දැන් ව්‍යතිරේකය සාමාන්‍ය තත්ත්වය බවට පරිවර්තනය වී ඇත. 

    ලිබරල් සටන් පාඨ තුළ සැඟවුණු අධිකාරීවාදී ෆැන්ටසිය   

    මේ දිනවල ලොව පුරාම සෘජුව තීරණ ගන්නා ශක්තිමත් පාලකයින් ලෙස හැසිරෙන්නැයි තම තමන්ගේ රටවල පාලකයින්ගෙන් ඉල්ලා සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අඩුවක් නොමැත. ශ්‍රී ලංකාවේද පාලකයා හට වඩා සෘජු සහ ශක්තිමත් ලෙස හැසිරෙන්නැයි ඉල්ලමින් සමාජ මාධ්‍ය තුළ ඝෝෂාවක් සිදුවෙමින් තිබේ. සැබවින්ම මෙසේ ශක්තිමත් පාලකයෙකු පරිකල්පනය කරමින් සිටින්නේ වත්මන් පාලනයේ අනුගාමිකයින් පමණක් නොවේ. කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා ඉක්මනින් රට වසා දමන්නැයි (“lock down Sri Lanka”) අයැදිමින් සිටින ලිබරල් කොටස්ද පරිකල්පනය කරන බව පෙනෙන්නේ පුරවැසියන් නිවෙස්වලට වී සිටින අතර ශක්තිමත් ලෙස ඔවුන් වෙනුවෙන් මේ දුෂ්ට වෛරසය සමග සටන් කරන පාලකයෙකු නොවේද? පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාව හාස්‍යයට නංවමින් පළ කෙරෙන සමාජ මාධ්‍ය පෝස්ටු රැසක යටි පෙළෙහි ඇත්තේද වඩා ශක්තිමත් පාලකයෙකු පිළිබඳ පරිකල්පනය බව මගේ නිරීක්ෂණයයි. 

    මනා දේශපාලන සිහි කල්පනාවකින් තොරව තෝරන ඇතැම් ලිබරල් සටන් පාඨ වුවත් ඇතැම්විට අධිකාරීවාදී පාලනයක් කරා මග හෙළි කළ හැකිය. මේ දිනවල මෙරට වාම-ලිබරල් කොටස්වල දේශපාලන සිහි කල්පනාව මොට වී යමින් තිබෙන්නේ පාලන තන්ත්‍රය සහ වාණිජ මාධ්‍ය එක්ව නිර්මාණය කොට තිබෙන “කොරෝනා-භීතිකාව” කරණ කොටගෙනය. බියෙන් තැති ගත් විට සිහි කල්පනාව නැතිව යන බව නොදන්නෝ කවරහුද?

    කොරෝනා වසංගතය ඉතාම බරපතල ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන එය මැඩ පැවැත්වීමට අප සියලු දෙනාම ක්‍රියා කළ යුතු බව අවිවාදිතය. නමුත්, ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ සහ ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ මහජන භීතිකාව පදනම් කොටගෙන නොවේ. භීතිකාව විසින් අපව රැගෙන යනු ඇත්තේ පළමුව සමාජ කැළඹීමක් වෙතත් දෙවනුව එම කැළඹීම පාලනය කළ හැකි අධිකාරීවාදී පාලකයෙකු පිළිබඳ ෆැන්ටසියක් වෙතත් පමණි. එහෙයින්, මේ මොහොතේ වාමාංශික බුද්ධිමය අරගලය කොරෝනා වෛරසයට එරෙහි එකක් වන අතරම කොරෝනා භීතිකාවට එරෙහි එකක්ද විය යුතු බව මගේ අදහසයි.  මා පසුගිය සතියේදී ආරම්භ කළ පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා පිළිබඳ විශ්ලේෂණය මදකට පසෙකින් තබා කොරෝනා වෛරසය ගැන ලිවීමට තීරණය කළේ ඉහත හේතුව නිසාය. 

    “ලොක් ඩවුන්” ව්‍යාපාරයේ අපරිණතකම    

    අපේ යුගයේ විශිෂ්ටතම මහජන බුද්ධිමතෙකු වන ස්ලේවෝයී ශිෂෙක් දින කිහිපයකට පෙර ලියා පළ කළ “Monitor and Punish? Yes, Please!” නමැති ලිපියේ ඉහත ගැටළුව තියුණු ලෙස සාකච්ජාවට ලක් කරයි. අද බටහිර ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සමාජයන් තුළ අන් කවර කලෙකවත් නොවූ විරූ පරිදි පුද්ගලයන් පාලනය කිරීමේ සහ නියාමනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරිපත් වෙමින් තිබේ. එය යුක්ති සහගත කෙරෙනුයේ කොරෝනා වසංගතය මගිනි. ඉතාලිය මේ සඳහා කදිම නිදසුනයි.

    චීනය සමාජ පාලනය සහ නියාමනය ඩිජිටල්කරණය කොට තිබේ. කොරෝනා වෛරසය සමග කරන සටනේදී චීනය අනුගමනය කළ යුතුය යන සමාජ මානසිකත්වය උග්‍ර වෙමින් පවතින තත්ත්වයක් තුළ ශිෂෙක් අසන්නේ “චීනය අපගේ අනාගතයදැ”යි යනුවෙනි. විශේෂයෙන්ම පාලන තන්ත්‍රයන් සහ මාධ්‍ය සමාගම් එක්ව උත්සන්න කරන භීතියේ පරිසරය තුළ පුද්ගලයන්ව නිරන්තර පරීක්ෂාවට, සෝදිසියට, පාලනයට සහ නියාමනයට ලක් කිරීමට විශාල අනුමැතියක් හිමිව තිබේ. පාලකයින් නිතරම නිවේදනය කරන්නේ මහජනයාට බිය නොවී සිටින ලෙසය; නමුත්, ඔවුන් ඒ සමගම ගෙන හැර දක්වන්නේ බිය විය යුතු හේතූන් ගණනාවකි! 

    අප පවත්නා අනතුර ගැන සාධාරණව සිතා බලන විට, පුද්ගලයන් නිරෝධානය කිරීමත් යම් සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීමත් මේ මොහොතේ කළ යුතු දේ බවට විවාදයක් නොමැත. එහිදී පුද්ගල සහ සමාජ නිදහස යම් දුරකට සීමා කරන්නට සිදු වීමද නොවැලැක්විය හැකිය. ඇතැම්විට, ශිෂෙක් ඔහුට සුපුරුදු උත්ප්‍රාසාත්මක වචනයෙන් පවසන පරිදි මේ මොහොතේ සාමූහිකත්වය ප්‍රදර්ශනය කළ හැක්කේ එකිනෙකාගෙන් හුදෙකලාව සහ දුරින් සිටීම මගින් විය හැකිය.

    නමුත්, මේ වෛරසය සමග සටන් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ එක් ප්‍රවේශයක් පමණක් නොවන බව ඔහු අපට පෙන්වා දෙයි. අප දැනටමත් දන්නා අධිපති ප්‍රවේශය වන්නේ අධිකාරීවාදී පාලනයේ ක්‍රමවේදයයි. ඒ ප්‍රවේශය අනුව, යම් තෝරාගත් ප්‍රදේශ හෝ සමස්ත රාජ්‍යයම වසා දැමීම පවා යෝජනා කළ හැකිය. ශ්‍රී ලංකාවේ දැනට මෙම අධිකාරීවාදී ප්‍රවේශය යෝජනා කරන පුද්ගලයන් අතර 2015 යහපාලන ව්‍යාපෘතියට සක්‍රීයව සහාය දැක්වූ අලුත් පරපුරේ ක්‍රියාකාරීන් පවා සිටිති! 

    මගේ හැඟීම නම් මෙම ප්‍රවේශය අප රට තුළ ඉදිරිපත් කෙරෙමින් තිබෙන්නේ කිසියම් පංතිමය පක්ෂපාතීත්වයක් සෘජුවම ප්‍රකාශයට පත් වන ආකාරයෙන් බවයි. නිදසුනක් ලෙස, මේ දිනවල මුහුණු පොතේ රැල්ලක් බවට පත්ව තිබෙන “Lockdown Sri Lanka” ව්‍යාපාරය තුළ සහමුලින්ම නොතකා හරිනු ලබන කාරණයක් වන්නේ අප රටේ අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු මගින් යැපෙන ලක්ෂ ගණනක් ජනයාගේ ගැටළුය; දෛනික සේවා සැපයීමෙන් එදා වේල සොයා ගන්නා අති විශාල සමාජ තීරුවක් ඒ අතර වෙයි.

    සුභ සාධන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාවට නැගීම

    මෙම පිරිස් සඳහා කිසියම් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් යෝජනා කිරීමෙන් තොරව මුලු රටම හෝ කිසියම් ප්‍රදේශයක් “ලොක් ඩවුන්” කිරීමට ඉල්ලා සිටීම අප වටහාගත යුත්තේ කෙසේද?

    චීන පාලනාධිකාරය කොරෝනා වෛරසය සමග සටන් කිරීමේදී විවිධ සුභ සාධන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාවට නැගීය. මහජන ආරක්ෂණ දායකත්ව ගෙවීම් කල් දැමීය. පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය සහ අත්‍යවශ්‍ය සේවාවලට අදාළ වැට් බදු අහෝසි කොට දැමීය. ඉතාලියේ අසරණභාවයට පත් වූවන් හට රජයෙන් සුභසාධක දීමනා ගෙවයි. කැනඩාවේ අගමැති ජස්ටින් ත්රූඩෝ පසුගියදා නිවේදනය කළේ තම රටේ ලක්ෂ ගණනක් ජනයාට මූල්‍ය සහන ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

    තාවකාලික “ලොක් ඩවුන්” කිරීමක් සමග මෙවන් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග අත්වැල් බැඳගෙන යා යුතු බැව් මෙරට “ලොක් ඩවුන්” ව්‍යාපාරයේ ඇතැම් පිරිස් අවබෝධ කරගත්තේ ඔවුනගේ ප්‍රවේශය සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක් කළ පසුව පමණි. නමුත්, එපමණක් වුව ප්‍රමාණවත් නොවේ. සමස්ත හෝ තාවකාලික “ලොක් ඩවුන්” කිරීමක සමාජයීය සහ ආර්ථිකමය පල විපාක පිළිබඳ මනා තක්සේරුවකින් තොරව හුදෙක් එය මන්ත්‍රයක් ලෙස ජප කිරීම අතිශය දේශපාලන වගකීම් විරහිතභාවයක්ද වේ. ඒ සියල්ල ආණ්ඩුව විසින් බලා ගත යුතුය යන ආකල්පය වනාහී යළිත් වරක් පරම බලැති අධිකාරීමය පාලකයෙකු පිළිබඳ ෆැන්ටසිය තුළින් ගලා එන්නකි.

    දේශපාලනිකව නොමේරූ ප්‍රතිචාර

    වඩා පුළුල් චිත්‍රය නොදැක ඉක්මන් ගැලවුම්කාර විසඳුම් ඉල්ලා සිටීම යනු භීතියේ පාලනයට යටත් වීමට අමතරව දේශපාලනික ළදරුභාවය ප්‍රකට කිරීමක්ද වේ. එවන් දේශපාලනිකව නොමේරූ ප්‍රතිචාර සඳහා තවත් නිදසුනක් නම්, පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් ඉල්ලා සිටීමෙන් තොරව “මැතිවරණය කල් දමනු!” යන සටන් පාඨය ඉදිරිපත් කිරීමයි. පාර්ලිමේන්තුව නොකැඳවා, මැතිවරණය කල් දැමූ වාතාවරණයක් තුළ “ලොක් ඩවුන්” කිරීමක්ද  කළ හොත් එයින් උද්ගත විය හැකි දේශපාලන පල විපාක කවරාකාර වනු ඇත්ද? කොහොමටත් ඊළඟ මැතිවරණය පැවැත්වෙන තුරු පවතින්නේ භාරකාර ආණ්ඩුවකි.

    මෙම කාල පරිච්ජේදය තුළ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බල තුලනය පවතින්නේ විධායකයට වාසි සහගතවය. හදිසි ආපදා තත්ත්වය තුළ විධායකය තවදුරටත් බලවත් වීම අපේක්ෂා කළ යුතුය. දැනටමත් කොරෝනා වෛරසය සමග කරන සටනේ ප්‍රධාන ඒජන්තයා බවට සන්නද්ධ හමුදාව පත්වී අවසන්ය. මෙම  සිදුවෙමින් පවතින ක්‍රියාවලිය තියුණු ලෙස විශ්ලේෂණය කොටගෙන එකී පුළුල් චිත්‍රය දකින්නට අපට බාධා කරන්නේ කොරෝනාව ආශ්‍රිත “භීතිකා කර්මාන්තය”යි. 

    ඉහත කරුණු සාරාංශ කොට කිව හොත්, සමස්ත “ලොක් ඩවුන්” කිරීමක් කරා යා යුත්තේ එය නොවැළැක්විය හැක්කක් වූ තත්ත්වයක් තුළ ගන්නා අවසන් පියවර ලෙස පමණි. එය කෙසේවත් පළමු පියවර නොවිය යුතුය. කොරෝනා වෛරසයේ ප්‍රහාරයට ලක් වූ අපගේ අසල්වැසි රටවල්ද තවමත් එවන් පියවරක් කරා යාමට කලබල නොවී ඇත්තේ එනිසාය. එසේම, එවැන්නක් කරා ගියද නොගියද මෙම කොරෝනා භීතිය හමුවේ පහර කෑමට ලක්ව සිටින අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු මගින් යැපෙන සමාජ කොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. එය රාජ්‍යය මගින් පමණක් කළ යුත්තක් නොවේ.

    අපගේ සමාජය සතුව අනෙකාට පිහිට වීමේ පොහොසත් ජාතික සම්ප්‍රදායක් තිබේ. මෙරට සියලු දෙනාම සුපිරි වෙළඳසැල් හිස් කරමින් නිවසේ හුවමාරු භාණ්ඩ පුරවාගෙන සමාජ මාධ්‍ය තුළට පිවිස රට “ලොක් ඩවුන්” කරන්නැයි ඉල්ලා සිටින අයවලුන් නොවේ. විශේෂයෙන්ම වාමාංශික පක්ෂ සහ කණ්ඩායම්වලට මේ කාරණයට අදාළව නිර්මාණශීලී මැදිහත්වීම් කළ හැකිය. (මෙරට වමේ ව්‍යාපාරය ආරම්භ වූයේම මැලේරියා මර්දන ව්‍යාපාරයෙන් නොවේද?) දෙවනුව, මැතිවරණය කල් දමන්නට කරන ඉල්ලීම සමග පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම අතිනත ගෙන යා යුතුය. කළ හැකි හොඳම දේ වන්නේ මේ අර්බුදයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් පුළුල් යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් පෙරට ගෙන ඒමයි.     

    ශිෂෙකියානු කොමියුනිස්ට්වාදය

    අවසන් වශයෙන්, ශිෂෙක් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය එක් අතකින් ගෝලීය නිදහස් වෙළඳපලවාදී පුද්ගලවාදයත් අනෙක් අතින් ජාතික රාජ්‍යවාදයත් අසාර්ථක බව පෙන්වා දුන් සංසිද්ධියක් බවයි. නමුත්, විසඳුම ඇත්තේ සාධනීය අරුතින් ගෝලීයකරණය තුළය. නිදහස් වෙළඳපලවාදයේ අසාර්ථකත්වය ගැන අපට අපගේම කදිම නිදසුනක් පසුගියදා ලැබුණි. එනම්, මධ්‍යම පංතික පාරිභෝගිකයන් තරඟයට කඩ සාප්පු හිස් කිරීමේ අත්දැකීමයි. එසේම මේ අර්බුදයට ජාතික විසඳුමක් කිසිවෙකුටත් නොමැති බව දැන් සක් සුදක් සේ පැහැදිළිය.

    වෛරසය තම රටවලට ඇතුළු වීම පාලනය කිරීම පිණිස විවිධ රටවල් තම දේශ සීමා සහ ගුවන් තොටුපලවල් වසා දමන බව සැබෑය. නමුත්, මේ අභියෝගයට මුහුණ දිය හැක්කේ වඩා පුළුල් සහ විවෘත ගෝලීය සහයෝගීතාවක් ඔස්සේ පමණක් බව ඒ අතරම සියල්ලන්ට පිළි ගන්නට සිදුව තිබේ. මෑතකදී දකුණු ආසියාතික රාජ්‍ය නායකයින් මේ අර්බුදය සම්බන්ධයෙන් සමූහ කතිකාවක නිරත වීමෙන් සංකේතවත් වූයේ එයයි. අන්ත දක්ෂිණාංශික හින්දූත්වවාදයේ ප්‍රමුඛයා හට එහිදී තම සදාතනික සතුරා වන පාකිස්තානයේ නියෝජිතයා සමග එක්ව වැඩ කරන්නට සිදු විය. 

    ශිෂෙක් සීමිත අරුතින් කොමියුනිස්ට්වාදය යැයි කියන්නේ අප සියලුම දෙනාගේ පොදු පැවැත්ම සහ යහපත වෙනුවෙන් එක්ව සහ සහයෝගීව වැඩ කිරීමේ මෙම ප්‍රවේශයටය. මෑතකදී ඉතාලියේ කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා චීන සහ කියුබානු වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉදිරිපත් වීමෙන් සංකේතවත් වන්නේද එයයි. කොරෝනා රෝගීන් සහිත එක්සත් රාජධානියට අයත් නෞකාවක සිටි පිරිසකට තම රටට ඇතුල් වීමට කියුබාව අවසර දුන් බවද පසුගියදා වාර්තා විය. එහිදී කියුබානු රජය ප්‍රකාශ කළේ සෞඛ්‍යය යනු මානව අයිතියක්ය යන්න තමන් පිළිගන්නා බවයි.

    මේ අතරම ඇතැම් රටවල වයසින් වැඩි රෝගීන් නොතකා හැරීම වැනි දුක්ඛදායක සිද්ධීන් වාර්තා වූ බවද සැබෑය. නමුත්, ශිෂෙකියානු සීමිත කොමියුනිස්ට්වාදයට අනුව, මේ අර්බුදය ජය ගැනීම සඳහා අප මිනිසුන් ලෙස අපගේ ශිෂ්ටත්වය ප්‍රකට කිරීමට සමත් විය යුතුය. මිනිසුන් තුළ තවමත් පවතින කොමියුනිස්ට් ගති සොබාවයට ආමන්ත්‍රණය කරන්නේ නම්, අප දැකිය යුතු දර්ශනය වන්නේ පුද්ගලයන් සහ පවුල් කලින්ම රැස් කරගත් පාරිභෝජන භාණ්ඩ තොගයක් මැදට වී තම අසහාය පාලකයා සහ ඔහුගේ හමුදාව තමන් වෙනුවෙන් කොරෝනා වෛරසය සමග යුද වදින අයුරු රූපවාහිනී තිරයෙන් බලා සිටින දර්ශනයක් නොවේ.

    නිරෝධානය සඳහා එකිනෙකාගෙන් දුරස් සහ හුදෙකලා වන අතරම, අනෙකාට පිහිට වීමට සක්‍රීයව මැදිහත් වීමේ නිර්මාණශීලී ක්‍රම සොයා ගන්නා දැනුවත් සමාජයකි. මහජනයා සහමුලින්ම නිවෙස්වලට කොටු කර තැබීම වෙනුවට මේ අර්බුදය ජය ගැනීම සඳහා සක්‍රීය මහජන සහභාගීත්වය ලබා ගන්නා මාවත් ගැන අප සොයා බැලිය යුතු නොවේද?   

    සුමිත් චාමින්ද                      

  • නාමයෝජනා Hot News: මහරාජාගේ ගෝලයෙක් සහ මර්වින් සිල්වා අලියගෙන් එයි

    නාමයෝජනා Hot News: මහරාජාගේ ගෝලයෙක් සහ මර්වින් සිල්වා අලියගෙන් එයි

    මර්වින් සිල්වා එජාපයෙන් අනුරාධපුරයට

    හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාඅනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද ඔහුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

    තම දේශපාලන පුනරාගමනය ගැන සදහන් කරමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ තමන් දුටු ගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂා කරන බවයි.
     
    තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක වලින් මැතිවරණ ජයගෙන ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරිම වෙනුවෙන් කැපවන බවත් මර්වින් සිල්වා පවසා තිබෙනවා.

    පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ ආන්දෝලනාත්මක චරිතයක් වන මර්වින් සිල්වා එම යුගයේ එජාපයේ දැඩි විවේචනයට ලක්වූ ඇමැතිවරයෙක් වශයෙන් සැලකුණා. විශේෂයෙන් එජාපයට හිතවත් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට පහරදීම, රූපවාහිනී සංස්ථාවට කඩා පැන එහි මාධ්‍යකරුවන්ට පහරදීම, සමෘද්ධි නියාමකවරයෙකු ගස් බැදීම ආදි කුප්‍රකට චෝදනා ඔහුට එරෙහිව තිබුණා.

    රනිල් යළිත් සිරස මාධ්‍යකරුවෙක් දේශපාලනයට කැදවයි

    මාධ්‍යවේදී මහේෂ් සේනානායක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අද (18) නාම යෝජනා අත්සන් කළා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ ඉහළ පෙළ නායකයින් කිහිපදෙනෙකුම සිදුකළ ඉල්ලීමට අනුව බවයි වාර්තා වුණේ.

    එක්සත් ජාතික පක්ෂ නායකයා පසුගිය කාලය පුරාම සිරිස මාධ්‍ය ජාලයට අයත් මාධ්‍යකරුවන් රැසක් දේශපාලනයට කැදලා ගත් අතර ඔවුන් සියලු දෙනාම ( ශ්‍රීරංගා, බුද්ධික පතිරණ, මනුෂ නානායක්කාර, සුසිල් කිදොලපිටිය, එස්.එම් මරික්කාර් ආදීන්) විශේෂත්වයක්.