Category: සුපිරි Politics

  • පුළුවන්නම් උගන්ඩාවේ අපේ ඩොලර් බිලියන ගාන ගෙනත් දෙන්න- නාමල් ජනපතිගෙන් ඉල්ලයි

    පුළුවන්නම් උගන්ඩාවේ අපේ ඩොලර් බිලියන ගාන ගෙනත් දෙන්න- නාමල් ජනපතිගෙන් ඉල්ලයි

    රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි.

    ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම සමාජ ජාලය ගිණුමේ පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවයි.

    දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    උගන්ඩාවේ හංගපු ඩොලර් ගෙනත් පෙන්නන්න (වීඩියෝ)

  • මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    මහ මැතිවරණය සදහා සූදානම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද(24) දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

    මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කල අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

    එසේම නැවත පක්ෂය සමග එක්වීමට පක්ෂය හැරගිය අය බොහෝ දෙනෙකු ඉල්ලීම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

  • අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව ගැන වියාලේන්ද්‍රන් කළ ‘සුපිරි කතාව‘

    අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව ගැන වියාලේන්ද්‍රන් කළ ‘සුපිරි කතාව‘

    අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

    එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව අභියෝගය බාරගෙන රට ගොඩනැගීමට කටයුතු කළ නිසා බව ද ඒ මහතා සඳහන් කළේය.

    වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    පසුගිය කාලයේ දැඩි ආර්ථික පරිහානියක තිබූ මේ රට දැන් ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබෙනවා. එදා රටේ පැවතියේ අතේ සල්ලි තිබුණත් අවශ්‍ය දේවල් මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් බව සිහිපත් කළ යුතුයි. මේ වන විට භාණ්ඩ මිල ගණන් පවා යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව වත්මන් තත්ත්වය යහපත් නමුත්, අපට ජය ගැනීමට තවත් අභියෝග රැසක් තිබෙනවා. මේ අභියෝග මධ්‍යයේ වුව ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ජනතා ගැටලු විසදීමට ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටිනවා.

    රට ආර්ථික වශයෙන් තවදුරටත් සංවර්ධනය වන විට ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අර්බුද සමයේ රට ආර්ථික වශයෙන් කඩා වැටෙන විට ඇතැමුන් රට හැර ගියා. ඇතැම් දේශපාලන නායකයන් හැංගුණා. තවත් දේශපාලන නායකයන් රට භාර ගන්න ඉදිරියට ආවේ නැහැ. ඒ මොහොතේ ජරනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව ඉදිරියට ඇවිත් මේ රට භාර ගත්තා.

    අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව පවා දැන් නොබියව වේදිකා මතට නැඟී විවිධ කතා කියමින් මැතිවරණ ඉල්ලා සිටින තරමට රටේ තත්ත්වය වෙනස් වී තිබෙනවා. මඩ පොකුණක මාළු බෑම පහසු බව ඔවුන් සිතනවා විය හැකියි. කොහොම නමුත් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.

    නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මෙහොතේ වැඩි අවධානයක් යොමු කරන්නේ රටේ ජනතාව පීඩාවට පත්වන ගැටලු විසඳීමටයි. එම වැඩපිළිවෙළ සාර්ථකව නිම කිරීමට රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මමත් හැකි පමණින් දායක වී සිටිනවා.

    එමෙන්ම අඩු මිලට භාණ්ඩ මෙරටට ආනයන කර වැඩි මිලට අලෙවි කරන හෝ තිබෙන භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීමට මිල නියම කරන දැවැන්ත මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වනවා. අප එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එම කාර්යයේදී සමුපකාර සමිතිවලට වැඩි වගකීමක් පැවරෙනවා. මිලියන 03ක පමණ සාමාජිකයින්ගෙන් යුත් සමුපකාර ජාලය හරහා නිෂ්පාදන බෙදාහරින අතර තුර සෘජුවම භාණ්ඩ ආනයනය කර අඩු මිලට ජනතාවට අලෙවි කිරීමට හැකියාව තිබෙනවා.

  • ඩලස්ගේ සන්ධානය SJB සමග සන්ධානගත වෙයි

    ඩලස්ගේ සන්ධානය SJB සමග සන්ධානගත වෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව (NJS) සමගි ජන බලවේගය (SJB) සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තා කර ඇත.

  • මැතිවරණ ජය ගන්න බැරි අය කරන දෙයක් ගැන වජිර කළ ‘සුපිරි කතාව‘

    මැතිවරණ ජය ගන්න බැරි අය කරන දෙයක් ගැන වජිර කළ ‘සුපිරි කතාව‘

    • වර්ජකයන් ඉල්ලන ආකාරයට වැටුප් වැඩිකිරීමට නම් 18% වැට් බද්ද 21%ක් කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

    මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

    බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

  • කනක හේරත් වැඩවර්ජන ගැන කියන සුපිරි කතාව

    කනක හේරත් වැඩවර්ජන ගැන කියන සුපිරි කතාව

    මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

    මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

  • සිහින ලෝකවල කටයුතු කරන්න එපා – ජනපති රනිල්

    සිහින ලෝකවල කටයුතු කරන්න එපා – ජනපති රනිල්

    • වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි.
    • සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු.
    • ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්.
    • සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ – අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තුළින් මෙරට ආර්ථිකය ඉහළට ඔසවා තබනවා.
    • එම වැඩපිළිවෙළේදී බැංකු පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා – බැංකුකරුවන්ගේ සංසඳයට එක් වෙමින් ජනපති පවසයි.

    රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමිනි.

    රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

    එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රටට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහාය වීම සියලුදෙනාගේ වගකීම බවද පැවසීය.

    ඇතැමුන් ආජර්ටිනාවේ මාටින් ගුස්මාන් ආදර්ශයට ගෙන කථා කළද ඔහු අසාර්ථක පුද්ගලයෙකු බව පැවසු ජනාධිපතිවරයා තවත් පිරිසක් ලෝක නායකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන එන ලෙස තමන්ට පැවසුවත් සිංහල ජාතිය කිසිදා සිඟමන් යැදි ජාතියක් නොවන අතර ස්වඋත්සාහයෙන් නැගි සිටින ජාතියක් බවද අවධාරණය කළේය.

    අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේ දී බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරෙන බවත් කියා සිටියේය.

    මෙහිදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
    ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි.

  • රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියෝ හමුවේ ජනපති හෙළි කළ දේ

    රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියෝ හමුවේ ජනපති හෙළි කළ දේ

    නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී  කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  සංඝ මූලස්ථානය  වෙත අද (05) පස්වරුවේ  පැමිණි ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

    මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළ මහා නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව  අප මේ වන විට පෞද්ගලික ණය හිමියන් සහ වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් කර තිබෙනවා. අපට ගෙවීමට තිබු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක් පමණ අඩු කර ගැනීමට හැකිවීමේ සුබ ආරංචිය ඔබවහන්සේට දැනුම් දෙන්න කැමතියි .

    ඒ වගේම ණය ගෙවීම සඳහා වසර 4ක  සහන කාලයක් ලබා ගැනීමටත් සම්පූර්ණ ණය ගෙවීම සඳහා 2043 දක්වා කාලය ලබා ගැනීමටත් අපට හැකි වුණා. මෙම වාසිය ලබාගෙන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළ සැලසුම් සහගතව කටයුතු කළහොත් නැවත ණය නොගන්නා තත්ත්වයකට රට ගෙන ආ හැකියි .

    බෞද්ධ රටක් වන තායිලන්තය විවෘත ආර්ථිකය සමඟ අද ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. තායිලන්තය 1950 වසරේ දී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණයවලට වඩා දෙගුණයක ණය බරක් තිබු රටක්. නමුත් අද වන විට   අපනයනය මත පදනම්ව ධනාත්මක ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. 1991දී ශ්‍රී ලංකාවට කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒම සම්බන්ධව එවකට වියට්නාමයේ කර්මාන්ත ඇමතිවරයා මගෙන් විමසීමක් කළා. අද මට වියට්නාමය කර්මාන්ත ඇමතිවරයාගෙන්  ආයෝජන සහ කර්මාන්ත ගෙන ඒම සම්බන්ධයෙන් විමසීමට සිදු වෙලා.

    මැතිවරණය නියමිත දිනයට පැවැත් විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා. 2015දී  ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 6 සිට වසර 5ක් දක්වා  අඩු කිරීමට යෝජනා කළේ මමයි. අද මේ රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ අනුව අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට සහනයක් ලබාදීමට රජය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක පූජ්‍ය වලේගොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අත්තංගනේ සාසනරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෑතර මහින්ද ස්වාමීන් වහන්ස, පූජ්‍ය මකුලෑවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අකරැල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරක්ෂක සභාවේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , හිටපු අමාත්‍ය දයා ගමගේ, නිකායේ ආරක්ෂක සභාවේ  ධම්මික සමරවික්‍රම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ජනපතිවරණය කල් දැමීම ගැන ජී.එල්. කළ සුපිරි කතාව

    ජනපතිවරණය කල් දැමීම ගැන ජී.එල්. කළ සුපිරි කතාව

    ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙරේදා (03) ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය චමින්ද දයාන් ලේනව මහතා ජනාධිපතිවරණය කල් දැමීමට තමන්ව පොළඹවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි කළ යුතු බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය.

    මෙම මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයට (SC FR 177/2024) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය ප්‍රතික්ෂේප කරන ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ විශේෂ නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ලේනව මහතා තමාගෙන් හෝ තම නීතිඥයන්ගෙන් උපදෙස් ලබා නොගත් බව ජනපතිවරයා ප්‍රකාශ කළ බව PMD නිවේදනයේ දැක්වේ.

    මහාචාර්ය පීරිස් කියා සිටියේ ජනාධිපති ධූර කාලය වසර පහක් බව පිළිගැනීමට ජනාධිපති වික්‍රමසිංහ මහතාට PMD ප්‍රකාශය හරහා සිදුවී ඇති බවයි.

    ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පසුගියදා කළ අභියාචනය ගැන සඳහන් කළ මහාචාර්ය පීරිස් කියා සිටියේ එජාපයේ ඉහළම මට්ටමේ ආශිර්වාදය නොමැතිව මේ සම්බන්ධයෙන් ලේනව මැදිහත් නොවන බවයි.

    මීට පෙර කිසි දිනෙක බලයේ සිටි දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණයක් කල් දැමීමට උත්සාහ කළ අවස්ථාවක් නොතිබුණු බව පැවසූ මහාචාර්ය පීරිස්, ශ්‍රේෂ්ඨාධිකරණය එම අයදුම්පත නිකම්ම නිෂ්ප්‍රභ කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලය අවසන් කිරීම සඳහා 2022 ජූලි මාසයේදී එක්සත් ජාතික පක්ෂ නායක වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් තේරී පත් වූ බැවින් ජනාධිපති ධුර කාලය පිළිබඳ අවිනිශ්චිතතාවයක් තිබිය නොහැකි බව හිටපු නීති මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ පනතේ සඳහන් පරිදි මැතිවරණ කොමිෂන් සභාව සූදානමින් ඉදිරියට යනු ඇතැයි රටම අපේක්ෂා කරන බව මහාචාර්ය පීරිස් මහතා පැවසීය.

    “ඊළඟ ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 18 අතර පැවැත්විය යුතුයි. නියමිත ක්‍රියාවලියට කිසිවකුට ඇඟිලි ගැසිය නොහැකියි” යනුවෙන් ප්‍රකාශ කළ මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා නියෝජනයක් ඉදිරිපත් කිරීමේ වගකීම SJB වෙත දැනෙන බව ද පැවසීය.

     

    පසුගිය වසරේ මාර්තු මාසයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා පළාත් පාලන ආයතන අතුරුදහන් කළ බැවින්, විශාල වශයෙන් ජනප්‍රිය නොවූ පරිපාලනයේ ආයු කාලය දීර්ඝ කිරීමට වත්මන් පාලනය හැකි සෑම දෙයක්ම කරන බව විපක්ෂයට වැටහුණු බව මහාචාර්ය පීරිස් මහතා පැවසීය.

    මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (04) මිනුවන්ගොඩ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපති වික්‍රමසිංහට හෝ තම රජයට ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණයක් කල් දැමීමට අවශ්‍ය නොවන බවයි. ඉදිරි වසර පහ තුළ රට මෙහෙයවීමට වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා තේරී පත් විය යුතු බව අමාත්‍ය රණතුංග යළි අවධාරණය කළේය.

  • ‘ලේනව‘සහ  SJB  සම්බන්ධය ඇත්තක්ද ?

    ‘ලේනව‘සහ SJB සම්බන්ධය ඇත්තක්ද ?

    ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා සමග තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බව SJB මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    “සමහරු ලෙනව SJB එකත් එක්ක සම්බන්ධ කරන්න හදනවා. අපිට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එයාව අපිත් එක්ක සම්බන්ධ කරන්න හදන අය මඩ ගහන එක විතරයි කරන්නේ” සේනසිංහ අවධාරණයෙන් කීවේය.

    ලෙනව මුලින් SJB සමග සම්බන්ධව සිටි රොහාන් පල්ලෙවත්තගේ නායකත්වයෙන් යුත් ජාතික සංවර්ධන පෙරමුණේ සාමාජිකයෙකු බව මීට පෙර වාර්තා විය. ඔහු දැන් SJB කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු බවද වාර්තා විය.

    මේ අතර ලේනව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරනු ඇතැයි සේනසිංහ විශ්වාසය පළ කළේය.

    “හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහකට සීමා කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර ඇති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් නැහැ,” ඔහු පැවසීය.

  • ජනාධිපතිවරණය පෙත්සම: ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව මෙන්න

    ජනාධිපතිවරණය පෙත්සම: ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව මෙන්න

    ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

    ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා නම් කරනු ලැබ සිටිති.

    මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වැනිදා කැඳවීමට නියමිතය.

    ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.

    පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.

    “1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. “යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ “2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි” යනුවෙනි.

    මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    මූලාශ්‍රය – බී.බී.සී සංදේශය

  • ජනපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා ‘මූලික අයිතිවාසිකම් පෙත්සමක්‘

    ජනපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා ‘මූලික අයිතිවාසිකම් පෙත්සමක්‘

    ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරන තුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ව්‍යාපාරිකයකු වන සී.ඩී ලෙනින් නම් පුද්ගලයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.

  • ජනපති සමග ජාතික ආණ්ඩු නෑ – සජබ ඒකමතික තීන්දුව

    ජනපති සමග ජාතික ආණ්ඩු නෑ – සජබ ඒකමතික තීන්දුව

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු ජාතික ආණ්ඩුවකට සහය නොදෙන බවට සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනාවක් අනුමත කළ බව SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (02) ප්‍රකාශ කළේය.

    “අපි මීට වසර දෙකකට පෙර වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාතික ආණ්ඩු යෝජනාවක් ප්‍රතික්ෂේප කළා. අද අපි මේ තීරණය අලුත් කළා,” මද්දුම බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

    අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් යෝජනා කර ඇත.

  • මුදල් රාජ්‍ය ඇමැති ෂෙහානුත් සුභ පණිවුඩයක් දැනුම් දෙයි

    මුදල් රාජ්‍ය ඇමැති ෂෙහානුත් සුභ පණිවුඩයක් දැනුම් දෙයි

    ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    රටේ ආර්ථිකය යළි ගොඩ නැගීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සුබ ආරංචිය මේ වන විට ලැබී තිබෙනවා. ඉකුත් ජූනි මස 26 වනදා පැරිසියේ දී ද්වී පාර්ශ්වික ණය හිමියන් ලෙස නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සමඟ එකඟතාවන්ට පැමිණීම මෙන්ම ගිවිසුම්ගතවීම ද සිදු වුණා. ඒ වගේම එදිනම චීන එක්සිම් බැංකුව සමඟ ද එකඟතාවන්ට පැමිණ ගිවිසුම්ගතවීම සිදු වුණා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් අප විසින් සම්පූර්ණ කර තිබෙනවා.

    ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාවේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක තිබෙනවා. එහෙත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුබවාදී ලෙස දැකීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. රටක් ලෙස මෙය ඉතාමත් කණගාටුදායක කාරණයක් බව පැවසිය යුතුයි. අප පළමුව සිතා සිටියේ අප විසින් සිදුකළ කාර්යය පිළිබඳව ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශයන් ඒ සම්බන්ධයෙන් වන අනවබෝධය නිසා සිදුකරන්නක් බවයි.

    නමුත් මේ වන විට පැහැදිලි වන කරුණක් වන්නේ එම ප්‍රකාශ දේශපාලන කුහකත්වය හේතුවෙන් සිදු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතන විට විපක්ෂය වෙතින් ඒ බව මනාව පෙන්නුම් කෙරුණා. එබැවින් දේශපාලනයත්,

    ආර්ථිකයත් මිශ්‍ර කර ගනිමින් රටේ ඉදිරි ගමනට අකුල් හෙළන ව්‍යාපාරවල තරම ජනතාවට පැහැදිලි විය යුතුයි.

    ඔවුන් ඝානාව, ඉක්වදෝරය සහ ආජන්ටිනාව වැනි රටවල තත්ත්වය පිළිබඳ යම් යම් ප්‍රකාශ සිදු කළා. නමුත් අඩු ආදායම් ලබන රටවල් සහ මැදි ආදායම් ලබන රටවල්වල සිදු කරන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තිබෙන වෙනස්කම් අවබෝධ කරගත යුතුයි. අඩු අදායම්ලාභී රටක සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා මැදි ආදායම්ලාභී රටක් වන අප රටට අදාළව සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත සංකීර්ණ වන බව පැවසිය යුතුයි. නමුත් මැදි ආදායම් රටවලට සාපේක්ෂව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පැවසිය යුතුයි.

    තව ද ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන කරුණු 03ක් අප විසින් ක්‍රියාවෙන් ඔප්පු කිරීමට සූදානම්ව සිටිනවා. ඒ අනුව අපගේ ණය හිමියන් විසින් ණය ගෙවීම සඳහා 2024 සිට 2027 දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා. එම කාලය තුළ අපට ලැබෙන ඩොලර් බිලියන 05ක පමණ ප්‍රතිලාභය රටේ ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් යෙදවීමට අවකාශය ලබාදී තිබෙනවා.

    ඒ වගේම 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 95%ක් දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුව තිබෙනවා. 2027 සහ 2032 කාල රාමුව තුළ දළ මූල්‍යණ අවශ්‍යතාව 13% දක්වා අඩුකරගත යුතුයි. විදේශීය ණය සේවාකරණය 2027 – 2032 කාල පරිච්ඡේදය තුළ 4.5% දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුයි.

    මෙම ඉලක්ක 03 සම්පූර්ණ කිරීම වෙනුවෙන් නිශ්චිත වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා අප මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව මෙරටට ණය තිරසරභාවය ලඟා කර ගැනීම වෙනුවෙන් පැවැති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත් වී තිබෙනවා.

    මේ ආකාරයට සිදුකළ ආර්ථික කළමණාකරණය තුළ අද වන විට ශ්‍රි ලංකාවේ උද්ධමනය 70% සිට 1.7%ක් දක්වා අඩුවී තිබෙනවා. රටේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළ වසරක භාණ්ඩාගාර බිලපත්වල පොලී අනුපාතය 10% මට්ටමකට පැමිණ තිබෙනවා.

  • Today Parliament: ජනපතිගෙන් සැර කතාවක් සමග ප්‍රශ්න පත්‍රයක්

    Today Parliament: ජනපතිගෙන් සැර කතාවක් සමග ප්‍රශ්න පත්‍රයක්

    • මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක්.
    • පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට.
    • ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කෙරේ.
    • ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම ඇතුළු සැලකිය යුතු මුල්‍ය අවකාශයක්.

    ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම්වල දින ගණන් රස්තියාදු වීම අවසන් වීම සුබ ආරංචියක් නොවේද. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. මෙම වැඩපිළිවෙළ තුළ ඉදිරියටම යා යුතුයි- කවුරු බලයට ආවත් ආපසු හැරීමක් නැහැ. වැල් පාලමෙන් වැටෙයි කියා බල සිටි පිරිසකුත් සිටියා – වැටෙන තුරු බලා නොසිට රට ගොඩනැංවීමට වෙහෙසෙමු. මම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් නොව, රට වෙනුවෙන්. රට යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ව්‍යායාමයට පක්ෂ, පාට බේදයෙන් තොරව එක්වන ලෙස රටට ආදරය කරන සියලුදෙනාට ආරාධනා කරනවා. අපි එකට එක්වී මව්බිම යළිත් ඉහළට ඔසවා තබමු.

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට මෙම විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මෙය රට ලැබු සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම සුබ ආරංචියක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    මෙම සුබ ආරංචිය අනාගතය දක්වා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහන සාර්ථක කර ගනිමින් රට ගොඩනැගීමේ අභියෝගාත්මක ව්‍යායාමට පක්ෂ පාට බේදයෙන් තොරව එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාට යළි ආරාධනා කළේය. තමා පසුගිය අවුරුදු දෙක පුරා දේශපාලනය නොකළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සෑම විටම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව ද අවධාරණය කළේය.

    මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පුර්ණ කථාව මෙසේය,

    2022 වසරේ ණය ගෙවාගන්නට බැරිවුණු රටකට යළිත් ආර්ථික ශක්තිය ලබා දීමේ අභියෝගාත්මක ගමනේ තවත් වැදගත් සංධිස්ථානයකට අපට ගිය සතියේ එළැඹෙන්නට හැකි වුණා. පසුගිය ජූනි 26 වැනිදා අපේ නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළැඹීමට අපට පුළුවන් වුණා. කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් අපේ රට නියෝජනය කරමින් මෙම එකඟතාවන්ට සහ ගිවිසුම්වලට අත්සන් කළා. එදිනම රාත්‍රියේ මම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මුළු මහත් ජාතියටම ඒ පිළිබඳ කරුණු පෙන්වා දුන්නා. ආර්ථිකය යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ගමන ආරම්භ වූ දවසේ පටන් මම විටින් විට පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කළා. මුලින්ම අප අනුගමනය කරන සැලසුම් ගැන පාර්ලිමේන්තුව හමුවේ විස්තර කළා. ඉන් පසුව අප ලබා ඇති ප්‍රගතිය ගැන කරුණු පැහැදිලි කළා. ඒ අනුවම යමින් මම අද මේ සභාව හමුවේ වර්තමාන තත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරන්නට කැමතියි.

    ගරු කතානායකතුමෙනි,

    මීට අවුරුදු දෙකකට පමණ කලින්, රටේ ආර්ථිකය යළි නංවාලීමේ අභියෝගය මම බාරගත්තාට පස්සෙ අපේ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම මේ පාර්ලිමේන්තුව හමුවේ තැබුවා.

    1. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.

    2. ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමග එක්වී අයිඑම්එෆ් සම්බන්ධීකරණය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම

    3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම. රටේ ආර්ථිකය ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ඉදිරිපත් කිරීම

    4. මේ වැඩ පිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණය බරින් තොර දියුණු ආර්ථිකයක් ඔස්සේ සංවර්ධිත දේශයක් බවට පත්වීම
    එතැන් පටන් අප දුෂ්කර කටුක ගමනකට මුල පිරුවා. අනාගතය සාර්ථක කර ගැනීමට හැකි වෙන්නේ ඒ ගමන ඔස්සේ බව අප දැන සිටියා. පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. 2023 සහ 2024 අයවැය ලේඛන මගින් මේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළා.

    2023 මාර්තු මාසය වෙද්දී අයි.එම්.එෆ් විස්තීරණ ණය පහසුකම සඳහා එකඟත්වය ලබා ගැනීමට අප සමත් වුණා. එහි පළමු වාරිකය 2023 මාර්තු 20 වැනි දා ලබා ගැනීමට අප සමත් වුණා. අප ලබා ගෙන තිබූ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව දෙවැනි වාරිකය 2023 දෙසැම්බර් 12 වැනිදාත්, තුන්වැනි වාරිකය 2024 ජූනි 12 වැනිදාත් අපට ලැබුණා. අයි.එම්.එෆ් වැඩපිළිවෙල පටන් ගත් දා සිටම අප ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා ආරම්භ කළා. මෙවැනි කාර්යයක් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම උදෙසා ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන අන්තර්ජාතික ආයතනවල සහය අප දිගින් දිගටම ලබා ගත්තා. අපේ විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37 යි. එයින් ඩොලර් බිලියන 10.6 ක් ද්විපාර්ශවීය ණය. ඩොලර් බිලියන 11.7 ක් බහු පාර්ශවීය ණය. ඩොලර් බිලියන 14.7 ක් වාණිජ ණය. ඒ අතරින් බිලියන 12.5 ක් ස්වෛරී බැඳුම්කර.

    ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හෙවත් ප්‍රතිව්‍යූහගත කිරීම සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුළත්, ඉන් පිටතදීත් විවිධ අය විවිධ අදහස් පළ කරනවා. ඒ සමහර කරුණු සත්‍යතාවයෙන් තොරයි. සමහර කරුණු අර්ධ සත්‍ය. ඒ නිසා ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර පිළිවෙත සහ සත්‍ය කරුණු මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න කැමතියි. මොනවද මේ විදේශ ණය කියන්නෙ. ඒ ඒ රටවල් ණය දෙන්න සල්ලි කොහෙන්ද ලබා ගන්නෙ? අපිට ඔවුන් ණයට දෙන්නෙ ඒ රටවල ජනතාවගේ බදු මුදල්. ඒ වගේම ඒ රටවල ජනතාවගේ ඉතුරුම්.

    අපේ රටේ බොහෝ දෙනා යෝජනා කරන්නේ අපි කිසිම කැපවීමක් නොකර, විදේශ ණය සඳහා සහන ලබා ගත යුතු බවයි. නමුත් එහෙම වෙන්නේ නෑ. එය ප්‍රායෝගික නෑ. ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එහෙම කරන්නත් බෑ. වෙනත් රටවල ජනතාවගේ බදු මුදල් වගේම, ඒ අයගේ ඉතුරුම් සම්බන්ධ තීරණ ගැනීමේදී අපටත් කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. අපි කැපවීමක් කරන්නේ නැත්නම්, ඒ රටවල ජනතාව අප වෙනුවන් කැපවීමක් කරන්නෙත් නෑ.
    ඒ විතරක් නෙවෙයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීම අසීරු ව්‍යායාමයක්. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් කියන්නේ මේ කාර්යය අසීරු සහ

    වේදනාකාරී කාර්යයක් බවයි. එය ණය හිමියන්ටත්, ණය ගැතියන්ටත්, ණයගැති රටේ පුරවැසියන්ටත්, මැදිහත් කරුවන්ටත් වේදනාකාරී ක්‍රියාවලියක්.

    නිල ද්විපාර්ශවික ණය හිමියන් මූලික ණය මුදලෙහි කප්පාදුවක් කිසි විටෙක සිදු කරන්නේ නෑ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාල සීමා, පොලී අනුපාතය අඩු කිරීම් ආදියෙන් තමයි මේ සහන ලබා දෙන්නේ.
    නමුත් මේ යථාර්ථය නොදැන සමහරු මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කළේ නෑ කියා දොස් කියනවා. තවත් සමහරු කියනවා ඔවුන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් සියයට පණහක් කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. මෙවැනි කාර්යයක් සඳහා දෙපාර්ශවයම එකඟ විය යුතු බව අප අවබෝධ කරගත යුතුයි. අප කියන දේම කරන්න ණය හිමියන් කටයුතු නොකරන බවත් අප අවබෝධ කරගත යුතුයි. එවැනි ප්‍රකාශවලින් පේන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි.

    ණය ප්‍රතිව්‍යූහගතකරණය කවර මට්ටමකින් සිදු කළ යුතු ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාටවත්, ණය ගැතියාටවත් නෙවෙයි. ඒ පිළිබඳ තීරණය ගන්නේ අයිඑම්එෆ් සංවිධානයයි. රටක ණය තිරසරභාවය ඇති කරලීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යූහගත සැලැස්ම කවරක්ද කියා තීරණය කරන්නේ ඔවුන්. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය පිළිබඳව ස්වාධීන තක්සේරුවකින් පසු ඔවුන් ඒ තීරණය ගන්නවා.

    අපේ රටේ ණය තිරසරභාවයක් නොමැති බව අයිඑම්එෆ් සංවිධානය අපට දැන්වූයේ 2022 වසරේ අප අමාරුවේ වැටෙන්නට බොහෝ කාලයකට කලින්. ඒ වගේම අයිඑම්එෆ් සංවිධානය අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට වෙනස්. අඩු ආදායම් රටවලට එක ක්‍රමයක්. මැදි ආදායම් රටවලට තවත් ක්‍රමයක්.

    මම එක් උදාහරණයක් දක්වන්නම්. ශ්‍රී ලංකාව මැදි ආදායම් ගණයට වැටෙන රටක්. මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශ්ලේෂණ රාමුව භාවිත කර, ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු කළ මුල්ම මැදි ආදායම් ලබන රටවල් අතරින් එකක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 කට වඩා අඩු කර ගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ඝානාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම මීට වෙනස්. ඒ සැලසුම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණයෙහි වර්තමාන වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 55 කට වඩා අඩු කර ගත යුතුයි. අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. ඝානා ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් තබා අපි වගේම එම වැඩසටහන ඉදිරියට කරගෙන යනවා.ඒ අනුව අයි.එම්.එෆ් ගිවිසුම සාර්ථකව ඉදිරියට කරගෙන යන්නේ අපේ රටවල් දෙක පමණයි.

    අඩු ආදායම් ලබන රටවල් සඳහා පොදු ක්‍රියා රාමුවක් තියෙනවා. පොදු ක්‍රියා රාමුවට අයත් රටවලට තමන්ගේ ණය හිමියන් සියල්ල එක වේදිකාවට කැඳවා තීරණ ගැනීමේ අවකාශය ලැබෙනවා. ඒත් අපට එය අදාළ නැහැ. ඊට හේතුව වෙන්නේත් අප මැදි ආදායම් රටක් වීමයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සංකීර්ණ ක්‍රියාවලියක්.

    මේ පසුබිම මත අපට නිල ණය හිමි කමිටුවේ සාමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමඟත්, චීනයේ එක්සිම් බැංකුව සමඟත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. හැබැයි මේ පාර්ශවයන් එකකටවත් සුවිශේෂයක් කිරීමට අපට අවසරයක් නැහැ. ඔවුන් දෙපාර්ශවයටම සමානව සැලකෙන පොදු කොන්දේසි මාලාවක් සකස් කිරීම තමයි, අප ඉදිරියේ තිබුණු දැවැන්තම අභියෝගය. මේ සංකීර්ණ අභියෝගයට අප මුහුණ දුන්නේ වර්තමානයේ පවත්නා භූ දේශපාලනික ප්‍රවණතා මධ්‍යයේ. ඒ නිසා අපේ ඉලක්කය වෙත ගමන් කිරීම ලේසි පහසු වුණේ නෑ.

    නමුත් අපි මේ සියළු දුෂ්කරතා සහ අභියෝග මැද අයිඑම්එෆ් වැඩසටහන ආරම්භ වී මාස 15 ක පමණ කෙටි කාලයක් තුළ විදේශීය ද්විපාර්ශවික නිල ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපට පුළුවන් වුණා. මේ සා කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මෙය සුවිශේෂී ජයග්‍රහණයක්. සුබ ආරංචියක්.

    ගරු කතානායකතුමෙනි,

    ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්නට කැමතියි.

    • මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා.

    • පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලී අනුපාතය සියයට 2.1 ක හෝ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා.

    • ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිවහොත්, අපේ ණය ගෙවා අවසන් කළ යුතු වන්නේ 2043 වසරේ දී.

    • ණය සේවාකරණ වියදම කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5 ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා.

    • මේ නිසා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශය ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මුල්‍ය අවකාශයක් උදාවෙනවා.

    ගරු කතානායකතුමෙනි,

    2023 වසරේදී අපි දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් අවසන් කළා. මේ ක්‍රියාවලියේදී අපි ඉතාම පරිස්සම් සහගතව කටයුතු කළා. අපේ රටේ මුල්‍ය ආයතන දුර්වල නොවන ආකාරයට සහ ඒ ඒ ආයතනවලට ප්‍රශ්න ඇති නොවන ආකාරයට වගේම අපේ තැන්පතුකරුවන් අවදානමකට ලක් නොවන ආකාරයට තමයි, අප දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් සිදු කළේ.

    දැන් අප අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වූ විදේශීය ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් සාර්ථක කරගත්තා. ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව බහුපාර්ශවීය ණය මේ වැඩ පිළිවෙලට අදාළ නැහැ. ඊළඟට අපට ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා.

    තව නොබෝ දිනෙකින් මේ සියළු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්‍ෂා කරනවා. ඉන් පසු ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සියළු ගිවිසුම් හා ලියැවිලි මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා. ඉන් පසු ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් අවධානයක් යොමු කරන්නටය කියා මම රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටිනවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ගැඹුරු විග්‍රහයක් සිදු කරන ලෙස මම හර්ෂ ද සිල්වා මහත්මයට කියන්න කැමතියි.

    ගරු කතානායකතුමෙනි, මෙතෙක් අප පැමිණි නිවැරදි ගමන් මග නිසා කෙටි කාලයක් තුළ මෙවැනි ප්‍රගතියක් අත්පත් කරගන්න අපට පුළුවන් වුණා. දැනට අප ලබා ගෙන ඇති සාර්ථක ප්‍රතිඵල නිසා රටට ලැබෙන ප්‍රතිලාභ ගැනත් මම මේ ගරු සභාව ඉදිරියේ කරුණු දක්වන්නට කැමතියි. ණය ගෙවන්නට හැකියාව නැති බව 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග කිසිදු විදේශ රටක් අපට ණය ආධාර දුන්නේ නෑ. නීත්‍යානුකූලව ඔවුන්ට එවැනි පසුබිමක ණය දෙන්නත් බෑ.

    මේ අවස්ථාවේ මිත්‍ර රටවල් දෙකක් හැටියට ඉන්දියාව සහ බංග්ලාදේශය අපට කෙටි කාලීන ණය ආධාර ලබා දුන්නා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන විවිධාකාරයෙන් සහන ණය ආධාර ලබා දුන්නා. ඒ හැරුණු විට වෙනත් කිසිදු රටකට අපට දීර්ඝ කාලීන ණය ලබා දීමට හැකියාවක් සහ අවසරයක් තිබුණේ නෑ.

    සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන බොරු ආරංචි පතුරවනවා. මේ අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පෝස්ටුවක මෙහෙම තිබුණා.

    “ආරංචිය සුබයි. පිනා රට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71 යි. දැන් 100 යි.”

    අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කරලා තියෙනවා. හැප්පිලා තියෙනවා. හැබයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කරලා නෑ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්නේ ඔබතුමාවත් විනාශ කරන්න.
    මම මේ පෝස්ටුවෙන්ම ඊට අදාළ කරුණු ගෙනහැර දක්වන්නම්.

    අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37 යි. හැබැයි මේ පුද්ගලයා එය බිලියන 71 ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100 ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුළ අප ණය ගත් බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටකට අපට ණයක් දීමට නීත්‍යානුකූල අයිතියකුත් නෑ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබේ අනුගාමිකයන් කිසියම් දවසක ඔබේ පක්‍ෂය බලයට පත්කරන්න හදන්නේ බොරුවෙන්ද? ඒ ගැන සිතා බලන්න.

    ගරු කතානායකතුමෙනි,

    මේ අවබෝධතා ගිවිසුමෙන් පසුව අපට ද්විපාර්ශවීය විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යළිත් උදා වී තියෙනවා. අපේ නිල ණය හිමියන්, පැරිස් සමාජය, චීනයේ එක්සිම් බැංකුව ආදියෙන් යළිත් ණය ආධාර ලබා ගැනීමට අපට අවස්ථාව සැලසෙනවා.

    ඒ වගේම විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමග නැවතුණ ව්‍යාපෘති ගණනාවක් යළිත් ආරම්භ කරන්න හැකි වෙනවා. ණය ගෙවීමට නොහැකි රටක් ලෙස නම් කෙරුණු නිසා, ඒ ඒ රටවල් ලබා දුන් මුදල් නැතිවීමෙන් අපේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අතර මග නැවතුණා. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘති. ඒ සියල්ල යළි ආරම්භ කරන්න අපට හැකි වෙනවා. මෙය අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් වෙනවා. ඒ නිසාම ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. රැකියා ආදායම් මාර්ග වැඩි වෙනවා. නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි.

    විදේශ ව්‍යාපෘති අතරමග නැවතීමේ තවත් ප්‍රතිඵලයක් වුණේ අපේ ආර්ථික සංවර්ධන වේගය පහළ වැටීමයි. මේ වන විට අප ප්‍රගතියක් ලබා තිබෙනවා. යළිත් ලෝක ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දී සංවර්ධන වේගය තව තවත් ඉහළ නංවා ගැනීමට අපට හැකි වෙනවා.

    ගරු කතානායකතුමෙනි, විදේශ ණය සම්බන්ධයෙන් සමාජයේ පතුරවන මිථ්‍යාවන් පිළිබඳවත් කරුණු කීපයක් මම අවධාරණය කරන්න කැමතියි.

    ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටකට තනිව යැපෙන්නට බැහැ. තනිව යැපෙන්නට තරම් ආදායමක් අප තවම උපදවා ගන්නේ නෑ. ඒ නිසා අපට ණය සහ ආධාර ලබා ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ ණය සහ ආධාර අප ආයෝජනය කළ යුත්තේ එදිනෙදා කන්න බොන්න, පඩි වැඩි කරගන්න වගේ කාර්යයන් සඳහා නෙවෙයි. නිදහසෙන් පස්සේ අපේ රට වරද්දා ගත් ප්‍රධාන දෙයක් තමයි ඒ. පඩි වැඩි කරන්න ණය යොදා ගත්තා. ආණ්ඩුවේ රස්සා දෙන්න ණය යොදා ගත්තා. ආහාර නොමිලයේ දෙන්න ණය යොදා ගත්තා. ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, විදුලි බලය වගේ දේ අඩුවට දෙන්න ණය යොදා ගත්තා. රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවන්න ණය යොදා ගත්තා. නමුත් අපි ණය ගන්නේ නැතිව අස්වැසුම, උරුමය සින්නක්කර ඔප්පු, අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. සමහර දේශපාලන කණ්ඩායම් ඉදිරියටත් මේ ආකාරයටම ක්‍රියා කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. අපි ආවාම පඩි වැඩි කරනවා. අපි ආවාම බදු අඩු කරනවා. අපි ආවාම සහන දෙනවා. ඒ වගේ දහසකුත් එකක් පොරොන්දු. හැබැයි ඒ සඳහා මුදල් උපදවා ගන්නා ක්‍රමය ගැන ඔවුන් වචනයක් කතා කරන්නේ නෑ. හැබැයි, මම මේ වගකීම් බාර ගත්තාට පස්සෙ ආණ්ඩු ගණනාවක් කළ ඒ වැරදි වැඩේ නැවැත්තුවා. මීළඟට මම පෙන්වා දෙන්න යන්නේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය නිසා අපට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ පිළිබඳවයි.

    2022 වන විට විදේශ මුදලින් නාමනය කළ ණය ගෙවීම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.2 ක් අප වැය කළ යුතුව තිබුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ එය සියයට 4.5 දක්වා අඩු කරගත යුතුයි. 2022 වෙද්දී දළ මූල්‍යයන අවශ්‍යතා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6 ක්. 2027 සිට 2032 දක්වා කාලය තුළ එය සියයට 13 කට අඩුවෙන් පවත්වාගත යුතුයි. මෙමගින් රාජ්‍ය සේවාවන් සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට අවකාශය සැලසෙනවා. ඒ වගේම දේශීය පොලී අනුපාතිකයන් තවදුරටත් පහළ හෙළීමටත් ඉඩ කඩ ලැබෙනවා.

    ගරු කතානායකතුමෙනි,

    අගාධයකට වැටී තිබුණු අපේ රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමේ වෑයමට පක්‍ෂ භේදයකින් තොරව සහය දක්වන්න කියා මම මේ සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා. දීර්ඝ කාලයක් තිස්සේ මට දේශපාලන වශයෙන් එරෙහිව කටයුතු කළ අය පවා රට ගැන හිතලා මේ කාර්යයට ප්‍රසිද්ධියේම සහය දැක්වූවා. තවත් සමහරු නිහඬව සහය දැක්වූවා. තවත් පිරිසක් දිගින් දිගටම බාධා කළා. විවේචනය කළා. මේ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ මම දැරූ ස්ථාවරය වුණේ වහාම අයිඑම්එෆ් සහය ලබා ගත යුතු බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා කැඳවූ සර්ව පාක්‍ෂික සාකච්ඡාව විපක්‍ෂයේ යම් යම් කණ්ඩායම් වර්ජනය කරද්දී මම තනි මන්ත්‍රිවරයෙක් ලෙස ඊට සහභාගී වුණා. මගේ මතය මම පැහැදිලිවම ප්‍රකාශ කළා. අපට යන්න තියෙන එකම මාර්ගය අයිඑම්එෆ් සහය ලබා ගැනීම බව මම කිව්වා. ඊට මාස කීපයකට පස්සෙ රටේ ආර්ථිකය ගොඩනැංවීමේ අභියෝගය කිසිවෙකුත් බාර නොගත් පසුබිමක මම මේකට බෙල්ල තිබ්බා. ඒ අනතුරුදායක අභියෝගය මම බාර ගත්තේ මගේ රට වෙනුවෙන්. මගේ මව්බිම වෙනුවෙන්. ලක් මාතාව වෙනුවෙන්.

    ලක් මාතාව අනතුරුදායක වැල් පාලමෙන් කෙසේ හෝ එගොඩ කරන බව ජනතාව ඉදිරියේ සපථ කරමින් මම මේ අභියෝගය බාර ගත්තා. සියළු ජන කොටස් මේ වැඩපිළිවෙලට සහය දුන්නා. ඒ අයට මගේ ස්තුතිය මම යළිත් පුද කරන්නට කැමතියි. විවිධ දුෂ්කරතා මැද අයිඑම්එෆ් සාකච්ඡා අප ඉදිරියට ගෙන ගියා.ඒ අවස්ථාවේ විවේචකයන් කිව්වේ කිසි දිනෙක අයිඑම්එෆ් සාකච්ඡා සාර්ථක කර ගැනීමට හැකි වෙන්නේ නෑ කියලයි. හැබැයි අපි ඒ සාකච්ඡා සාර්ථක කරගත්තා. එතකොට විවේචකයන් පීල්ල මාරු කළා. අයිඑම්එෆ් සහයෝගයෙන් ගොඩ ගිය කිසිම රටක් නැති බව එක කණ්ඩායමක් කිව්වා. තමන් බලයට පත්වුණාම අයිඑම්එෆ් එකඟතාවලට ගරු කරන්නේ නැති බව තවත් අය කිව්වා.හැබැයි අපි සාර්ථකව ඉදිරියටම ගියා. විවේචකයන් ආයෙම පීලි මාරු කරා. අයිඑම්එෆ් කොන්දේසි සපුරන්න අපට බැරිවෙලා තියෙන බව සමීක්‍ෂණ වාර්තා උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දුන්නා. ඒ නිසා අපේ වැඩපිළිවෙල අසාර්ථක බව කිව්වා. පළමු වාරිකය ලැබුණාට දෙවැනි එක ලැබෙන්නේ නෑ කියලා කිව්වා. හැබැයි දෙවැනි වාරිකයත් අපට ලැබුණා.

    ඒ පාර ආපහු විවේචකයන්ගේ පීලි මාරු වුණා. අයිඑම්එෆ් කොන්දේසිවලින් සියයට අච්චරක් මෙච්චරක් සපුරන්න අපි අසමත් වෙලා කියලා අහවල් සමීක්‍ෂණ ආයතනය කියා තිබෙනවා. දැන් ඉතින් තුන්වැනි වාරිකය ගැන බලාපොරොත්තු තියන්න බෑ කියමින් ඒ අය රටම බය කරන්න උත්සාහ කළා.හැබැයි තුන්වැනි වාරිකයත් අපට ලැබුණා.

    පීල්ල නැවතත් මාරු වුණා. තුන්වැනි වාරිකය ලැබුණත් කිසි ලෙසකින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථක කරගන්නට අපට ලැබෙන්නේ නෑ කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි. මේ ප්‍රතිව්‍යූහගතකරණයට එකඟ වෙන්න එපා කියලා අපේ ණය හිමි රටවලට විවිධාකාරයේ බලපෑම් කරන්නටත් උත්සාහ කළා.හැබැයි ණය ප්‍රතිව්‍යූහගතකරණයත් අප සාර්ථක කර ගත්තා.

    ඒ පාර ආයෙම පීලි මාරු කළා. දැන් කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවිලා නැති නිසා ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් පලක් නෑ කියලා. ඒ නිසා තාමත් අපි බංකොලොත් රටක් කියලා. මම ඒ ගැනත් යමක් කියන්නට කැමතියි.

    2019 වෙද්දී අප හිටියේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල බී මට්ටමේ. 2020 දී ශ්‍රී ලංකාව සී මට්ටමට පහත දැම්මා. ඒ කියන්නේ ණය ගෙවා ගන්න බැරි බව ප්‍රකාශ කරන්න බොහෝ කාලයකට කලින්. අපි පහළම මට්ටමට වැටුණේ ණය ගෙවන්න බැරි වුණාට පස්සෙ නෙවෙයි. එයින් අපට පැහැදිලි වෙන්නේ ශ්‍රේණිගත කිරීම් සඳහා පදනම් කරගන්නා වෙනත් නිර්ණායක ගණනාවක් තියෙන බව.

    දැන් අප සාර්ථක ප්‍රතිඵල ගණනාවක් පෙන්වා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථකව නිම කළා. විදේශීය ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථක කර ගත්තා. ඉතිරිව ඇති වාණිජ ණය ප්‍රතිව්‍යූහගතකරණද කඩිනමින්ම නිම කර ගැනීමට අපට හැකි වේවි.

    මේ සියල්ල සමග අපේ ආර්ථික දර්ශක ඉහළ නැංවෙනවා. අපේ ආර්ථික දර්ශක පදනම් කරගෙන නිසි අවස්ථාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට ජාත්‍යන්තර මුල්‍ය ආයතන කටයුතු කරාවි. අපේ විවේචකයන්ට ආපහු පීලි මාරු කරන්න සිද්ධ වෙන්නේ අන්න එතකොටයි.

    ගරු කතානායකතුමෙනි, ආණ්ඩුවේ අපි සහ මේ විවේචකයන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ කයිවාරුකරුවන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ පම්පෝරිකරුවන් අතර වෙනසක් තියෙනවා.අපි රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක, නිවැරදි මාර්ගයක ඉදිරියට යනවා. ඔවුන් බලය වෙනුවෙන් දවසින් දවස එක එක කතා කියනවා.

    මේ සියල්ල දෙස අවධානයෙන් සහ සීරුවෙන් බලා සිටින කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විවිධ දේශපාලන පක්‍ෂවලට අයත් ඔවුන් මේ සියල්ල ස්වාධීනව සහ අපක්‍ෂපාතීව නිරීක්‍ෂණය කරනවා. ඔවුන් ඉවසිලිවන්තව මේ සියල්ල බලා සිටිනවා. පක්‍ෂයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් හෝ පෙනී සිටිනවාද, එහෙමත් නැත්නම් රට වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න ගැන ඔවුන් දැඩි ලෙස අවධානය යොමු කර තියෙනවා.

    ගරු කතානායකතුමෙනි, මීට අවුරුදු දෙකකට කලින් තිබුණු තත්වය මොකද්ද? අපට ඒ තත්වය අමතක කරන්න පුළුවන්ද? ආර්ථික පැත්තෙන් පමණක් නෙවෙයි. සමාජයීය, දේශපාලනික පැතිවලින් පවා. ඒ තත්වය වෙනස් වී, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සුබ ආරංචිය එද්දී සමහරු කලබල වුණු විදිය අප දැක්කා. භූමිතෙල් ගෑවුණු ගැරඬියන් වගේ ඒ අය හැසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ? අයිඑම්එෆ් වැඩ පිළිවෙල සාර්ථක වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන එක අවසන් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? සියයට තිහකට වඩා ඉහළ නැග තිබුණු බැංකු පොළිය සියයට 9 ක් පමණ දක්වා පහළ වැටීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? සියයට 70 ක් වගේ ඉහළ අගයකට ගිය උද්ධමනය පසුගිය මාසයේ අවසානයේදී සියයට 1.7 ක් දක්වා අඩු වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? එක දිගට කාර්තු 6 ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය යළි වර්ධනය වෙන්න පටන් ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? 2022 මැයි මාසය වෙද්දී පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5410 ක් දක්වා ඉහළ නැංවීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? රුපියල ශක්තිමත් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? ප්‍රාථමික ගිණුමේ හිඟය, අතිරික්තයක් ලෙස පරිවර්තනය වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? සල්ලි අච්චු ගහන්නේ නැතිව අයවැය හිඟය පියවා ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? විදේශ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? ගාලූ මුවෙදාර පිට්ටනියටවත් ගුටි නොකා යන්න නිදහසක් නොතිබුණු පක්‍ෂ නායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? පාර්ලිමේන්තුවට එන්නට තියා තම තමන්ගේ ගෙවල්වල ඉන්නවත් බැරි තරම් භීෂණයක් තිබුණු රටක්, කිසිවෙකුට බයක් හැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනකට ගෙන ඒම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? රටට යහපතක් වෙන එක සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

    ගරු කතානායකතුමෙනි, මෙතැනින් ඉදිරියට යන්න අපට ඇති එකම මාර්ගය මෙයයි. මේ සුබ ආරංචිය අනාගතය දක්වා රැගෙන යන්නට හැකි එකම මාර්ගය මෙයයි. පසුගිය කාලය තුළ අප ලැබූ ජයග්‍රහණ මගින් එය යළි යළිත් තහවුරු වී තියෙනවා. වැල් පාලමේ අසීරු ගමන අප ඉදිරියටම යා යුතුයි. කවුරු බලයට ආවත් ආපසු හැරීමක් අපට නෑ. ආපසු හැරී වෙන පාරක ගියොත් මාසයක් දෙකක් යන්න කලින් ඉන්ධන නෑ. ගෑස් නෑ. විදුලි බලය නෑ. මහා ව්‍යසනයකට රට ඇද වැටෙනවා. වසර 25 කට තිහකට යළි ගොඩ එන්නට බැරි ඛේදවාචකයකට මේ රට ඇද වැටෙනවා. හුණුවටයේ කතාව නාට්‍යයේ ගෲෂා දරුවා වඩාගෙන වැල්පාලමේ යන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේ වෙන විකල්පයක් නෑ. ඒ වෙලාවෙ ළඟ ඉන්න කෙනෙක් ගෲෂා ගෙන් මෙහෙම අහනවා.

    ‘මැරෙන්න හදනවද? පේනවද හෙළ..! පාතාල ලෝකෙ වගේ….!!’

    ඒත් ගෲෂා අවදානම් තීරණය ගන්නවා.ඇය දරුවත් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා.හැබැයි හුඟක් දෙනා බලන් ඉන්නෙ ගෲෂා වැල් පාලමෙන් පහළට වැටෙයි කියලා. ඒත් අන්තිමේදි ඇය දරුවාවත් රැගෙන ආරක්‍ෂිතව වැල් පාලමෙන් එගොඩ වෙනවා.බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම.‘මං උන්නෙම වැටෙයි කියලා…. අපරාදෙ….’

    අන්න එහෙම කාලකන්නි සිතිවිලි තියෙන අය අදත් මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයටත් කියන්නේ, රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සිතිවිල්ල වෙනස් කරගන්න කියලයි. වැටෙන තුරු බලා නොසිට අපි රට ගොඩනංවන විදිය ගැන හිතමු. ඒ වෙනුවෙන් වෙහෙසෙමු. මට කැමති, අකමැති – මට ගරු කරන, මට නිගරු කරන මේ ගරු සභාවේ සියළු සාමාජිකයන්ගෙන් යළි යළිත් ඉල්ලා සිටින්නේ රට ගැන සිතන්න කියායි.එකක් මතක තියා ගන්න. මම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ දේශපාලන ජනප්‍රියතාවය වෙනුවෙන් නෙවෙයි. මම තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන්. පසුගිය අවුරුදු දෙක පුරා මම දේශපාලනය කළේ නෑ. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා තීන්දු ගත්තේ නෑ. මේ ගරු සභාවේ මම වගේම රටට ආදරය කරන තවත් බොහෝ අය ඉන්නවා. තම තමන්ගේ පුද්ගලික ලාබ ප්‍රයෝජනවලට වඩා රට ගැන හිතන බොහෝ අය ඉන්නවා. ඒ සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ රට යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ව්‍යායාමයට එක් වෙන ලෙසයි. මේ මල් වට්ටියට අතගසන ලෙසයි. එන්න. අපි එකට එක්වී අපේ මව්බිම යළිත් ඉහළට ඔසවා තබමු.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව

  • පොහොට්ටුවේ මහ පළුවක් ගැලවෙන හැටි කාංචන කියයි

    පොහොට්ටුවේ මහ පළුවක් ගැලවෙන හැටි කාංචන කියයි

    ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් දෙන්නෙක් නොව මහා පළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි

    අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලද්දේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

    එහිදී ඔහු මෙසේද පැවසීය.

    පසුගිය වසර දෙක තිස්සේ අභියෝග රැසකට අප මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි දේශපාලනය කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක්වුණා. එදා පැවති ප්‍රශ්න නිසා බොහෝ දෙනෙකු කිව්වේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආවා.

    ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයාමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ මැතිවරණයේදී ඔබට ලැබෙන එම ප්‍රතිලාභ අහිමි කර ගන්නවාද? එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද කියා කල්පනා කළ යුතුයි.

    මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක්. එවැනි නායකත්වයක් අද රටට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

    – Media unit